ඉන්ධන බෙදුම්කරුවන්ට හිමිවන මාසික කොමිස් මුදලින් 35% ක් මාසික පරිහරණ ගාස්තුවක් ලෙස මාර්තු 4 වැනිදා සිට අයකර ගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව යළි තීරණය කර තිබේ. පසුගිය ඔක්තෝබරයේදී මෙම තීරණය ගෙන ආ නමුදු බෙදුම්කරුවන්ගේ විරෝධය හමුවේ එය කෙටි කලකට නවතා දැමීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගත්තේය. දැන් යළි එය කරළියට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් පිරවුම් හල් රුසක් වැසී යාමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි වාර්තා වේ.
සංස්ථාව විසින් මාසික පරිහරණ ගාස්තුව ලෙස සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් දැනටමත් වට්ටම් මුදලින් 0.25% ක් අයකරන අතර සංස්ථාව මගින් ඔවුන්ගේ සියලුම වියදම් හා ලාභ ප්‍රතිශත එක් කර බෙදුම්කරුවන් වෙත දෙන ඉන්ධන, ඔවුන් ප්‍රකාශ කරන මුදලට විකුණා ලබන ඉතා කුඩා ලාභ ප්‍රතිශතයෙන් තවත් 35% ක ප්‍රමාණයක් යළි ලබාගැනීමට උත්සාහ කිරීම වළක්වාලමින් සංස්ථා පාලිත ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පසුගිය සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රිට් ආඥාවක් ලබාගෙන තිබේ.
සංස්ථාව සතු පිරවුම් හල් සඳහා හිමිවන කොමිස් මුදල 2.75% කි. වෙනත් පිරවුම් හල් සඳහා 2.95% ක කොමිස් මුදලක් හිමි වේ. ඉන්ධන බෙදුම්කරුවන් විවිධ බදු සේවක පඩිනඩි, නඩත්තු ගාස්තු, විදුලි සහ ජල බිල් හා අනෙකුත් වියදම් පියවා ගන්නේ මෙම කොමිස් මුදලිනි. ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් බිම් කුලිය හා අලෙවි කුලිය වශයෙන් මසකට ලක්ෂ ගණනක් ඛනිජ තෙල් සංස්ථාව ලබාගනී. පසුගිය දිනවල ඉන්ධන බෙදුම්කරුවන්ට ලබා දෙන කොමිස් මුදලින් 35% ක් යළි අයකර ගැනීමට කළ උත්සාහයට ඉන්ධන බෙදුම්කරුවන් විරුද්ධ වීම හේතුවෙන් ඉන්ධන සඳහා අලුතින් එක්වූ වැට් බද්ද පිරවුම් හල් හිමියන්ගෙන් අයකර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ සංස්ථා පාලිත බෙදුම්කරුවන් හෙවත් සංස්ථාව සතු පිරවුම්හල්වල ඉන්ධන බෙදුම්කරුවන්ට බවයි.
''මින් වසර 15කට 20කට පමණ ඉහත මෙම පිරවුම් හල් පවත්වාගෙන යාම සඳහා ගිවිසුම්ගත වීමේදී අපට ගෙවන මුදලින් සංස්ථාවෙන් ලබා දී ඇති පහසුකම් වන ඉඩම, තීන්ත ගෑම, උපකරණ නඩත්තුව වැනි දෑ සඳහා යම් මුදලක් කපාගැනීමට කටයුතු කළා. මේ අයුරින් කටයුතු කරමින් සිටියදී සංස්ථා පාලිත බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු වෙනස් කළා. ඉස්සර මාසෙකට ලක්ෂ හයක් වැනි මුදලක් ඔවුන් අයකර ගත්තා එක් පිරවුම් හලකින්. සංස්ථා පාලිත බෙදුම්කරුවන්ට තවත් අසාධාරණයක් වුණා. වෙනත් පිරවුම් හල් සඳහා 2.95% ක කොමිස් මුදලක් හිමිවන විට සංස්ථා පාලිත බෙදුම්කරුවන්ට ලැබුණේ 2.75% යි. දැන් අපට ලබා දෙන කොමිස් මුදලින් 35% ක් යළි අයකර ගැනීමට ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබෙනවා. එයට හේතු ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ එලෙස අයකර ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය අලුත් තීන්දුවක් ගත්ත කියලයි. සංස්ථා පාලිත ඉන්ධන පිරවුම් හල් 400ක් පමණ තිබෙනවා. මෙයින් 80% ක්ම සමුපකාර ඉන්ධන හල්. මෙම ඉන්ධන බෙදුම්කරුවන්ට චක්‍රලේඛයක් ආව ඉන්ධන ලබා දීමට නම් කලින් මුදල් ගෙවිය යුතුය කියලා. ඒකටත් වෙලාව දීල තිබුණේ උදේ 8.30 වන විට මුදල් බැඳිය යුතුයි කියලා. ඒ වෙලාවට බැංකු ඇරල තියෙනවද? ඉන්ධන බෙදුම්කරුවන් පෙර දවසේ එකතු වන මුදලින් තමයි යළි ඉන්ධන ලබාගැනීමට ඛනිජ තෙල් සංස්ථාවට මුදල් ගෙව්වේ. පසුව බෙදුම්කරුවන්ගේ විරෝධතාව මත මෙය උදෑසන 10 දක්වා කල් දැම්මා. ඉන්දියානු තෙල් සමාගම සහ සයිනොපෙක් සමාගම තෙල් ලබාදීමෙන් පසුවයි මුදල් අය කළේ. ඒත් සංස්ථාව තෙල් දුන්නේ මුදල් ගෙවීමෙන් පසුවයි. තෙල් බෙදුම්කරුවන්ට රජයේ වාහනවලින් ඒ මොහොතේ මුදල් ලැබෙන්නේ නැහැ. ඔවුන් දෙන්නේ චෙක්පත්. දැන් බොහෝ පිරිස් මුදල් ගෙවන්නේ ක්‍රෙඩිට් කාඩ් වලින්. ඒ මුදල් බෙදුම්කරුවන්ට ලැබෙන්නේ පසුවයි. ණයට තෙල් නොලැබෙන නිසා ඊළඟ ඇනවුම සඳහා අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට පිරවුම් හලට යම් කාලයක් අවශ්‍යයි. ඒ ගැන සංස්ථාව කිසිදු තැකීමක් කළේ නැහැ. සංස්ථාව කිව්වා පරිහරණ ගාස්තුව බැංකුවේ තැන්පත් කරන මුදලින් කොටස් වශයෙන් කපා ගන්නව කියල. එහෙම කපා ගත්තම අවශ්‍ය ප්‍රමාණයට ඇනවුම් කරන්න නොහැකි වුණා. එවිට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට නැවත මුදල් සෙවිය යුතු වුණා. ඒ අතර වැඩිවුණු 3% වැට් බද්දත් බෙදුම්කරුවන් විසින් ගෙවිය යුතු යැයි ඔවුන් ප්‍රකාශ කළා. ඒ සියල්ල ඔවුන් කළ යුතු වූයේ අර සුළු කොමිස් මුදලින්. වැට් බද්ද රජයේ තීරණයක් නිසා එයත් ගෙවන්න අපි එකඟ වුණා. අපට වැට් ගෙවන්න කියන එක වැරදියි. මන්ද ඔවුන් මිල සූත්‍රයට වැට් බද්දත් එකතු කරලයි මිල නියම කරන්නේ. ඒ නිසා එය බෙදුම්කරුවන්ට ගෙවන්න යැයි කීම අසාධාරණයි. වියදම් වැඩි වුණත් ඉන්ධන ගෑස් වැනි දේවල් හිතූ හිතූ ගණන්වලට අලෙවි කරන්න බැහැ. ඒවාට මිල සූත්‍රයක් තිබෙනවා. බෙදුම්කරුවන් ඒවා අලෙවි කළ යුත්තේ ඒ අනුවයි. මෙවැනි වාතාවරණයක් යටතේ විශේෂයෙන් සමුකාර ඉන්ධන පිරවුම් හල් වැසී යාවි. මන්ද සමුපකාරවල පිරවුම්හල්වල පමණක් නොව සමුපකාරය මගින් පවත්වාගෙන යන සතොස, සණස වැනි අනෙකුත් ආයතනවල සේවය කරන පිරිසටත් වැටුප් ගෙවන්නේ ඉන්ධනහල්වලින් ලැබෙන ආදායමෙන්. ඉන්ධන හල් වැසී ගියොත් එම සේවකයනුත් මහ පාරට ඇද වැටෙයි.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.
සාමාන්‍යයෙන් ඉන්ධන පිරවුම් හලක් ලබාගන්නේ ටෙන්ඩර් ක්‍රමය යටතේය. ඒ සඳහා අවම වශයෙන් ලක්ෂ 200ක් 300ක් පමණ ගෙවිය යුතු වේ. ඊට අමතරව තවත් ලක්ෂ 60 – 70ක් අතයට ගෙවීම් ලෙස ලබා දීමට සිදුවන බවද පැවසේ.
මින් වසර 12කට ඉහත නියෝජිත පිරවුම් හල් ඇතුළු සියලු පිරවුම් හල් නඩත්තු කරන ලද්දේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගිනි. පිරවුම් හල් නවීකරණය සඳහා පොලී රහිත ණය ද ලබා දුනි. වර්තමානයේ මෙම සියලු කටයුතු පිරවුම් හල් හිමියන් වෙත පටවා තිබීම හේතුවෙන් ඉදිරියේ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම විශාල ගැටලුවක් වනු ඇතැයි බෙදුම්කරුවෝ පෙන්වා දෙති. තමන් මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරින් දැනුම්වත් කළද ඔවුන් ඒ කිසිවක් ගණන් නොගත් හෙයින් තම වට්ටමින් 35% ක් කපාගැනීම අත්හිටුවන ලෙසට ඉල්ලා බෙදුම්කරුවන්ගේ සංගමය දිසා අධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කළේය. එය පසුගියදා ඉවත් කෙරුණු හෙයින් ඔවුහු පසුගිය 3 වැනි සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රිට් අඥාවක් ලබා ගැනීමට පියවර ගත්හ. ඒ අනුව එම අයකර ගැනීම් තාවකාලිකව නවතා ඇතැයි ඛනිජ තෙල් සංස්ථාව බෙදුම්කරුවන් වෙත දන්වා තිබේ.
බෙදුම්කරුවන් මුහුණ දෙන තවත් අර්බුදයක් වී ඇත්තේ පෙර කාලයේ පැවැති ඉන්ධන අලෙවිය 50% කින් පමණ පහත වැටී තිබීමය. බස්නාහිර පළාතේ යම් අලෙවියක් පැවතියද කුරුණෑගල, දඹුල්ල, ත්‍රිකුණාමල වැනි ඈත ප්‍රදේශවල ඉන්ධන අලෙවිය විශාල ලෙස පහත වැටී තිබේ. අලෙවිය අඩු වුවද අනෙකුත් වියදම් පහත වැටී නැත. සාමාන්‍යයෙන් ඉන්ධන හලකට අවම වශයෙන් සේවකයන් 12 දෙනකුවත් අවශ්‍ය වේ. ආදායම අඩුවීමෙන් බොහෝ ඉන්ධන හල් හිමියන් කබලෙන් ලිපට වැටී තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්ධන පිරවුම් හල් වැසී යන්නට සලස්වා ඒවා විදේශ සමාගම්වලට ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරමින් සිටින්නේද යන සැකය තමන්ට ඇති බවද ඔවුහු පවසති.
මහරගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉන්ධන පිරවුම් හලක් පවත්වාගෙන යන එම්.ඩී.එස්. පෙරේරා මහතා සඳහන් කළේ ඉන්ධන මිල කොතරම් ඉහළ ගියද ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදුම්කරුවන්ට වට්ටම් ලබා දෙන්නේ අවමය රුපියල් 120ත් උපරිමය 160ත් වන ප්‍රමාණයට පමණක් බවයි. ඒ අනුව ඉන්ධන මිල කොතරම් ඉහළ අගයක පැවතියද රුපියල් 160 මිල සීමාව ඉක්මවා කිසිදු කොමිස් මුදලක් බෙදුම්කරුවන්ට ලැබෙන්නේ නැත.
''අපට දැන් ව්‍යාපාරය පවත්වාගෙන යාම විශාල ගැටලුවක්. ඉස්සර ණය පදනම මත ඉන්ධන ලබා දුන්නා. ඒ අනුව දින තුනක කාලයක් තුළ මුදල් ගෙවීමට හැකියාව පැවතියා. දැන් උදේ 10 වන විට මුදල් දැමිය යුතුයි. ඉන් පසුවයි අපට ඉන්ධන ලබා දෙන්නේ. දැන් අලුත් නීතියක් දාල කොමිස් මුදල ලක්ෂ 15 ඉක්මවා යන්නේ නම් එම කොමිස් මුදලින් පරිහරණ ගාස්තු ලෙස 35% ක් යළි ගෙවිය යුතු යැයි කියලා. එවැනි මුදලක් ආපසු ගෙවලා අපිට මේ ආයතන පවත්වාගෙන යන්න බැහැ. අපි සේවක පඩිනඩි, සේවක අර්ථසාධක අරමුදල්, විදුලිය සහ ජල බිල්, නඩත්තු ගාස්තු, වැට් බදු, ආදි සියල්ල ගෙවිය යුත්තේ මේ කොමිස් මුදලින්. ඊට අමතරව ඉන්දියන් ඔයිල් සමාගම, සයිනොපක් සමාගම වැනි විදේශ සමාගම් සමඟ ගිවිසුම්ගත වෙලා තියෙන්නේ ඔවුන්ට පිරවුම් හල් 150 බැගින් ලබා දෙන බවටයි. ඊට අමතරව අලුතින් තවක් පිරවුම් හල් පනහක් ඔවුන්ට ආරම්භ කළ හැකියි. එතකොට කාටවත් මේ කර්මාන්තයේ ඉන්න බැරි වෙනවා. අපි මසකට ලක්ෂ 20ක ආදායමක් උපයනවා නම් අලුතින් පිරවුම් හල් එන එකෙන් අපේ ආදායම අඩකින් පමණ අඩුවුණා කියා සිතමු. ඒත් අපේ වියදම් එහෙමමයි. ඉතින් කොහොමද අපි මේවා පවත්වාගෙන යන්නේ.'' යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා