කාලාන්තරයකින් අසන්නට දකින්නට ලැබෙන ආකාරයේ අයස්කාන්ත අමුතුම මංගල උත්සවයක් පසුගිය සති අන්තයේ ලෝකයම කැළඹුවේය. ඒ ලොව ධනවත්ම මිනිසුන් අතර 9 වැනියාත් ආසියාවේ ලොකුම ධනවතාත් ලෙස බුහුමන් ලබන තැනැත්තාගේ බාල පුත්‍රයාගේ අතිවිශිෂ්ට පූර්ව විවාහ මංගල්‍ය උත්සවයයි.
ඉන්දියාවේ ඉතිහාසගත මහාරාජාවරුන්ගේ ඉපැරුණි ඉසුරුමත් මංගල උළෙල සිහිගන්වන මේ මහා උත්සවය පැවැත්වූයේ මෙබඳු මංගල බාල් නැටීම සඳහා අත දිගහැර වියදම් කිරීම ගැන සුප්‍රකට ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි ප්රමුඛ ව්‍යාපාරික පවුලේ උදවියයි.
යුගයේ මහා මඟුල ලෙස ඉතිහාස ගතවන මේ මහා මංගල්ලය පැවැත්වුණේ, පවුම් මිලියන 120ක් හෙවත් රුපියල් කෝටි 4000කට වැඩි (46991256936) මුදලක් වියදම් කරමින් බව Daily Mail මාධ්‍ය වාර්තා කර තිබුණි. එයට අනුව දින තුනක් පුරා පැවති මේ මහා මංගල්ලයේ ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවට පමණක් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදලක් වැය වී ඇති බව වාර්තා වේ.
ඉන්දියානු විවාහ මංගල උත්සව කොහොමත් මහා විච්චූරණ සහිත බාල් නැටුම්, විස්තීර්ණ මංගල්‍ය සැලසුම්, සැරුසිලි, මිල අධික ආහාරපාන සහ තෑගි බෝග සඳහා ප්‍රසිද්ධය. ඒ අතර ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික මුකේෂ් අම්බානි දින තුනක් තිස්සේ පැවැත්වූ මේ උත්සවය දෙවැනි වූයේ ඔහුගේ දියණිය සඳහා පැවැත්වූ මහා උත්සවයටම පමණි.
මුකේෂ් අම්බානිගේ පුත් අනන්ට් අම්බානි (28) සහ ඔහුගේ බාල කල මිතුරිය වූ රාධිකා මර්චන්ට්ගේ (29) මේ අද්විතීය උළෙලට ලොව ප්‍රබල ප්‍රකට ප්‍රභූ අමුත්තන් දහසකට ආසන්න පිරිසක් ආරාධනා ලැබ සිටියහ.
නීටා සහ මුකේෂ් අම්බානි විසින් පවත්වන ලද පූර්ව විවාහ මංගල උත්සවය සඳහා එදා බටහිර ඉන්දියාවේ සාමාන්‍යයෙන් නිදිමත නගරයක් වන ජම්නගර් වෙත බොලිවුඩ් තරු පායා තිබුණි. ආගන්තුක ලැයිස්තුවෙන් හෙළිදරව් වූයේ දීපිකා පදුකෝන්, සල්මන් ඛාන්, රන්වීර් සිං, ආලියා භාත්, රන්බීර් කපූර් සහ ෂාරුක් ඛාන් ඇතුළු බොලිවුඩ් ප්‍රසිද්ධ බොහෝ දෙනෙක් පූර්ව විවාහ උත්සවයට සහභාගී වූ බවය. බොලිවුඩයේ ඉහළ පෙළේ කීර්තිමත් පුද්ගලයන් පමණක් නොව, සචින් තෙන්ඩුල්කාර් ප්රමුඛ ක්‍රිකට් තරු, හිටපු මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නිලධාරී බිල් ගේට්ස්, ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග්, වෝල්ට් ඩිස්නි ප්‍රධාන විධායක නිලධාරී බොබ් ඉගර්, ඇඩෝබි ප්‍රධාන විධායක නිලධාරී ශාන්තනු නාරේන් සහ ඉවන්කා ට්‍රම්ප් මෙන්ම කටාර් අගමැති Mohammed bin Abdulrahman bin Jassim Al Thani සහ භූතානයේ රාජකීය යුවළ ද ඇතුළු තවත් බොහෝ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පුද්ගලයන් රැසක් ජම්නගර් හි තෙදින උළෙල වර්ණවත් කර තිබුණි. මේ අතර වඩාත් කැපී පෙනුණේ ලොව වැඩිම ප්‍රසිද්ධියක් ලත් සහ ඉහළම මුදලක් අය කරන පොප් ගායිකා රිහානාගේ පැමිණීමය. මෙය ඇය ඉන්දියාවේ ප්‍රසංගයකට පැමිණි මංගල අවස්ථාව ද වූ අතර මේ උත්සවයේ පැය දෙකක කාලයක් වෙනුවෙන් ග්රුමී සම්මානලාභී ගායිකාවට ඩොලර් මිලියන 8-9 (ආසන්න වශයෙන් රුපියල් කෝටි 66 සිට 74 දක්වා) මුදලක් ගෙවා ඇති බව වාර්තා විය. අම්බානිවරුන් ඔවුන්ගේ අමුත්තන්ට ලබා දුන් අතිශය මිල අධික අත්දැකීම් අතරට රිහානාගේ රංගනයට අමතරව, අරිජිත් සිං, දිල්ජිත් දෝසාන්ජ්, ප්‍රීතම්, හරිහරන් සහ අජේ-අතුල්ගේ සංගීත දායකත්වය ද එක්කර තිබුණි.
විශිෂ්ටතම කාරණාව වූයේ මේ සියලු අමුත්තන් සඳහා දින තුනක් පුරා සියලු ඉඳුම් - හිටුම්, ඇඳුම් - පැළඳුම් මෙන්ම ප්‍රවාහන පහසුව සඳහා යන සියලුම වියදම් අම්බානිවරුන් දැරීමය. කොටින්ම ආරාධනා පත්‍රයේ සඳහන් වන පරිදි, මෙම අමුත්තන් වෙනුවෙන් විශේෂ කොණ්ඩා මෝස්තරකරුවන් සහ වේශ නිරූපණ ශිල්පීන්ගේ සේවාව, සාරි මන්දිර, ඇඳුම් මැසීමේ විශිෂ්ටයන්ගේ දායකත්වය මෙන්ම ඇඳුම් කඩිනමින් වාෂ්පයෙන් මැද ගැනීමට පහසුව පවා සලසා දී තිබුණි .
ජම්නගර් හි පැවති මේ උත්සවයට දිල්ලි හෝ මුම්බායි සිට පැමිණෙන අමුත්තන් සඳහා අම්බානි පවුල වරලත් ගුවන් ගමන් වෙන්කර සපයා තිබුණි. ඒ අනුව මෙම නගර දෙකෙන්, 2024 මාර්තු 1 වැනි දින උදේ 8 සිට පස්වරු 1 දක්වා ගුවන් ගමන් රැසක් සැලසුම් කර තිබුණි. පූර්ව විවාහ ආරාධනා පත්‍රය අමුත්තන්ට වරලත් ගුවන් ගමන් සඳහා පිළිපැදිය යුතු මූලික කරුණු පිළිබඳ තොරතුරු පවා ලබා දී තිබුණි.
සෑම කෙනකුගේම ගමන් මලුවලට ඉඩ සැලසීම සඳහා අම්බානිවරු තම ආගන්තුකයන්ට තම බඩු බාහිරාදිය එක් අත්බෑගයකට සහ එක් රුඳවුම් බෑගයකට හෝ සූට්කේස් තුනකට සීමා කරමින් කල්පනාකාරීව ඇසුරුම් කරන ලෙසද ඉල්ලා සිටියහ. අතිරික්ත ගමන් මලු කඩිනමින් බෙදා හැරීමට අප සෑම උත්සාහයක්ම ගන්නා නමුත් එය සෑමවිටම එකම ගුවන් යානයකින් නොපැමිණීමට ඉඩ ඇති බව ද ආරාධනා පත්‍රයේ සඳහන් විය.
මෙපමණකින් නොනැවතුණු අම්බානිවරුන් Jamnagar ගුවන් තොටුපළේ සිට ඔවුන්ගේ සුඛෝපභෝගී Reliance Greens Complex වෙත සිය අමුත්තන් රුගෙන යාම සඳහා Rolls-Royce, Range Rover, සහ BMW වැනි ඉහළ පෙළේ වාහන සමූහයක් ද සංවිධානය කර තිබුණි.
රාධිකා මර්චන්ට් සහ ආනන්ට් අම්බානි වෙනුවෙන් ජම්නගර් හි පැවති පූර්ව විවාහයට 1,000ක් පමණ ඇදී එනු ඇතැයි අපේක්ෂා කරන ලදී. මේ සියලු සම්භාවනීය අමුත්තන් සඳහා ජම්නගර් අසල සුඛෝපභෝගී නවාතැන් පහසුකම් සැලසීමට කටයුතු කර තිබුණි.
උත්සවයට එන අමුත්තන්ගේ ආහාර සැපයුම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ සඳහා ඉන්දියාවේ සුප්‍රකට ඉන්දෝර්හි ජාර්ඩින් හෝටලයෙන් අම්බානි පවුල විශේෂයෙන්ම කුලියට ගත් සූපවේදීන් 21 දෙනකුගෙන් යුත් කණ්ඩායමෙන් 20 දෙනෙක් තෙදින මංගල්‍ය සඳහා ආහාර සැපයීම සිදු කළහ. ඉන්දියා, ජපන්, තායි, මෙක්සිකානු, පාර්සි, තායි, චීන සහ යුරෝපීය වැනි විවිධ කෑම වර්ග වට්ටෝරු 2,500ක් මෙම සූපවේදීන් විසින් සකස් කරන ලදී. උදේ ආහාරය සඳහා විවිධ කෑම වර්ග 75 ක් ද, දිවා ආහාරය සඳහා විවිධ කෑම වර්ග 225 ක් ද, රාත්‍රී ආහාරය සඳහා විවිධ ආහාර වර්ග 275 ක් ද, මධ්‍යම රාත්‍රියේ සිට අලුයම හතර දක්වා විවිධ සුළු කෑම වර්ග 85 ක් ද පිරිනමන ලදී. මීට අමතරව, ඉන්දෝර්හි සූපවේදීන්ට විශේෂ කවුන්ටරයක් තිබූ අතර එහිදී ඔවුන් කචෝරි, බුත්තේ කා කීස්, කොප්රා පැටිස්, උප්මා සහ පොහා ජලේබි වැනි සාම්ප්‍රදායික ඉන්දෝරි කෑම පිරිනැමීය.
මාර්තු 1 වැනිදා, පූර්ව විවාහ මංගල්‍ය උත්සවයේ පළමු දිනය ‘An Evening in Everland’ ලෙස සමරනු ලැබූ අතර, එහිදී අමුත්තෝ අලංකාර කොක්ටේල් ඇඳුමකින් සැරසී සිටියහ. මේ ඇඳුම් විලාසිතා නිර්මාණකරුවකු වන මනීෂ් මල්හෝත්රාගෙනි. ඇමෙරිකානු මල් නිර්මාණකරුවකු වන ජෙෆ් ලීතම් මලින් මුළු උළෙලම සරසා තිබුණි. ඔහු අතිවිශිෂ්ට මල් සැකසුම් සඳහා ප්‍රවීණයකු වන අතර රියැලිටි ටීවී තරුවක් සහ ව්‍යවසායිකාවක් වන කිම් කාර්ඩෂියන් සහ ඇගේ පවුලේ සෙසු අය සඳහා කළ නිර්මාණ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධය. ජෙෆ් මෙම රාත්‍රිය සඳහා සාමාන්‍ය පමණට වඩා සුවිශාල සුදු, රෝස සහ දම් පැහැති මල් සැකසුම් නිර්මාණය කර තිබුණි.
මාර්තු 2 දා, අම්බානිවරුන් විසින් ‘A Walk on the Wildside’ සත්කාරකත්වය පිළියෙළ කර තිබුණි. මෙය කැලෑ සවාරියක අත්දැකීමක් ලබා දුන්නේය. ජම්නගර් හි ආනන්ට් අම්බානිගේ අක්කර 3000ක් පුරා විසිර ඇති සත්ව ගලවා ගැනීමේ මධ්‍යස්ථානය වන වන්තාරා හි එළිමහනේ පැවති මෙම උත්සවයට යෙදූ පුටු සහ ගෘහ භාණ්ඩ මත මොනර සහ ජගුවාර් මෝස්තරවලින් සමන්විත විය. කුරුල්ලන් සහ කැලෑ සතුන් දසත දැකගත හැකි නිර්මාණ අතර විය.
මාර්තු 2දා අම්බානිට අයත් වන්තාරා හි දිවා ආහාරය සැකසීම බාරව සිටියේ ලංකාවේ සූපවේදීන් 13න් දෙනෙකි. ඔවුන් ලංකාවේ Citrus හෝටල සමූහයට අයත් පිරිසකි. මේ අයගේ දිවා ආහාරවේලට රස වැටුණු හෙයින් පසුදා රාත්‍රී ආහාර භෝජනය සැකසීමද ඔවුන්ට බාර වී තිබුණි.
සවස් වරුවේ අමුත්තෝ ‘මේලා රූජ්’ වෙත ගියහ. කහ සහ රතු පැහැය ප්‍රධාන කොට සැරසූ අහසින් වැගිරෙන රන් කෙඳි බඳුව දිස්වූ බල්බ සහ පහන් කූඩු සහිත ආලෝකයෙන් වර්ණවත් වූ මේ අපූරු මේලා සැණකෙළිය වඩාත් සිතට දැනෙන ආදර හැඟීමක් බවට පත් කිරීම සඳහා මහා පරිමාණ ලෙස රතු මල් ගොනු පොකුරු භාවිත කර තිබෙනු දක්නට හැකිවිය. රිහානා ප්රමුඛ හොලිවුඩ් බොලිවුඩ් තරු මේ මේලාව සුන්දර මතකයක් බවට පත් කළෝය. මාර්තු 3 වැනිදා, ‘මහා ආරතී’ උත්සවය සඳහා, ඉන්දියානු ආභාෂය ලැබූ සුදු මල් වැල් සහ ආලෝකකරණයන්ගෙන් සමන්විත අලංකරණයක් එක්කර තිබුණි.
මේ අරුමෝසම් සහිත මතකයේ රුඳෙන දින 3ක පූර්ව මංගල උළෙල වඩාත් විශිෂ්ට ලෙස සැලසුම් කළ මංගල්ලක් ලෙස මෙය ඉතිහාස ගත වනු ඇත. නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා කළ පරිදි දිනකට පවුම් 4ක් (රුපියල් 1566.38) වැනි සුළු මුදලකින් දිවි ගලවා ගැනීම සඳහා ජීවිතය සමඟ පොර බදන පෘථිවියේ දුප්පත්ම මිනිසුන්ගෙන් සමන්විත වටපිටාවක මේ දිව්‍යමය උළෙල පැවැත්වීම මෙහිදී දක්නට ලැබුණු දෛවයේ සරදම්කාරී දුක්ඛිතම කාරණාව විය.
I සුගත් පී. කුලතුංග ආරච්චි