ජනතාව කුසගිනි නිවාගන්නට පානය කරන කහට තේ එකේ සිට සියලුම ආපන ශාලා ආහාර ද්‍රව්‍යවල මිල යළිත් වරක් ඉහළ දමා ඇත. සමස්ත ලංකා ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් විසින් පසුගිය 3දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි මෙම මිල වැඩි කිරීම සිදුකර ඇති බව නිවේදනය කර තිබේ. මේ අනුව දැනට රුපියල් 30කට අලෙවි කරන ප්ලේන්ටියක මිල රුපියල් 35 දක්වා රුපියල් 5 කින් ඉහළ නංවා ඇති අතර රුපියල් 100 කට විකුණන කිරි තේ එකක මිල රුපියල් 110 දක්වා රුපියල් 10 කින් වැඩිකර තිබේ. රුපියල් 300 කට හෝ ඊට ආසන්න මිලට අලෙවි කරන බත් පාර්සලයක මිල රුපියල් 25 කින් ඉහළ නංවා ඇත. රුපියල් 500 – 700 අතර මිලකට විකුණන ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තුවක මිල ද රුපියල් 50 කින් ඉහළ නංවා ඇති බව අවන්හල් හිමියන්ගේ සංගමය මෙම සතියේ මුලදී නිවේදනය කර තිබුණි.
හර්ෂණ රුක්ෂාන් පවසන්නේ ඇතැම් ස්ථානවල ෆ්‍රයිඩ් රයිසය රුපියල් 1000 ට සහ ප්ලේන්ටිය රුපියල් 150 ආදී වශයෙන් අධික මිල ගණන්වලට අලෙවි කරන අතර එලෙස අලෙවි කරන ආහාර ද්‍රව්‍යවල මෙම මිල ඉහළ නැංවීම බල නොපාන බවය. සභාපතිවරයා පවසන්නේ විදුලිය, ජලය, ගෑස් වැනි ස්ථාවර වියදම්වල මිල ඉහළ ගොස් සියලුම සහල් වර්ගවල මිල ද ඉහළ නැග ඇති බවයි. කීරි සම්බා මිල පමණක් කිලෝව රුපියල් 260 කට නියම කර ඇති නමුත් එම මිලට කීරි සම්බා නොමැති අතර විවෘත වෙළෙඳපොළේ කිලෝව රුපියල් 320 ට පමණ අලෙවි වන බවකි. වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝව රුපියල් 190 වුවද කොත්තු රොටි, පරාටා ආදී කෙටි ආහාරවලට යොදාගන්නා තිරිඟු පිටිවල මිල කිලෝව රුපියල් 220 සහ එයට වැඩි බව ඔහු කියයි.
සතොස හි සීනි කිලෝව රුපියල් 275 වුවද පිට අලෙවි කරනුයේ රුපියල් 310 – 325 පමණ වන බව ඔහු කියයි. මෙම තත්ත්වය නිසා කුඩා පරිමාණ ආපනශාලාවලින් සියයට 20 – 30 පමණ මේ වන විට වැසී ගොස් ඇති අතර තවදුරටත් වැසෙමින් පවතින බව පෙන්වා දෙයි. මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කර මිල පාලනය කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටියද ප්‍රතිඵලයක් ලැබී නැති බව ඔහු කියයි. යම් සහනයක් ලැබේ යැයි මාස දෙකක් පමණ බලා සිටියද සිදුවූ දෙයක් නොමැත. පවතින තත්ත්වය මත මෙලෙස මිල ඉහළ නැංවීම හැර විකල්පයක් නොතිබූ බවද පවසන සභාපතිවරයා ඉදිරියේදී පවතින අධික නිෂ්පාදන වියදම අඩු වුවහොත් ආහාර ද්‍රව්‍යවල මිල පහළ දැමීමට නොපමාව කටයුතු කරන බවද කියා සිටියේය.
ඒ අනුව පසුගිය බදාදා (6) ප්‍රකාශයක් කළ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් ප්‍රකාශ කළේ රජය විදුලි බිල අඩුකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස වැඩි කළ මිල ක්‍රියාත්මක නොවන බවය. එසේ වුවද හදිසියේ මිල වැඩි කළ බවට කළ නිවේදනය නිසා ජනතාව ඇවිස්සී සිටි අතර ඔවුන් මිල වැඩි කර අලෙවි කළ හෝටල් සහ ආපනශාලා වර්ජනය කිරීමට පෙළඹී සිටින බවට ආරංචි පළ විය.
කෙසේ වුවද ආපනශාලා මිල ගණන් තීරණය කිරීමේ අයිතිය මුළුමනින්ම මුදලාලිට පවරා දී ආණ්ඩුව අත සෝදාගෙන සිටින බව පෙනේ. දුප්පතා ගසා කෑමට මුදලාලිලාට ඉඩ දී මුනිවත රකිනවා නම් රටට ආණ්ඩුවක් කුමකටද යන ප්‍රශ්නය මතු වෙයි. තව ටික දවසකට පසු මෙම සංගමය වෙනත් හේතුවක් පෙන්වා මිල වැඩි කරනවා ඇත. හිටිඅඩියේ මිල වැඩි කිරීම් අඩු කිරීම් නිසා වෙළෙඳපොළ උඩු යටිකුරු වේ. ඒ නිසා පොදු ජනතාවගේ ජීවිතවලට තදින් බලපාන මෙවැනි මිල වැඩි කිරීම් පාලනය කිරීමට බලධරයන් වහාම මැදිහත් විය යුතුව ඇති බව පෙන්වා දෙමු.
දැනටමත් අපේ රටේ ජනගහනයෙන් 1/3 ආසන්න පිරිසක් දවසේ ආහාරවේල් ප්‍රමාණය එකකට හෝ දෙකකට සීමා කර ඇත. ඒ ද කුසෙන් හරි අඩක් පිරෙන්නටය. එවැනි තත්ත්වයක් තිබියදී දුප්පත් ජනතාව තවදුරටත් විපතට වැට්ටවීම විශාල අපරාධයකි. ඔවුන්ට තම දුක කියන්නට කෙනකු නැත.
අපේ රටේ ආහාරවල මිල සහ ප්‍රමිතිය ගැන සොයා බැලීමට ගොඩනගා ඇති ආයතන කිහිපයකි. පාරිභෝගික සේවා අධිකාරිය, මිල පාලන දෙපාර්තමේන්තුව හා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මේවායින් කිහිපයකි. එම ආයතන මුනිවත නොරුක තම වගකීම්වලින් අඩක් හෝ ඉටු කරන්නේ නම් ආහාර මගින් දුප්පතා ගසාකෑම යම් පමණකට හෝ මර්දනය කළ හැකිය. දුප්පතා කන පාන් කැබැල්ලේ ප්‍රමිතිය සහ බර මෙන්ම පරිප්පු හොද්දේ අල හොද්දේ තත්ත්වය පරීක්ෂා කරන කෙනකු නැත. කුඩා අල කැබැල්ලක් පාවෙන වතුර හොද්දකට, පරිප්පු ඇට කිහිපයක් මිශ්‍ර කළ දියරයකට රුපියල් 100 – 200 ක් අය කරන කළුකඩ මුදලාලිලා සිටින රටක දුප්පත් අසරණයාට කාගේ හවුහරණක්ද?
කහට තේ එකේ ප්‍රමාණය, සීනි සහ තේ කුඩුවල ප්‍රමිතිය සොයා බලන කෙනකු නැත. අද තේකොළ යැයි අලෙවි කරනුයේ කර්මාන්ත ශාලාවල අතුගා දමන දුහුවිල්ලය. සීනි යනු සෞඛ්‍යයට අහිතකර ගෝනි තුළම දිය වුණු කුඩු විශේෂයකි. කිරි තේ එකක වුවද අඩංගු කිරි ප්‍රමාණය කොතෙක්ද යන්න මැනීම සඳහා උපකරණ පාවිච්චි කිරීමක් නැත. හූනු බිජු බිත්තරයක් දමා පුළුස්සන බිත්තර ආප්පයක මිල රුපියල් 100 ට වැඩිය. සුළඟේ පාවෙන සුදු ආප්පයක් රුපියල් 30 ට වැඩිය. පිටි රුල් කිහිපයකින් එතූ ඉඳිආප්පය රුපියල් 10 කි. පරාටේ තෝසේ ආදියේද මිල අසාධාරණ ලෙස ඉහළ ගොස් ඇත. වඩේ එකක මිල රුපියල් 50 – 60 කි. අප කුඩා කාලයේ අඩුම මිලට බඩ කට පුරා කන්නට ඇතුළු වන්නේ තෝසේ කඩයකටය. එහෙත් අද තෝසේ කඩයකින් තෝසේ කෑවොත් ඇඳිවත පවා උගස් තබන්නට සිදුවනු ඇත. තෝසේ හෝ වඩේවලට උළුදු පිටි දමන බවක් නොපෙනේ.
පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙලෙස අත්තනෝමතික ලෙස මිල ඉහළ දැමීමට වෙළෙඳුන්ට හැකිද යන්න පිළිබඳ විමසූ අතර එහි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.පී. විජේසේන පැවසුවේ මෙම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිය ද ඒවායේ මිල පාලනය කිරීමට අධිකාරියට ප්‍රායෝගිකව නුපුළුවන් බවයි.
''ප්ලේන්ටියක, කිරි තේ එකක හෝ බත් පැකැට්ටුවක මිල මේ තරමට විය යුතු යැයි පාලනය කිරීමට අපට අපහසුයි. තේ එකක වුණත් ප්‍රමාණය, පාවිච්චි කරන තේ කොළ, සීනි, පිටි ආදිය විවිධ වෙනවා. ඉතින් ඒවාට පාලන මිලක් නියම කිරීමට හෝ මේ තත්ත්වයේ විය යුතු යැයි නියම කිරීම ප්‍රායෝගිකව අපහසුයි. අපි කීරි සම්බාවල මිල පාලනය කළ විට සිදුවුණේ කුමක්ද? කීරි සම්බා වැඩි මිලට හෝ වෙළෙඳපොළට ඒම නැවතුණා. පාන්වල වුණත් බර පාලනය කළා මිස මිල පාලනයක් කළේ නැහැ. එහෙම මිල පාලනය කළා නම් පාන්වල ප්‍රමිතිය බාල වෙලා බරද අඩු වෙන්න පුළුවන්.
බොහෝ වෙලාවට පාරිභෝගිකයා ප්‍රමිතිය ගැන නොවෙයි මිල ගැනයි බලන්නේ. ඒ නිසා හොඳ ප්‍රමිතියට වැඩි මිලට අලෙවි කරන වෙළෙන්දාගේ අලෙවිය අඩු වෙනවා. එය වෙළෙඳපොළ තුළින් සිදුවන දෙයක්. මෙහිදී මිල සහ තත්ත්වය සලකා බලා තමාට අවශ්‍ය ද්‍රව්‍ය තෝරාගැනීම පාරිභෝගිකයා සතු වගකීමක්. ඔය කියන ආහාර ද්‍රව්‍යවල මිල වුණත් අසාධාරණ ලෙස ඉහළ දැම්මොත් ජනතාව ඒවා මිලට ගැනීම ප්‍රතික්ෂේප කරාවි. විවෘත ආර්ථිකය තුළ ඉල්ලුම හා සැපයුම අනුවයි මිල තීරණය වන්නේ. ඔය කියන සංගම්වලින් මිල වැඩි කළාය කියලා ජනතාව ඒ මිලට ගත යුතු වන්නේ නැහැ. විවෘත වෙළෙඳපොළේ මිල පිළිබඳ තරගයක් පවතිනවා. ඒ අනුවයි මිලදී ගැනීම සිදුවන්නේ. වෙළෙඳුන්ගේ අලෙවිය වැඩි වන්නේ මිල අඩු වුණොත් තමා. ඒ නිසා ඔය වැඩි කළ මිලට සෑම වෙළෙන්ඳෙක්ම අලෙවි කරාවි කියලා අපට හිතන්න බැහැ. ස්වයංක්‍රියව තමා අලෙවිය ඉහළ පහළ යන්නේ.''
ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනුයේ අවන්හල් සහ ආපනශාලා හිමියන්ගේ සංගමය යනුවෙන් සංවිධානයක් නොමැති අතර මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීමට ඔවුන්ට බලයක් නැති බවය.
''මෙය රජයට එරෙහිව විපක්ෂයේ බලපෑම් මත අටවාගත් සංවිධානයක් යැයි සිතිය හැකියි. මෙහි විශාල සාමාජික සංඛ්‍යාවක් නැහැ. ඒ අයගේ ප්‍රකාශ පදනම් විරහිතයි. අපි මේ අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. මෙලෙස ආහාරපාන මිල වැඩි කළ බව ප්‍රකාශ කිරීමට ඒ අයට අයිතියක් තිබෙනවාද? කවුද ඒ අයට එහෙම බලයක් දුන්නේ? එම සංවිධානයේ නීත්‍යානුකූලභාවය සහ එහි සාමාජිකයන් කොපමණ සිටිනවාද? ඒ අයට කවුද යනාදී කරුණු සොයා බලන ලෙස අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. කරුණු සොයා බලා මෙම සංවිධානය තහනම් කළ යුතුයි. මෙය රජය සහ මහජනතාව අපහසුතාවට පත්කිරීමට තනාගත් එකක් මිස කිසිදු නීත්‍යානුකූල පදනමක් ඇතුව පිහිටුවාගත් සංවිධානයක් නොවෙයි.
මෙම ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති තනතුරෙන් ඉවත් වූ පසු හදාගත් අලුත් සංවිධානයක් තමා මෙය. කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල වැඩි කිරීමට හේතුවක් නැහැ. මේ වන විට ගෑස්, අමුද්‍රව්‍ය, රසායන ආදී කිසිදු ද්‍රව්‍යයක මිල වැඩිවෙලා නැහැ. විදුලි බිල සෑහෙන ප්‍රමාණයකින් අඩු කළ නිසා ආහාර ද්‍රව්‍යවල මිල තවත් අඩු කළ හැකියි. එහෙත් සිදුවෙන්න යන්නේ අනික් පැත්ත. එයට පිළිගත හැකි හේතුවක් පැවසීමට බැහැ. අපි ඉල්ලා සිටින්නේ ආපනශාලා හිමියන්ට මෙලෙස මිල වැඩි නොකර තම ව්‍යාපාර පවත්වාගෙන යන ලෙසටයි. මේ කියන හැටියට මිල ඉහළ නැංවුවහොත් ඔවුන්ගේ අලෙවිය අඩුවෙලා ව්‍යාපාර වැසී යන්න පුළුවන්. ඒ නිසා පවතින මිල කෙසේවත් ඉහළ නොදමා පවත්වාගෙන යන්නය කියලා ඉල්ලා සිටිනවා. මේ වනවිට රටේ ජනතාව විශාල ආර්ථික අර්බුදයක සහ දරිද්‍රතාවක වෙලී සිටිනවා. ඒ නිසා වැඩි කරන මිලට මුහුණ දෙන්න ඒ අයට බැහැ. අනිත් අතට අනීතිකව මෙලෙස මිල ඉහළ දැම්මොත් එම වෙළෙඳුන්ට නීතිමය පියවරවලටද මුහුණ දෙන්න සිදුවෙයි. ඒ නිසා අප ඉල්ලා සිටින්නේ කිසි ලෙසකින්වත් මේ අවස්ථාවේ මිල ඉහළ නොදමන ලෙසටයි.''
I යසවර්ධන රුද්රිගූ