ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය" යන මැයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රචිත කෘතිය එළි දැක්වීම මාර්තු මස 07 වැනි බ්‍රහස්පතින්දා සිදුවිය. අරගලය සහ ඒ ආසන්න සිදුවීම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කරනු ලැබ ඇති මෙම කෘතිය ශ්‍රී ලාංකික දේශපාලන සන්දර්භය විෂයෙහි අතිශය වැදගත් ප්‍රකාශනයකි.
මෙම කෘතියේ ගුණ දොස් සත්‍ය අසත්‍යතා විග්‍රහ කිරීම පාඨක ජනතාව සතු අයිතියකි. එසේ නමුත් මෙම කෘතියේ සන්දර්භය පිළිබඳව අදහසක් සියලු පුරවැසියන් වෙත ලබා දීම අපගේ වගකීමකි. ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කළ වසර දෙකකුත් මාස නමයක කාලය තුළ ශ්‍රී ලංකා ඉතිහාසයේ ලියැවිය යුතු සංධිස්ථානීය සිදුවීම් පෙළක් සිදුවුණි. එම දේශපාලනික සිදුවීම් විග්‍රහ කොට නොගෙන, ශ්‍රී ලංකාවේ අතීතයත් අනාගතයත් පිළිබඳ කිසිවකුට විවරණය කළ නොහැකිය.
තම තම තුලාවන් මත තබා මෙම තොරතුරු කිරා මැන බැලීමටත්, වැඩිදුර තොරතුරු පිණිස මෙම කෘතිය කියවා බැලීමටත් ඔබට අවකාශය පවතී. අප මෙහිදී ඔබ වෙත ගෙන එන්නේ මෙම කෘතිය පිළිබඳ සංක්ෂිප්ත විචාරාත්මක අදහසකි.
“ජාත්‍යන්තර අනුග්‍රහයෙන් වූ ‘රෙජිම් චේන්ජ්’ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු වූ හැටි" යන තේමාව යටතේ රචිත මෙම කෘතිය හිටපු ජනාධිපතිවරයා විසින් අරඹා ඇත්තේ මෙලෙසය.
“විරෝධතා සහ උද්ඝෝෂණ මධ්‍යයේ සිය ධූරයෙන් ඉල්ලා වූ ලොව පළමු රාජ්‍ය නායකයා මම නොවෙමි. නමුත් ලෝකයේ වෙනත් රටවල එවැන්නක් සිදු වූ බොහෝ අවස්ථාවල අදාළ නායකයා එක්කෝ මැතිවරණවලින් තොරව රට පාලනය කළ ආඥාදායකයකු, නැතිනම් මැතිවරණ ක්‍රමය කූඨ ලෙස මෙහෙයවමින් ඉතා දිගු කලක් බලයේ රුඳී සිටි පුද්ගලයකු වන බව අපි දැක ඇත්තෙමු. නමුත් මම එම කුලක දෙකටම අයත් නොවෙමි."
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ කාලයේ රට ස්ථාවරව පවත්වාගෙන යාමේ අව්‍යාජ උත්සාහයක තමා නිරත වූ බව හිටපු ජනාධිපතිවරයා මෙම කෘතිය හරහා කියා සිටියි. මෙහිදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සිය ප්‍රකාශනය මෙහි සටහන් කොට ඇත.
තමා පිළිබඳ බාහිර පාර්ශ්ව තුළ වූ පූර්ව විනිශ්චයන්, 2019 වසර අග පැවති ආර්ථික තත්ත්වය, ගෝලීය කොවිඩ්-19 වසංගතය, කොවිඩ් සමයේ ආර්ථිකය කඩා වැටීමට මුහුණ දීම, කඩිනම් එන්නත් ව්‍යාපාරය, තුනෙන් දෙකේ බහුතරයක දේශපාලන ගැටලු, මග නතර වූ ආයෝජන අවස්ථා සහ කාබනික ගොවිතැන් ව්‍යාපෘතිය ආදී කරුණු පිළිබඳව වෙන් වෙන්ව මෙම කෘතියේ කරුණු ඉදිරිපත් කොට තිබේ.
ඊට අමතරව අරගලය හා සමකාලීන සිදුවීම් පෙළ ද හිටපු ජනාධිපතිවරයා ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් මෙහිදී විග්‍රහ කොට ඇත. ඉන්ධන හිඟය, පෝලිම් සහ ප්‍රචණ්ඩත්වය, කඩාකප්පල්කාරී ක්‍රියා තුළින් රට අස්ථාවර කිරීම, දුෂ්කර ආර්ථික ප්‍රතිපත්ති තීරණ, වැරදි අවබෝධයන් සහ දොස් පැවරීම්, පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරගලය, නීතිය හා සාමය අන්තයට බිඳවැටීම ආදී තේමා යටතේ එම සංවාදය ගොඩනගා තිබේ.
“2019 නොවැම්බරයේ ජනාධිපති වීමෙන් පසුව පිහිටුවන ලද රජය ආරම්භයේ සිටම ඇතැම් බාහිර පාර්ශ්ව අසාධාරණ ලෙස පූර්ව විනිශ්චයට ලක් කළේය. මගේ ධූර කාලයේ මුල් මාස කිහිපය තුළ මා මුහුණ දුන් එවන් අවස්ථා පහත සඳහන් පරිදි දැක්විය හැකිය."
ජනාධිපති කාර්යාලය ඇසුරේ සිදුවූ සිදුවීම් ද සහිතව බාහිර පාර්ශ්ව තමා පිළිබඳව දැක්වූ ප්‍රතිචාර මෙහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විග්‍රහ කොට දක්වා තිබේ. ආරම්භයේ සිටම තමා විදේශ බලවේගවල ඉලක්කයක් වූ බව පැහැදිලි කිරීම මෙහිදී ඔහු අරමුණු කරගත් බව පෙනී යයි.
මේ අතර ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති දේශපාලන බල අර්බුද පිළිබඳවද යම් පමණක අදහසක් මෙම කෘතියෙන් ලබාගත හැකිය. කෙසේ වෙතත් මෙම කෘතියෙන් පැවති දේශපාලන වටපිටාවේ සමස්තය නිරෑපණය වේ යැයි සඳහන් කළ නොහැකිය. සිය නිදොස් බව ප්‍රකාශ කිරීමේ අභිමතාර්ථය සහිතව හිටපු ජනාධිපතිවරයා මෙම කෘතිය ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි සියල්ල විග්‍රහ කර දක්වන්නේ ඔහුගේ දෘෂ්ටිකෝණයෙනි.
පසුගිය වසංගත සමයේ දේශපාලනය සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ තීන්දු පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු මෙහි අන්තර්ගතය. වසංගතයෙන් පසුව නැවත ආර්ථිකයේ පිබිදීමක් සිදුවෙමින් පැවති බව ඔහු සඳහන් කරයි.
“මෙම ප්‍රවණතාවය දිගටම පැවතුණේ නම්, 2022 යනු ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතයෙන් පසු ප්‍රකෘති තත්ත්වයට පත්වෙන වසර බවට පත්වීමට ඉඩ තිබුණි. නමුත් ඊනියා අරගලය 2022 අප්‍රේල් 9 සිට ආරම්භ වූයේ ද ඇතිවෙමින් තිබුණු එම පුනර්ජීවනය වැළැක්වීමටය. මගේ විරුද්ධවාදීන් 2022 අප්‍රේල් මැයි මාසවල දේශපාලනික වශයෙන් අකර්මණ්‍ය වූයේ නම්, සංචාරක ව්‍යාපාරයේ පිබිදීම, විදෙස්ගත සේවකයන්ගේ ප්‍රේෂණ සහ අපනයන ආදායම් තුළින් ඩොලර් හිඟය නැති වී ආර්ථිකය යළිත් ස්ථාවර වීමට ඉඩ තිබුණි."
කෘතියේ දී ආර්ථික අර්බුදය පැන නැගීම සහ ඒ සම්බන්ධව ගනු ලැබූ තීන්දු පිළිබඳ අදහසක් සපයයි. ණය ගෙවීම පැහැර හැරීම සම්බන්ධව තමා මුලදී විරෝධය පෑ බව එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කොට තිබේ. ආර්ථික අර්බුදය සම්බන්ධ විග්‍රහයේදී ආණ්ඩුව අභ්‍යන්තරයේ ආර්ථිකය හැසිරවීම පිළිබඳ වූ මතභේද පිළිබඳව ද සැකෙවින් අදහසක් ලබාගත හැකිය. එහෙත් ඒ විස්තරාත්මක විග්‍රහයක් නොවේ. අරගලය අවසාන අදියරේදී සිදුවූ ජනාධිපති මන්දිරය වැටලීම පිළිබඳව යම් පමණක තොරතුරු මෙහි අන්තර්ගතය.
“පෙරවරු 10.30 ට පමණ මා වහාම ජනාධිපති මන්දිරයෙන් පිටවිය යුතු බව ආරක්ෂක ලේකම් හා හමුදා ප්‍රධානීහු මට කියා සිටියහ. ඒ වන විට උද්ඝෝෂකයන් ජනාධිපති මන්දිරය වටලා පැයක්වත් ගත වී තිබුණේ නැත."
හිටපු ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් නික්ම යාම පිළිබඳවද මෙහිදී සටහනක් තබා තිබේ.
“ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ උපදෙස් පරිදි අප හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඇඳුම් සහ වෙනත් දෑ සහිතව ගමන් මලු දෙකක් සූදානම් කොට තිබුණි. අප එම ගමන් මලු රුගෙන පහළට පැමිණ අපගේ වාහනවලට නගින විට, උද්ඝෝෂකයෝ ඉදිරි ගේට්ටුව කඩාගෙන ජනාධිපති මන්දිර පරිශ්‍රයට ඇතුළු වූහ."
මෙම සියලු සිදුවීම් සම්බන්ධ දීර්ඝ පැහැදිලි කිරීම් මෙම කෘතියේ අන්තර්ගතය. එම පැහැදිලි කිරීම් සියල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙනි. අරගලය සම්බන්ධව මේ වන විටත් විවිධ කෘති රචනා වී ඇති පසුබිමක, සිදුවූ සියල්ල අවබෝධ කර ගැනීම සඳහා මෙම කෘතිය ද ප්‍රහේළිකාවේ එක් කොටසක් පූර්ණය කරනු ඇත. ඒ අර්ථයෙන් මෙම කෘතිය මෙරට දේශපාලනයේ සමස්තය අවබෝධ කරගැනීමෙහිලා උත්සාහවන්ත වන්නන්ට අත්‍යන්තයෙන්ම වැදගත්ය.
I චමිඳු නිසල් ද සිල්වා