2024 මාර්තු 09 වන සෙනසුරාදා

ලෝක යුද්ධය මැදත් නතර නොවූ ලංකාවේ බිග් මැච්

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

අන්තර් පාසල් මහා ක්‍රිකට් තරග යනු ශ්‍රී ලංකාවේ බාලක පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරග වේ.

මෙම පාසල් වසර ගණනාවක් පුරා ප්‍රතිවාදී ක්‍රිකට් කණ්ඩායම් ලෙස සංවිධානය වී එකිනෙකාට එරෙහිව ක්‍රීඩා කර ඇති අතර ඇතැම් පාසල් අතර සියවසකට වැඩි කාලයක් පුරාවට තරග පවත්වා ඇත.

බිග් මැච් නූතන ශ්‍රී ලාංකේය සංස්කෘතියේ වැදගත් අංගයක් බවට පත්ව ඇති බව නොරහසකි.

► බිග් මැච් සමග ඈඳුණු අන්වර්ථ නාම

වාර්ෂිකව පැවැත්වෙන පාසල් ක්‍රිකට් මහ තරග සමඟ ඈඳුණු අන්වර්ථ නාමයන් අපට අසන්නට ලැබේ.

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගය හඳුන්වනු ලබන්නේ "නිල් මහ සටන" ලෙසය. මහනුවර ධර්මරාජ විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගය හඳුන්වනු ලබන්නේ "කඳුකරයේ සුලෝහිත සංග්‍රාමය" යනුවෙනි. ගාල්ල මහින්ද සහ රිච්මන්ඩ් විදුහල් දෙක අතර පැවැත්වෙන වාර්ෂික තරගය "පෙම්වතුන්ගේ සටන" ලෙසත්, කොළඹ ආනන්දා සහ නාලන්දා විදුහල් දෙක අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය "සුලෝහිත සංග්‍රාමය" ලෙසටත් නම් කර ඇත.

මාතර ශාන්ත තෝමස් සහ ශාන්ත සර්වේෂස් විදුහල් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගය හඳුන්වන්නේ "රුහුණු නිල් මහ සටන" ලෙසය. එමෙන්ම කොළඹ ශාන්ත ජෝසප් සහ ශාන්ත පීතර විදුහල් අතර පවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගය හඳුන්වන්නේ "සාන්තුවරයින්ගේ සටන" ලෙසය.

මෙලෙස එක් එක් නගර ආශ්‍රිතව පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරග සඳහා විවිධ අන්වර්ථ නාමයන් තබා තිබේ.

► මෙරට ඉතිහාසයේ පළමු බිග් මැච් තරගය 

මෙරට ඉතිහාසයේ පළමු වරට පාසල් දෙකක් අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගයක් පවත්වා ඇත්තේ 1879 වර්ෂයේදීය. එම තරගය පවත්වා තිබුණේ කොළඹ ඇකඩමි විදුහල (වත්මන් කොළඹ රාජකීය විද්‍යාලය) සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතරයි.

එම තරගයේදී දෙපිලේ කණ්ඩායම් දෙකට පාසල් සිසුන් මෙන්ම ගුරුවරුන් ද නියෝජනය කිරීම හේතුවෙන් එය පළමු වාර්ෂික ක්‍රිකට් මහ තරගය ලෙස වාර්තා අතරට එක් නොවුණි.

කෙසේ වුවද 1880 වසරේ කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ දී කොළඹ ඇකඩමි විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර පැවති තරගය මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසේ පළමු වාර්ෂික ක්‍රිකට් මහ තරගය ලෙස වාර්තා පොත් අතරට එක්විය. එම සුවිශේෂි තරගයෙන් ලකුණු 62ක ජයග්‍රහණයක් ලැබීමට කොළඹ ඇකඩමි විදුහල සමත් විය.

► ලෝක යුද්ධයට හෝ කොවිඩ් වසංගතයට නතර කරන්න බැරිවූ නිල් මහ සටන

1880 වසරේදී ආරම්භ වූ රාජකීය - ශාන්ත තෝමස් විදුහල් දෙක අතර පවත්වන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද වන විට ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ‘නිල් මහ සටන’ ලෙසය.

මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම වාර්ෂික ක්‍රිකට් මහ තරගාවලිය වන ‘නිල් මහ සටන’ ලෝකයේ අඛණ්ඩව පවත්වා ඇති දෙවැනි පාසල් වාර්ෂික ක්‍රිකට් මහ තරගය ලෙස ඉතිහාසයට එක්වේ.

ඔස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් හි පිහිටි ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල සහ සාන්ත පීතර යන විදුහල් දෙක අතර 1878 වසරේ සිට පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගාවලිය, ලොව මෙතෙක් දීර්ඝ කාලයක් අඛණ්ඩව පවත්වා ඇති පාසල් ක්‍රිකට් මහ තරගය ලෙස වාර්තා පොත් අතරට එක්ව ඇත.

“අඩුම තරමින් ලෝක යුද්ධ කාලේදීවත් අපේ වාර්ෂික ක්‍රිකට් මහ තරගය නොපවත්වා ඉඳලා නැහැ. කොවිඩ් වසංගත කාලෙදිත් අපේ පාසල් දෙක අතර ක්‍රිකට් මහ තරගය පැවැත්වුණා" කොළඹ රාජකීය විදුහලේ සහකාර විදුහල්පති මෙන්ම ක්‍රීඩා කටයුතු භාර ආචාර්ය රියාස් අලුහර් බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් පැවසීය.

► නිල් මහ සටනේ පළිහ

1901 සහ 1902 යන වසරවලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරුවේ මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායකයන්ය.

1928 වසරේ සිට නිල් මහ සටනේ ජයග්‍රාහකයන් වෙනුවෙන් ලබා දෙන ශුරතා පළිහ නම් කර ඇත්තේද ඩී.එස්. සේනානායක නමින් වීම විශේෂත්වයකි.

2023 වසරේදී පැවති නිල් මහ සටනේ ජයග්‍රහණය කොළඹ රාජකීය විදුහලට හිමිවිය. ඒ අනුව කොළඹ රාජකීය විදුහල අවස්ථා 36 කදීද, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අවස්ථා 35 කදී ඩී.එස්. සේනානායක පළිහ තමන් සතුකර ගැනීමට අවස්ථාව උදාකර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, රන්ජන් මඩුගල්ල, අසන්ත ද මැල්, ජෙහාන් මුබාරක්, කිත්රුවන් විතානගේ, කුසල් ජනිත් පෙරේරා, භානුක රාජපක්ෂ, ලසිත් ඇඹුල්දෙණිය කොළඹ රාජකීය විදුහල නියෝජනය කරමින් නිල් මහ සටනට ක්‍රීඩා කර ඇත.

එමෙන්ම සාන්ත තෝමස් විදුහල නියෝජනය කරමින් මෙරට පළමු අග්‍රාමාත්‍යවරයා වන මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, හිටපු අග්‍රාමාත්‍යවරයකු වන ඩඩ්ලි සේනානායක, මයිකල් තිසේරා, අනුර තෙන්නකෝන්, බ්‍රුඩ්මන් වීරකෝන්, දුලිප් මෙන්ඩිස්, ගයි ද අල්විස්, ජීවන් මෙන්ඩිස් සහ කෞෂාල් සිල්වා වැනි ක්‍රීඩකයන් ද නිල් මහ සටන නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත.ATHI PERERA|FACEBOOK

► සුලෝහිත සංග්‍රාමය

කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ පාසල් දෙකක් වන ආනන්දා - නාලන්දා යන විදුහල් දෙක අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ ගැටුම සුලෝහිත සංග්‍රාමය ලෙස හැඳින්වේ.

1924 වසරේදී පළමු වරට මෙම පාසල් දෙක අතර පැවැත්වූ සුහද ක්‍රිකට් තරගය 1926 වසරේදී සුලෝහිත සංග්‍රාමය ලෙස වාර්ෂික ක්‍රිකට් මහ තරගයක් දක්වා වර්ධනය විය.

මේ දක්වා 93 වරක් පැවති සුලෝහිත සංග්‍රාමය වාර්ෂික ක්‍රිකට් මහා තරගවලදී කොළඹ ආනන්ද විදුහල අවස්ථා 12 කදී ද, නාලන්දා විදුහල අවස්ථා 07 කදීද ශුරතාවය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මෙරටට ප්‍රබල ක්‍රීඩකයන් රුසක් බිහිකර දුන් පාසල් දෙකක් ලෙස ආනන්ද සහ නාලන්දා විදුහල් දෙක අවිවාදයෙන් සඳහන් කළ හැකිය.

ආනන්ද විදුහල නියෝජනය කළ සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග, මාවන් අතපත්තු සහ දිනේෂ් චන්දිමාල් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළහ. එමෙන්ම නාලන්ද විදුහල නියෝජනය කළ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන යන ක්‍රීඩකයන් ද ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්හ.

► කඳුකරයේ සුලොහිත සංග්‍රාමය

කඳුකරයේ සුලොහිත සංග්‍රාමය මහනුවර ධර්මරාජ විදුහල සහ කිංග්ස්වූඩ් විදුහල අතර 1893 වසරේදී ආරම්භ විය.

එය මෙරට පාසැල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම වාර්ෂික ක්‍රිකට් මහා ගැටුම් වලින් එකක් ලෙස හැඳීන්වේ.

131 වසරක් පුරා පවත්වා ඇති මෙම වාර්ෂික ක්‍රිකට් මහ තරගාවලිවලදී මහනුවර ධර්මරාජ විදුහල අවස්ථා 33 කදීද, කිංග්ස්වුඩ් විදුහල අවස්ථා 19 කදී ශුරතාවලිය ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

► ගාල්ලේ පෙම්වතුන්ගේ සටන

ගාල්ලේ පෙම්වතුන්ගේ සටන ලෙස විරුදාවලිය ලබන මහින්ද සහ රිච්මන්ඩ් විදුහල් දෙක අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් මහ තරගාවලියේ මේ දක්වා වැඩිම වාර ගණනක් ශුරයන් බවට පත්ව ඇත්තේ රිච්මන්ඩ් විදුහලයි.

රිච්මන්ඩ් විදුහල අවස්ථා 24 කදීද, මහින්ද විදුහල අවස්ථා 23 කදී ද පෙම්වතුන්ගේ සටනේ ශුරතාවය ජයග්‍රහණය කිරිමට හැකිවී තිබේ.

► රුහුණු නිල් මහ සටන

මාතර ශාන්ත තෝමස් විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර පැවැත්වෙන නිල් මහ සටන වාර්ෂික ක්‍රිකට් මහ තරගය ආරම්භ වුයේ 1900 වසරේ සිටය.

123 වසරක් පුරා පැවති රුහුණු නිල් මහ සටනේ ශුරතාවලිය අවස්ථා 32 කදී දිනා ගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල සමත්ව ඇති අතර ශාන්ත සර්වේෂස් විදුහල ශුරතාවලිය ජයග්‍රහණය කර ඇත්තේ අවස්ථා 27 කදී පමණය.

► සාන්තුවරයින්ගේ සටන

කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික පාසල් දෙකක් වන ශාන්ත ජෝසප් සහ ශාන්ත පීතර විදුහල් දෙක අතර පැවැත්වෙන සාන්තුවරයින්ගේ සටන පළමු වරට පැවැත්වුණේ 1933 වසරේදීය.

මේ දක්වා අවස්ථා 89 කදී පැවති සාන්තුවරයින්ගේ සටනේ ශුරතාවය ශාන්ත ජෝසප් විදුහල අවස්ථා 12 කදී ද, ශාන්ත පීතර විදුහල අවස්ථා 10 කදී ද තමන් සතුකර ගැනීමට සමත්ව ඇත.


BBC

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05