බාලගිරි සාපය වැදුණු දේශපාලන තේමා කිහිපයක් ශ්‍රී ලංකාව තුළ වෙයි. නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, විධායක ක්‍රම අහෝසි කිරීම සහ මැතිවරණ ක්‍රමය සංශෝධනය ඒ අතරින් ප්‍රමුඛය. ඉකුත් සතියේ මෙම මාතෘකා අතරින් නැවත කරළියට ආවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ කතාවයි.
දේශය වාර්තා කළ පරිදි සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනස් කොට ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරාගත හැකිවන පරිදි පවත්නා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළ විශේෂ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට රැගෙන ඒම ඉකුත් සතියේ සිදුවිය. අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව රැගෙන විත් තිබුණි.
මැතිවරණ ක්‍රම සම්බන්ධ වෙනස්කම් යෝජනා වීම දීර්ඝ කාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වුවද, ඉඳුරාම මෙම යෝජනාව දේශපාලන කාලගුණය උණුසුම් වීම කෙරෙහි තීරණාත්මකය. ඊට හේතුව නම් මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කුමන්ත්‍රණ දියත් කරන බවට විපක්ෂය විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාවයි.
පවතින දේශපාලන තත්ත්වයන් පසෙක තබා බලන කල මෙම යෝජනාව ශ්‍රී ලංකාව තුළ වන බරපතළ දේශපාලන අර්බුද කිහිපයක් ස්පර්ශ කරයි. දැනට අපට දැන ගැනීමට ලැබෙන පරිදි මෙම විශේෂ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා ගන්නා සමානුපාතික මැතිවරණ ක්‍රමයේ බරපතළ වෙනසකි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසවල ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බව මෙහිදී යෝජනා වී තිබේ. ඉතිරි මන්ත්‍රීන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගත යුතු බවත් එහි සඳහන්ය. මේ සමඟම පවතින මනාප දේශපාලනයෙන් අත්මිදීමට මෙම යෝජනාව ඉඩකඩ සලසා දෙයි. මෙය සරල බහුතර සහ සමානුපාතික මැතිවරණ ක්‍රම ද්විත්වයේ සංකලනයකි.
වර්තමාන සමානුපාතික ඡන්ද ක්‍රමය පිළිබඳව ද මෙම සංවාදයේ දී සැකෙවින් හෝ අවධානය යොමු කළ යුතුය. නිදහස ලබන විටත් මෙරට පැවති සරල බහුතර මැතිවරණ ක්‍රමය අහෝසි කරන්නට යෙදුණේ 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනි. සරල බහුතර නියෝජන ක්‍රමය මගින් මහජන මතය හරිහැටි නියෝජනය නොවන බවට වූ චෝදනා මෙම සංශෝධන සඳහා හේතු විය.
කෙසේ වෙතත් මෙම හඳුන්වා දීමෙන්ද අපේක්ෂිත ප්‍රතිඵල අත් නොවූයේය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මැතිවරණයකදී 12.5% ට වඩා අඩු ඡන්ද ප්‍රතිශත ලබාගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජිතයන් තේරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීම සඳහා ප්‍රතිපාදන පනවා තිබිණි. එම දුර්වලතාව යම් ප්‍රමාණයකට අඩු කිරීමේ ක්‍රමවේදයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි සංශෝධනය මගින් එම ප්‍රතිශතය 5% දක්වා අඩු කිරීමට කටයුතු කරන ලදී.
මැතිවරණ ක්‍රම සමඟම ජනවාර්ගික ගැටලුව එකිනෙක මුහුවන්නට විය. එවන් වූ විවිධ කරුණු හේතු කොටගෙන පවත්නා මැතිවරණ ක්‍රම හඳුන්වා දී දශක හතරක් ගතවූ තැන ඒ පිළිබඳ තෘප්තිමත් හැඟීමක් ජනිත නොවුණි. දැනට ක්‍රියාත්මක වන සමානුපාතික ඡන්ද ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තිවලට පටහැණි බවට චෝදනා නැගෙන්නට විය.
පවත්නා ඡන්ද ක්‍රමය වෙනස් කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වන්නට පටන් ගත්තේ මෙවන් පසුබිමක් තුළය. ඒ අනුව 1995 වසරේ සිටම ශ්‍රී ලංකාව තුළ බලයට පත්වූ ආණ්ඩු මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදු කිරීම සඳහා විවිධ උත්සාහ දැරීය.
දිස්ත්‍රික් ඡන්ද ක්‍රමය නීතිවිරෝධී වත්කම් රුස්කිරීම් ඇතුළු දූෂණ ක්‍රියාවලට මහජන නියෝජිතයන් පොළඹන බව බොහෝ පාර්ශ්ව විසින් පෙන්වා දී ඇත. ඉකුත් දා ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ද එම තොරතුරු අන්තර්ගත කොට ඇත. මෙම යෝජනාව සාධාරණීකරණය කිරීම සඳහා පහත දැක්වෙන කරුණු අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කොට ඇතැයි කියැවේ.
දැනට පවතින සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ මැතිවරණ අපේක්ෂකයන් විසින් සමස්ත මැතිවරණ දිස්ත්‍රික්කය තුළම ප්‍රචාරණ කටයුතු සිදු කළ යුතු බැවින්, ඒ සඳහා වැය කළ යුතු පිරිවැය දරාගත හැකි අපේක්ෂකයන්ට පමණක් මැතිවරණය සීමා වීම එහිදී ඉදිරිපත්ව ඇති පළමු කරුණයි. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්ති පවා උල්ලංඝනය කිරීමකි.
එසේම ඉහත තත්ත්වයන් යටතේ මැතිවරණ සඳහා දැරිය යුතු අධික පිරිවැය නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ පවා ආදායම් ඉපයීමට අපේක්ෂකයන් පොළඹවනු ලබන බව රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටී. තවද නීතිවිරෝධී සහ අයථා මාර්ගවලින් මුදල් රුස් කළ තැනැත්තන් මැතිවරණ අපේක්ෂකයන්ට අනුග්‍රහය දක්වන විට ඔවුන්ගේ නීතිවිරෝධී කටයුතුවලට සහාය පළ කිරීමට මහජන නියෝජිතයන් පෙළඹීමට ඇති ඉඩකඩ විශාලය.
ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමටත්, පවත්නා මැතිවරණ ක්‍රමය බාධාවකි. නව මැතිවරණ ක්‍රමය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වන්නේ මෙවන් හේතු සාධක රුසක් පදනම් කර ගනිමිනි. ඉකුත් වසරේ අවස්ථා ගණනාවකදීම මේ පිළිබඳ සංවාද ඇතිවූ අතර, ජනාධිපතිවරයා විසින් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් පවා සිදු කළේය.
ඒ අනුව මේ වන විට අවසාන වශයෙන් යෝජනා වී ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 160 දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් ඍජුවම තෝරාපත් කරගත යුතු බවය. ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම පිණිස විධිවිධාන සැලසෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සහ ඉතිරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරා ගැනීමට යෝජනා වී තිබේ. තවද මේ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවේ නිර්දේශ සැලකිල්ලට බඳුන් කළ යුතු බවටද යෝජනා වී තිබේ.
මෙම යෝජනාව සාක්ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබා දෙන ලෙස ඉකුත් දා ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා වී ඇතැයි කියැවේ. ඒ අනුව නීතිපතිවරයා විසින් අදාළ නීති කැටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්ව ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියැවන්නේ පසුගිය සාකච්ඡා වාරවලදී පක්ෂ නායකයන්ගේද කැමැත්ත මේ සඳහා ලැබුණු බවකි.
එහෙත් ඉදිරි සතිය තුළ මෙම සංවාදය දේශපාලන කරළියේ ප්‍රමුඛස්ථානයට පැමිණියහොත් තත්ත්වය සංකීර්ණ වනු ඇත. වාර්ගික පක්ෂ සහ සුළු පක්ෂ මේ කෙරෙහි දක්වන ප්‍රතිචාරය කවර ආකාරයේ වේදැයි පැහැදිලි නොමැත. වාස්තවික දේශපාලන තත්ත්වය පිළිබඳ සලකා බැලීමේදී තත්ත්වය සංකීර්ණ වනු බව නිසැකය.
I චමිඳු නිසල් ද සිල්වා