2024 මාර්තු 09 වන සෙනසුරාදා

වේගයෙන් දියවිය හැකි අනතුරු සහිත ආර්ථිකය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඉහළ නැග ඇති බව ශ්‍රී මහ බැංකු වාර්තා දක්වයි. 2022 වසර මැද වන විට සංචිත පිරිහී ආනයන සඳහා හෝ විදේශ විනිමය කළමනාකරණය කරගත නොහැකි වූ රටක් මාස දහ අටක් වැනි කෙටි කාලයක් තුළ ලබා ඇති වර්ධනය යහපත් ප්‍රවණතාවයකි. ජාත්‍යන්තර ප්‍රජාව මෙම ප්‍රවණතාව ගැන සතුටට පත්ව ඇති අතර ඇමෙරිකාව, ඉන්දියාව හා ජපානය වැනි රටවල් විශේෂයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. සීමිත සම්පත් කළමනාකරණය කරගන්නා අතර මහජනතාවට සැලකිය යුතු බරක් පැටවෙන උපාය මාර්ග ඔස්සේ පැමිණි ගමන එක්තරා සංධිස්ථානයක පසුවේ. 

ඉන්දීය රජය කොන්දේසි රහිතව සම්පාදනය කළ ඇමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවන මුදල මෙහි තීරණාත්මක අංශයකි. චීන බැංකුවක් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පමණ මුදලක් මහ බැංකුවට පවරන ලද අතර එය භාවිත නොකර සංචිතයක් වශයෙන් පවත්වාගෙන යන්නට ඉඩ දී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක සංචිතයක් සඳහා මාස හතළිස් අටක දීර්ඝ සැලැස්මක් අනුමත කරන ලදී. මෙම ප්‍රධාන සාධක තුන පෙරටු කොටගෙන ආර්ථිකයේ පුනර්ජීවනයක් නිරීක්ෂණය කළ හැකි අතර පසුකොට ඇති ගමන ඉක්මවා සැලකිය යුතු දුරක් ඉදිරියට යා යුතුව ඇත. සූක්ෂම උපාය මාර්ග අනුගමනය කරන අතර මහජනතාව සමඟ කරුණු අවබෝධ කර දෙන සංවාදයක් සහිතව ඉදිරියට ගමන් කළහොත් ප්‍රබෝධයකට හේතු වනු ඇත.

► ඩොලර් බිලියන 4.5 ක සංචිතය

අලුත් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්මවා තිබේ. අපනයන ආදායම, සංචාරක කර්මාන්තයේ දියුණුව, විදේශගත ශ්‍රමිකයන්ගෙන් විනිමය ලැබීම් හා විදේශ ආධාර මෙහි වාසිදායක භාවය සටහන් කරයි. තොරතුරු තාක්ෂණ අංශයේ අපනයන ආදායම අලුතින් එකතුවන අංශයක් සේ නිරීක්ෂණය කළ හැකි විය.

අර්බුදකාරී කාලයේ දී දුබල වූ රුපියලේ අගය සංචිත ඉහළ නැගීම සමඟ ශක්තිමත් වීම සලකුණු කරයි. ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි මාසයේ පමණක් සියයට 4.4 කින් ශක්තිමත් වී ඇති බව මහ බැංකුව දක්වා ඇත. එය හොඳ ප්‍රවණතාවයකි. රටට ආනයනය කරන භාණ්ඩවල මිල පහසු කරනු ඇත. විශේෂයෙන් ඉන්ධන, ගෑස් ආනයනයේ දී රටට හිතකර තත්ත්වයක් උදා වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මිල සංශෝධනයේ දී තෝරාගත් කාණ්ඩවල ඉන්ධන මිල ගණන් අඩු කරන්නට රජයට හැකි විය. ඇතැම් පාරිභෝගික භාණ්ඩ ආනයනයේ දී ද වෙළෙඳපොළ වාසි අත්පත් කරගෙන ඇත. ආනයනකරුවන් දක්වන පරිදි විනිමය අනුපාතිකය අනුව ලැබුණු වාසිය පාරිභෝගිකයන්ට සැපයීමට අසමත් වීම තුළ සංකීර්ණ තත්ත්ව පවතින අතර ආණ්ඩුව එය කෙරෙහි අවධානය යොමු කිරීම සුදුසුය. පනවන ලද බදු, වැඩි කරන ලද විදුලිය බිල හා ප්‍රවාහන පිරිවැය එයට බලපා ඇති බව දැක්වේ. ශ්‍රී ලංකාව ලබා ඇති සංචිත ශක්තිමත් වීමේ වාසිය සාමාන්‍ය ජනතාවට ලැබීම අවහිර කරන ලද මෙම පැති කෙරෙහි බලධාරීන් විශේෂයෙන් සොයා බැලිය යුතුය. ඉතා දුෂ්කර ජීවන පැවැත්මක පසුවන සාමාන්‍ය ජනතාවට ලැබිය හැකි සුළු වාසිය පවා මෙම අවස්ථාවේ දී වැදගත් සාධකයකි. 

► පියවරෙන් පියවර ඉදිරියට 

දැනට අප අභිමුවෙහි ඇති තාවකාලික සන්සුන් පසුබිමට කලින් විශාල අර්බුදයක් පැවැති බව මෙහිදී අමතක කළ යුතු නැත. විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් නොසලකා ගත් බරපතළ තීන්දු සැලකිය යුතු කුණාටුවක් නිර්මාණය කළේය. සංචිත පිරිහෙමින් පවතින මොහොතක ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කරගැනීමේ අරමුණ ඇතිව විදේශ ණය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වහාම පියැවීය. 

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියැවීම සඳහා එම වසරේ ජනවාරි 18 ගත් තීරණය සමඟ තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,700 ක විදේශ ණය සහ රුපියල් බිලියන 3,000 ක දේශීය ණය එම වසර තුළ පියවන්නට දින එළැඹෙමින් තිබුණි. කෙසේ වෙතත් ඒ වන විටත් ජාත්‍යන්තර ශ්‍රේණිගත ආයතන ශ්‍රී ලංකාවේ ණය අනතුරුදායකත්වය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ප්‍රකාශ රටට බලපෑමක් විය. ස්වෛරීත්ව බැඳුම්කර පියවා විශ්වාසය තහවුරු කරගෙන තවත් ණයකට සූදානම් වූ නමුත් එයින් ප්‍රයෝජනයක් නොලැබුණි. රටට අවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන, ගෑස් ඇතුළු සියලුම දේ මිල දී ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. එම අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත හැකි වූ නමුත් ප්‍රකට දේශපාලනඥයෝ ප්‍රසිද්ධියේ විරුද්ධ වූහ. අවසානයේ දී අරගලයකට පසු දේශපාලන බලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරුණි.

අලුතින් පත් පාලකයන්ට පවා හදිසි සංචිත සම්පාදනය සහ විශේෂයෙන් ප්‍රතිසංස්කරණ අරමුණු කරගෙන මූල්‍ය අරමුදල හැර වෙනත් මගක් නොතිබුණි. ඉන්දීය සහාය, චීනයේ සංචිත පහසුකම නොලැබෙන්නට ආර්ථිකය තවත් දරුණු විය හැකි බව පැහැදිලිය. 

► සංචාරක කර්මාන්තය

පසුගිය වසරේ දී සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු පිබිදීමක් දක්නට ලැබුණි. ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය පාලනය වීම සහ විනිමය අනුපාතිකයෙන් ලැබුණු වාසිසහගත තත්ත්වය හේතු කොටගෙන බටහිර හා ආසියානු රටවල පැමිණීම ඉහළ ගියේය. ඉන්දියානු සංචාරකයන්ගේ සංචාර විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. ඉන්දියන් විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයශංකර් මහතා ද එරට සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචරණය දිරිමත් කරනු දක්නට ලැබිණ. ජර්මනිය, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය වැනි රටවලින් ද පැමිණීම සැලකිය යුතු මටට්මක විය. කෙසේ වෙතත් රුසියන් සංචාරකයන්ගේ ගමන් බිමන් මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අවධානයට පත්ව තිබේ. මෙරටට එන රුසියානු සංචාරකයන් නීති විරෝධීව වීසා කාලයට පසුව ද රුඳී සිටින අතර ව්‍යාපාර කරන බව ද හෙළි වී ඇත. කෙසේ වෙතත් සංචාරක හෝටල්වල කාමර භාවිතය ඉහළ ගොස් රටට විනිමය ලැබෙන අවස්ථා දියුණු වීම මෙරට සංචිත වර්ධනයට බලපෑවේය.

අපනයන අංශයේ තිබුණු ප්‍රගතිය අනෙක් කරුණකි. ඇතැම් අංශයක පිරිහීමක් තිබුණු නමුත් 2022 වසරට සාපේක්ෂව වාසිදායක විය. වසර අවසාන භාගය වන විට අලුතින් පනවන ලද බදු, විනිමය අනුපාත හා ලෝක තරගකාරීත්වය අයහපත් ලෙස බලපෑවේය. අලුත්ම දත්ත අනුව ජනවාරි මාසයේ අපනයන සුළු පිරිහීමක් ද ආනයන වර්ධනයක් ද දක්වයි.

► සංචිත ශක්තිමත් වීම 

මෙම වාසිදායක වාතාවරණය පවත්වා ගැනීමට ආණ්ඩුව උත්සුක විය යුතුය. සංචිත ආරක්ෂා කරගෙන රුපියලේ අගය අවප්‍රමාණය නොවී පවතින පසුබිම සඳහා ප්‍රතිපත්ති තීරණ ගත යුතුව තිබේ. පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාලරාමුව අනුව ශ්‍රී ලංකාව අත්හැර ඇති විදේශ ණය ආපසු ගෙවීම ආරම්භ කළ යුතු වේ. තවත් මාස හයක් පමණ ගත වූ පසු ණය හා පොලිය අලුතින් එකඟ වන සැලැස්මකට අනුව ගෙවන්නට සිදුවේ. එය මෙරට සංචිත පරිහරණය කරන්නට සිදුවන හේතුවකි.

හදිසි අවස්ථාවක් සේ සලකා චීනයෙන් ලබාගත් සංචිත පහසුකම පසුගිය දෙසැම්බර් මාසයේ දී අවසන් විය යුතුව තිබුණි. මහ බැංකුව එය ගැන කටයුතු කර නැත. මෙම සංචිත වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රමවේද අනුව අධිභාරයක් ගෙවිය යුතු වේ. මහ බැංකුව විශේෂයෙන් දැනුම් දී එම පහසුව ඉවත් කරගන්නා ලෙස ප්‍රකාශ නොකරන තාක් කල් චීනයේ මහජන බැංකුව මෙම සංචිත ආයෝජනයෙන් පොලී ආදායමක් ලබනු ඇත. ශ්‍රී ලංකාවේ සංචිත ගැන හුවා දක්වා මෙම පහසුව දිගටම පවත්වා ගතහොත් අවසානයේ දී අපහසුවෙන් උපයන විනිමය චීන සංචිතයට හිලව් කරන්නට සිදුවන බව අමතක කළ යුතු නැත.

► ඉදිරි දේශපාලනයේ අනිවාර්ය සාධකය

රටට ආයෝජන ලබාගැනීම අවශ්‍යය. එහිදී ආර්ථික ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථාවරභාවය වැදගත් වේ. රට කෙරෙහි විශ්වාසය තහවුරු කරගත යුතුය. ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණය මෙහිදී හෙට දිනයේ වාතාවරණය ඉදිරියේ සාධකයකි. අපනයන, විදේශ ණය හෝ සංචාරක කටයුතුවලින් පමණක් රටට ඉදිරියට යා නොහැක. ආයෝජන ලැබුණහොත් විදේශික සමාගම් රටට විනිමය ගෙන එන අතර එම කර්මාන්ත හෝ ව්‍යාපාර කරන අපනයනය තවත් වටයකින් මෙරට විනිමය උත්පාදනයට දායකත්වයක් සපයනු ඇත. ආර්ථිකයේ පැවැත්ම සඳහා මැතිවරණ ප්‍රතිඵලය හා බලයට පත්වන ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සැලකිය යුතු සාධකයකි.

බල අරගලය ඉදිරියේ සියලුම දේශපාලන පක්ෂ තද ස්ථාවරයක සිට කටයුතු කළහොත් නරක ප්‍රතිඵල ලැබෙන්නට බැරි නැත. ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකයේ තාවකාලික ශක්තිමත් භාවය හෝ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ඉක්මවීම ඉතාම වාසිදායක තත්ත්වයක් නොවේ. වාහන ඇතුළු තවත් අංශ ගණනාවක ආනයන නතර කර ඇති පසුබිම තුළ හා ණය නොගෙවන රටක ආර්ථිකය තුළ වත්කමක් නමුත් වේගයෙන් දියවිය හැකි අනතුරුදායක ආර්ථිකයක් අප හමුවේ ඇති බව දේශපාලනඥයන් හා දේශපාලන පක්ෂ හඳුනාගත යුතුය. 

එක වතාවකින් පාඩම් ඉගෙනගත් සමාජයකට තවත් වතාවකින් දරුණු පිරිහීමක් ඇති වුවහොත් අනාගතය අඳුරු විය හැකි අවදානමක් තිබේ. වියදම් අඩු කරන හා රට තුළ උත්පාදනයක් ඇති කරන විශේෂයෙන් මහා පරිමාණ නිපැයුමක් හා ඒවා අපනයනයෙන් විනිමය සොයන අලුත් උපාය සැලසුම් කළ යුතු වේ. ආණ්ඩුව මෙම කර්තව්‍යයට පදනම සකස් කළ යුතු අතර ඊළඟට බලයට පත්වීමට අපේක්ෂා කරන කණ්ඩායම් ස්වකීය සැලසුම් හා ගමන්මග ආර්ථික කරුණු සමඟ සමපාත කරගැනීමට කල් තබා සූදානම් වීම සුදුසුය. 

I සාරා කන්දෙගොඩ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05