කාලයක් මෙරට පාතාලය විවිධ ප්‍රදේශවලින් ඉලිප්පෙමින් තිබුණි. ප්‍රදේශවලට සහ පළාත්වලට ආවේණිකව කරළියට පැමිණි පාතාල කණ්ඩායම් විවිධ නම්වලින් ආමන්ත්‍රණය කෙරිණි. එලෙස කොළඹ, රාජගිරිය, ඔබේසේකරපුර, බොරැල්ල, දෙමටගොඩ, මාලිගාවත්ත, බ්ලුමැන්ඩල්, ග්‍රෑන්පාස්, කඩුවෙල වශයෙන් බෙදී ගියේය. දකුණේ පාතාලය වෙනමත්, ගම්පහ, මිනුවන්ගොඩ වශයෙනුත් බෙදී තිබුණි. ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කප්පම් පාතාලයත්, කුඩු පාතාලයත් වෙන වෙනම ක්‍රියාත්මක වුණු අතර කාලයෙන් කාලයට මරාගැනිලිද එමට විය. කෙසේ වෙතත් දැන් පාතාලය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. බොරු චණ්ඩි පාට් දමන ඇටකිච්චන් කුඩු ටිකක් එහෙන් මෙහෙන් විකුණා, තමන්ගේ ගෝලයකු දමා මිනීමැරුමක් කොට පාතාල නායකයෝ වී සිටිති.
අවසානයේ බියගුල්ලන් සේ රටින් පලා ගොස් සැඟව චණ්ඩිකම් කරන තැනට, එනම් ඉස්සර පාතාලයේ භාෂාවෙන්ම කිවහොත් "පීචං" වන තැනට ඔවුහු වැටී සිටිති. ඒ නිසා දැන් ඇත්තේ එකම එක පාතාලයක් පමණි. ඒ "පීචං පාතාලය" නොහොත් ඩුබායි පාතාලයයි. අද බහුතරයක් රජකම් කරන්නේ ඩුබායි සිටය.
මේ ඩුබායි පාතාලය හෙවත් පීචං පාතාලකරුවන් නිසා බොහෝ ජනතාව අසරණ වී සිටින අතරම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල වී තිබේ. මහ මග අම්බරුවන් මෙන් මරාගන්නා මෙම පිරිස හේතුවෙන් කිසිදු වරදක් නොකරන අහිංසක ජනතාව ද තාඩන පීඩනවලට ලක්වෙමින් සිටිති. සරලවම කිවහොත් අහක යන වෙඩි කන්නට සිදුවී ඇත. ඒ නිසා මේ මරාගැනීම් කෙසේ හෝ නැවැත්විය යුතුය.
දේශපාලනික වශයෙන් මොන අඩුලුහුඬුකම් තිබුණත් නීතිය හා සාමය බාර ඇමැති ටිරාන් අලස් නිතරම පාතාලයන්ට රතු නිවේදන නිකුත් කරමින් සිටියි. ඔහු පවසන්නේ කෙසේ හෝ මේ පාතාල අපරාධ නිමා කරන බවය. දේශපාලන සංදර්ශනවලින් තොරව එය එක් වචනයක් පමණක් නොවී ඇත්තටම සිදුවනවා නම් මේ රටේ නීතියේ ආධිපත්‍යයට කරන මහත් ගෞරවයක් වනු ඇත. නැත්නම් පොලිසිය සහ උසාවිය නීතියෙන් ප්‍රශ්න විසඳීමට පෙර ජනතාව කැලෑ නීතියට අනුව ප්‍රශ්න විසඳන්නට යනු ඇත. ඒ නිසා තත්ත්වය ලෙහෙසි පහසුවෙන් පාලනය කරගත නොහැකි වීමටද ඉඩ තිබේ.
මේ නිසාම කාලයක සිට උත්සාහ කරමින් සිටි ඩුබායි පාතාලකරුවන් මෙරටට රැගෙන ඒමේ ක්‍රියාවලිය නැවතත් ශ්‍රී ලංකා පොලිසිය විසින් ආරම්භ කර තිබේ. ඒ වෙනත් ක්‍රමයක් හරහාය. විශේෂයෙන් මෙම ක්‍රමය ප්‍රථමයෙන්ම ක්‍රියාත්මක වුණේ මාකඳුරේ මදූෂ් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත් මොහොතේය. මාකඳුරේ මදූෂ් ඇතුළු පිරිස සාදයක් පවත්වමින් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටින බවට ඔත්තුව ලබාදුන්නේ ද පාතාලයන් විසිනි. ඒ බව එරට ඔත්තුකරුවකු විසින් මෙරට පොලිසියට දැන්වීමෙන් පසුව එම උපදෙස් මත එරට ඩුබායි පොලිසිය මේ සියලු දෙනා අත්අඩංගුවට ගනු ලැබූහ. එය ඉතාම සූක්ෂම මෙහෙයුමක් විය. මේ ආකාරයෙන් පසුගියදා මන්නා රමේෂ් ද ඒ ආකාරයෙන්ම ලබා දුන් තොරතුරකට අනුව කොටුකර ගැනිණි. එයද පාතාලයන්ම ලබා දුන් ඔත්තුවකි.
එහෙත් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන වෙනත් රටකට බාරදීම ඇතැම් රටවල් විසින් සිදුකරන්නේ නැත. ඔවුන් අනුගමනය කරන මානව අයිතිවාසිකම් ආදිය හේතුවෙන් බොහෝ පිරිස් ආරක්ෂා කරන්නට ඔවුහු පෙළඹී සිටිති. ඩුබායි රාජ්‍ය ද එසේමය. ඔවුහු මානව හිමිකම් කෙසේ වෙතත් තම රට තුළ ජීවත් වන පුරවැසියන් සම්බන්ධයෙන් වගකීම් සහගතව කටයුතු කරති. මේ නිසා ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීම් කළ පලියට උදර්පන නීතිය යටතේ පුද්ගලයන් ලබා දීම සිදු නොකරයි. ඔවුන්ගේ නීතියට අනුව යම් වරදක් සිදුවී ඇත්නම් එම පුද්ගලයා අදාළ රටට පිටුවහල් කරන අතර කිසිම විටක මෙරට ආරක්ෂක අංශවලට බාර දෙන්නේ නැත.
ඊට හොඳම උදාහරණය වන්නේ මදූෂ් අත්අඩංගුවට පත්වීමය. මදූෂ් අත්අඩංගුවට ගනු ලැබුවේ කොකේන් පානය කිරීම සහ ඒවා සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මතය. මදූෂ් සමඟ අත්අඩංගුවට ගෙන සිරගත කළ සියල්ලගේම ශරීරවල මත්ද්‍රව්‍ය තිබූ නිසා ඔවුහු අත්අඩංගුවට පත්වූහ. ලංකා ආණ්ඩුව මදූෂ් ඉල්ලුව ද ලබාදුන්නේ නැත. අවසානයේ මෙරට ආරක්ෂක අංශ නොසිතූ මොහොතක කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් එරටින් පිටුවහල් කෙරිණි. කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිස පැමිණ පිටවන දොර මාරුවීම නිසා අවසානයේ මෙරට ආරක්ෂක අංශයට කොටුවූ අතර ඒ වන විට එම සැකකරුවන් එරටින් පිටුවහල් කරන බව මෙරට ආරක්ෂක අංශ දැන සිටියේය. එදා ආරක්ෂක අංශවලට කංජිපානි කොටු නොවුණා නම් අද වනවිට මදූෂ් නිදැල්ලේය.
මේ නිසාම මෙකී ක්‍රමය අද වනවිට ආරක්ෂක අංශ විසින් සිදු කරනු ලබයි. ඩුබායි රාජ්‍යයේ සිටින පිරිස්වලින් හෝ ප්‍රතිවිරුද්ධ කල්ලිවලින් තොරතුරු ගෙන එරට ආරක්ෂක අංශ වෙත නියමිත මොහොතේදී ඔත්තුව ලබා දී අදාළ පුද්ගලයන් කොටුකර ගැනීම එම මෙහෙයුමට අනුව සිදුවේ. ඒ අනුව අත්අඩංගුවට ගැනීමෙන් පසුව මෙරටට පිටුවහල් කිරීමේදී පිරිස් අත්අඩංගුවට ගැනීම මෙරට ආරක්ෂක අංශවල අරමුණ වී තිබේ.
පසුගියදා කොටුවූ මන්නා රමේෂ් ද එවැනි අයෙකි. මේ ආකාරයෙන් ඉදිරියේදී සිදුවන මෙහෙයුම්වලදී බොහෝ පුද්ගලයන් කොටුවනු ඇත. කොටුවන්නේ නිකම් නොව තමන්ගේම කණ්ඩායම් ලබා දෙන ඔත්තුවලට අනුවය. ඒ අනුව ඩුබායි රාජ්‍යයේ සිටින කුඩුකාරයන් පාතාලයන් ඇතුළු 30කට ආසන්න පිරිසකගේ ඉරණම නුදුරේදීම තීන්දු වනු ඇත.
මෙම තත්ත්වය හමුවේ ඇතැම් පාතාල පිරිස් යුරෝපා රටවලට පැන යාමට උත්සාහ දරමින් සිටිති. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ලබාගනිමින් ජීවිත ආරක්ෂාව පතා යුරෝපා රටකට යාම ඔවුන්ගේ එකම අරමුණ වී ඇත. එහෙත් එය පහසු නැත. එරට ගුවන් තොටුපළකින් පැන යාම කිසිසේත් ලෙහෙසියෙන් කළ හැකි දෙයක් නොවේ. ඊටත් වඩා දැන් ඔවුහු එළිමහනේ සිටීමට මැලිකමක් දක්වති. ඒ ඔවුන්ගේ ඡායාරෑප, තොරතුරු පිටවන බැවිනි. එහෙත් වෙනත් රටකට පැන ගැනීම ඔවුන්ගේ ලොකුම අරමුණ වී තිබේ. කෙසේ වෙතත් දැන් දැන් නමගිය අපරාධකරුවන් කිහිප දෙනකුගේ තොරතුරු පොලිසියට ලැබී ඇත. එබැවින් මහා පොරවල් යැයි හංවඩු ගැසූ පීචං පාතාලයන් නුදුරේදීම ලංකාවට පෝලිමේ එනු ඇත.
I ගයාන් ගාල්ලගේ