රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත කියා බොහෝ ත්‍රිරෝදවල පසුපස ස්ටිකර් අලවා තිබේ. ඒ ත්‍රිරෝද රියැදුරන්ගේ හීන වගේම ත්‍රිරෝද මගීන්ගේ හීනවලටද නව පණක් ලැබෙන ආරංචියක් ලැබුණේ පසුගියදාය. එනම් ත්‍රිරෝද සේවාවලට නිශ්චිත ගාස්තුවක් රජයෙන් නියම කරන බවයි.
1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව මෙතෙක් බලතල පැවරී තිබුණේ මගී ප්‍රවාහන බස් රථ නියාමනය සඳහා පමණකි. එහෙත් පාසල් සිසු ප්‍රවාහන රථ, ත්‍රිරෝද රථ ඇතුළු ගොඩබිම් ප්‍රවාහන සේවා නියාමනය කිරීමට නම් මෙම පනත සංශෝධනය කිරීම අත්‍යවශ්‍යය. ඒ අවශ්‍යතාව මතුව තිබුණේ අදක ඊයෙක නොවේ. සියලු ගොඩබිම් මගී ප්‍රවාහන සේවා සඳහා ගාස්තු නියම කිරීමට මේ වනවිට රජය තීරණය කර ඇත. මෙයට අදාළ කෙටුම්පත ජාතික ගමනාගමන කොමිසම මගින් සකස් කර තිබේ. මේ නව සංශෝධන අනුව මගී බස් සේවාවල මෙන් අනෙකුත් ගාස්තු චක්‍රයක් යටතේ සිදු කෙරේ. 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූයේ 2022 වසරේදීය. මෙයින් පනත සංශෝධනයට අමතරව පළාත් සභාවලට බලය ලබාදීමටත් හැකි බව කියැවිණි.
මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසූවේ මගී සේවා ක්‍රමවත්ව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම සංශෝධිත පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින බවයි. ඒ අනුව ඉදිරි මාස කිහිපය ඇතුළත මේ නියාමන ක්‍රියාත්මක කර මගී ප්‍රවාහන සේවා වෙනුවෙන් ගාස්තු අය කිරීම, ත්‍රිරෝද රථ සඳහා මීටර් සවි කිරීම සහ සියලු මගී සුබසාධන ප්‍රතිපත්ති මාලාවකට අනුව කෙරෙන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි.
මෙම පනතට අනුව සියලු ගොඩබිම් මගී ප්‍රවාහන සේවා රථවල ගාස්තු තීරණය කිරීමත් ඊට අදාළ ප්‍රතිපත්ති සැකසීමත් එම රථවලට ගමන් කළ හැකි මාර්ග තීරණය කිරීම ඇතුළු සියලු කටයුතු ජාතික ගමනාගමන කොමිසම සිදු කරයි.
මේ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ ප්‍රවාහන වෘත්තීය සංගම් සමඟ සාකච්ඡා පැවැත්වීමටද තීරණය කර ඇත. මෙය ක්‍රියාත්මක කිරීමෙන් පසු පළාත් මට්ටමින්ද අධීක්ෂණයක් සිදුකෙරෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි. බස්නාහිර පළාත් සභා බල ප්‍රදේශයේ කුලී රථ සේවාවේ යෙදෙන සියලුම ත්‍රිරෝද රථ හිමියන් ගාස්තු කාණ්ඩ තුනක් යටතේ, ලියාපදිංචි කරවීමට පසුගිය වසරේත් කටයුතු ඇරඹිණ.
ප්‍රවාහන අමාත්‍යංශය ත්‍රිරෝද නියාමනය සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත්තේ 2013 ජූලි මස 31 වැනිදාය. එවකට ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගමය.
එම ගැසට් නිවේදනයට අනුව මගියා කුලී රථ මීටරයේ සඳහන් මුළු මුදල ගමනාන්තය අවසානයේදී ගෙවීමේදී ඔහුට මුදලට අදාළ රිසිට්පතක් නිකුත් කිරීම රියැදුරුගේ වගකීමක් බවත්, ත්‍රිරෝද කුලී රථ මීටරය කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූ ප්‍රමිතියකින් යුක්ත විය යුතු බවත් සඳහන්ය. එසේම ත්‍රිරෝද ගාස්තු නියාමනය සඳහා ගාස්තු සමාලෝචන කමිටුවක් මගින් තීරණය කිරීමද ඒ කෙසේද යන්න වගත් 2013 ගැසට්ටුවේ සවිස්තරාත්මකව සඳහන්ය. ඉන්පසු මේ සම්බන්ධයෙන් 2017 වසරේ ජනවාරි 9 වැනිදාත් සැප්තැම්බර් 8 වැනිදාත් ගැසට් නිවේදන නිකුත් කර තිබේ. එවක ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාය. 2013 ගැසට්ටුවේ තිබූ ගාස්තු සමාලෝචන කමිටුව 2017 ගැසට්වලින් ඉවත් කර ඇති බව දැකිය හැකිය.
කුලී සේවා ත්‍රිරෝද බොහෝ දෙනා හඳුන්වන්නේ මීටර් ටැක්සි ලෙසය. වර්තමානයේ රට පුරා මගී ත්‍රිරෝද රථ නියාමනයක් කළ යුතුදැයි මහජන අදහස් විමසුවහොත් එය කළ යුතුම බවට බොහෝ දෙනා පවසනවාට සැක නැත. කුලී ත්‍රිරෝදවල මීටර් වෙනස් කර ඇති බවටද මහජනතාව චෝදනා නගති. පළමු කිලෝමීටරයට රුපියල් 100 හෝ 120 ක මිලක් එම මීටරවල සඳහන් වන බවත් පළමු කිලෝමීටරය අවසන් වීමට මත්තෙන් මිල දිගින් දිගට වැඩිවන බවත්, ත්‍රිරෝදය නගරවල මාර්ග සංඥාවල නවතාගෙන සිටින අවස්ථාවලදී මිල ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් එය තමන්ට මහත් අසාධාරණයක් බවත් ජනතාව පවසති. එසේම මෙවැනි මිල වෙනස්වීම් සම්බන්ධයෙන් සහ රියැදුරන්ගේ පීඩාකාරී හැසිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කිසිදු බලධාරියකු නොමැති වීමද පසුගිය කාලය පුරාම පැවති බරපතළ ප්‍රශ්නයකි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමස්ත ලංකා ත්‍රිරෝද රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා මෙසේ පැවසුවේය.
“මේ ගැන පනත් කෙටුම්පත් සංශෝධනය කරන්නේ අදක ඊයෙක නෙවෙයි. අවුරුදු 4 කට කලින් ඉඳන් මේක කරන වැඩක්. 2013 දී ප්‍රවාහන අමාත්‍යංශය ත්‍රිරෝද නියාමනය සම්බන්ධයෙන් ගැසට් එකක් ගැහුවා. එතකොට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම. 2015 දීත් 2017 සැප්තැම්බර් මාසයේදීත් ආයෙත් මේකට සංශෝධන ගෙනාවා. 2013 ගැසට්ටුවේ තිබූ ගාස්තු සමාලෝචන කමිටුව 2017 දී එවක බලධාරීන් ඉවත් කළා. ඒත් හැමදාම මේක සංශෝධන ගෙනාවාට ක්‍රියාත්මක කරන්නේ නෑ. මම මේ වැඩේ පෞද්ගලිකවම මැදිහත්වෙලා කරන්න ගත්ත උත්සාහයක් 2013 ඉඳන්. මේකට අපෙන් කැමැතිද අහන එකත් අපිට කරන අසාධාරණයක්. ආණ්ඩුව දැන්වත් මේක කරන්න පටන් ගැනීම ගැන අපි සතුටු වෙනවා. ගාස්තු සමාලෝචන කමිටුවක් හරහා කෙරෙන්නේ ගාස්තු තීරණය වන්නේ නිශ්චිත මිල සූත්‍රයක් අනුවයි. අඩුවීම වැඩිවීම කෙසේ වෙතත් සාධරණ නිශ්චිත මගියාගෙන් මගියාට වෙනස් නොවන වෙලාවෙන් වෙලාවට වෙනස් නොවන සාධාරණ එක මිලකටයි අපි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම ත්‍රිරෝද රථයේ ගාස්තුව ගැන කතා කරනවා වගේම ත්‍රිරෝද රියැදුරන්ට ඍජුව බලපාන ප්‍රශ්නත් කථිකාවක් ගොඩනැගෙන්න ඕනෑ. ත්‍රිරෝද රියැදුරන් විදිහට අපි උඩින්ම කැමැතියි මේ වැඩේට. කාලයක් තිස්සේ මේක නොවුණු නිසයි මහජනතාවත් ත්‍රිරෝද රියැදුරනුත් දෙගොල්ලෝම අපහසුතාවට ලක්වුණේ. මේකත් කියන්නම ඕනෑ. අනිවාර්යයෙන් ලබන මාසයේ ඉන්ධන මිල සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමන්ගේ වගකීම ඉටු කරන්න ඕනෑ. එහෙම නොවුණොත් ත්‍රිරෝද රියැදුරන් විදිහට අපි එනවා පහුවදාටම කාර්යාලය ඉදිරිපිටට.”
ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මැදිහත්වීමෙන් ත්‍රිරෝද පමණක් නොව පාසල් සිසු ප්‍රවාහන සේවා රථ, කාර්යාල සේවක ප්‍රවාහන රථ ඇතුළු ගොඩබිම් ප්‍රවාහන සියලු සේවා සඳහා ගාස්තු නියම කරමින් මෙම නව පනත සංශෝධන සහිතව බලාත්මක කිරීමට නියමිතය. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ත්‍රිරෝද රියැදුරන්ගේ වගේම මහජනතාවටත් සුහදශීලී සේවාවක් මතු දිනක හෝ ලැබේවායි ප්‍රාර්ථනා කිරීම පමණකි. මෙම ක්‍රියාදාමයත් තවත් නාට්‍ය සංදර්ශනයක් නොවිය යුතු බවද අපි අවධාරණය කරමු.
I සසංක චලන ගිම්හාන