2024 මාර්තු 09 වන සෙනසුරාදා

කැනඩාවම තිගැස්සූ ලංකා පවුලේ ඝාතනය

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 200

පසුගිය බදාදා රාත්‍රී 10.52ට කැනඩාවේ ඔටාවා පොලිසියට 911 අංකයෙන් දුරකතන ඇමැතුමක් ලැබී තිබිණි. ඉන් පැවසුණේ ඝාතනයක් සම්බන්ධයෙනි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානය වෙත කඩිනමින් ඉගිල ගියේය. ඔටාවා නගරයේ බෙරිගන් ඩ්‍රයිව් ප්‍රදේශයේ වැසියන් පසුගිය බදාදා රාත්‍රියේ සුපුරුදු පරිදි නින්දට ගියේ හිමිදිරියේම අවදිවීමේ අපේක්ෂාව ඇතිවය. එහෙත් ප්‍රදේශය සිසාරා ඇසුණු පොලිස් රථවලින් නැඟුණු සයිරන් නලා හඩින් එම ප්‍රදේශයේ නිහැඬියාව බිඳ දැම්මේය. වේගයෙන් පැමිණි  පොලිස් වාහන කිහිපයක් එක්තරා නිවෙසක් ඉදිරිපිට නවත්වනු ඒ පිළිබඳ විමසිලිමත් වූ අසල්වැසියන්ට දැකගත හැකි විය.

එම නිවෙසට ඉදිරිපස නිවෙසක පදිංචි ශාන්ති රමේෂ් ඉදිරිපස නිවෙස දෙසින් ඇසුණු පොලිස් රථවල සයිරන් හඬ කුමක්දැයි බලන්නට තම නිවෙසේ බැල්කනියට පැමිණි විට ඇය දුටුවේ ඒ අසල නවතා තිබූ 15ක් පමණ වූ පොලිස් රථයි. පුද්ගලයකු නිවෙස ඉදිරිපිට මාර්ගයේ වාඩි වී කෑගසන ආකාරයත් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහු අත්අඩංගුවට ගන්නා ආකාරයත් ඇය දුටුවාය. 

නිවෙසට පිවිසි පොලිසිය දුටුවේ ඇස් අදහාගත නොහැකි දර්ශනයකි. එම නිවෙසේ පදිංචි ශ්‍රී ලාංකික මවක සහ ඇගේ දරුවන්  සිව් දෙනකු සහ පවුලේ හිතවතකුගේ මළසිරුරු නිවෙසේ තැන තැන වැටී අයුරු ඔවුනට දැකගත හැකි විය. මේ පිරිස තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවට පොලිසියට නිරීක්ෂණය විය. ඝාතන සිදුවීම වාර්තා වීමත් සමඟ අසල්වැසියෝ ඉමහත් කම්පාවට පත්වූහ.

ඔටාවා සිටිසන් වෙබ් අඩවිය සඳහන් කරන පරිදි ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි දර්ශනි දිලන්තිකා ඒකනායක (මව), 7 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ (පුතා), සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ (දුව), දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ (දුව), දෙමසක් පමණ වයසැති කෙලී වික්‍රමසිංහ (පුතා) සහ  පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නමැති අයයි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ එම පවුලේ පියා රෝහල් ගත කිරීමට පොලිසිය වහා ක්‍රියා කළ අතර ඔහු දැනට දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.  

එම  ඝාතන සම්බන්ධයෙන් 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නමැති ශ්‍රී ලාංකික ශිෂ්‍යයකු පොලිස් අත්අඩංගුවට පත්විය. මෙම තරුණයා ඝාතනයට ලක්වූ පවුල සමඟ එම නිවෙසේ පදිංචිව සිටි බවට අනාවරණ වී තිබේ. වික්‍රමසිංහ පවුලේ හිතවතකු වන ආගමික නායකයකු පැවසුවේ මීට දින කිහිපයකට පෙර එම පවුල මෙම තරුණයා වෙනුවෙන් උපන්දින සාදයක්ද පවත්වා ඇති බවයි. මින් ඉහත මෙම තරුණයා කිසි විටෙක ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී නොමැති යැයි දැනට රෝහල්ගතව සිටින පවුලේ පියා ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර ඇත. ඝාතකයා අලොන්ගන්ක්වින් පාසලේ ශිෂ්‍යයකු බවත් ඔහු 2023 ශීත සෘතුවෙන් පසු පාසලට පැමිණ නොමැති බවත් එහි  විදුහල්පති ක්ලෝඩ්  බ_ල් සඳහන් කර ඇත. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

කැනඩාවේ සිට දේශය ඇමතූ නම සඳහන් කිරීමට අකමැති ශ්‍රී ලාංකිකයකු සඳහන් කළේ මෙම තරුණයා දැඩි ලෙස පරිගණක ක්‍රීඩාවලට යොමුව සිටි බවට අනාවරණ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතන සිදුකරන්නට පෙළඹුණාද යන සැකයක් තමන්ට මතුවන බවටය.

ඔටාවාහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලෂින්කා දම්මුල්ල සඳහන් කරඇත්තේ වින්දිතයන්ගේ ශ්‍රී ලංකාවේ සිටින මිතුරන් සහ පවුලේ අය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර එම පවුල මෑතකදී කැනඩාවට පැමිණි පිරිසක් බවත් ඔවුන් පැමිණියේ කවදා දැයි තවමත් නිශ්චිතව නොදන්නා බවත්ය. ඝාතනයට ලක්වූ ගාමිණී අමරකෝන්ගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා බව ඔහුගේ පවුලේ අය සහ මිතුරන් මහකොමසාරිස් කාර්යාලයට දන්වා ඇතැයි ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ෆෙබ්‍රියෝ ද සොයිසාට මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීම යටතේ චෝදනා එල්ල වී තිබේ. විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මාර්තු 14 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  

“මෙය අහිංසක මිනිසුන් පිරිසක් ඉලක්ක කරමින් සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවක්” යැයි ඔටාවා පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් රෑපවාහිනී ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ “මෙම ඛේදවාචකය ඇතිවීමට බලපෑ සාධක පිළිබඳව විමර්ශකයන් සහ අධිකරණ වෛද්‍ය කණ්ඩායම් කඩිනමින් විමර්ශනය කරමින් සිටිනවා.'' යැයිද ඔහු සඳහන් කර ඇත.

ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් සමාජ මාධ්‍ය සටහනක් තබමින් කියා සිටියේ එය “අපගේ නගරයේ ඉතිහාසයේ සිදු වූ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලින් එකක් ලෙසටය. අග්‍රාමාත්‍ය ජස්ටින් ට_ඩෝ ප්‍රකාශ කළේ මෙය  භයානක ඛේදවාචකයක් වන අතර ඉන් තමා භීතියට පත් වූ බවයි.

කැනඩාවේ සමූහ ඝාතන ඉතා කලාතුරකින් සිදුවන්නකි. 2022 වසරේ සැප්තැම්බර් මාසයේදී බටහිර සස්කැච්වාන් පළාතේදී පුද්ගලයෙකු පිහියෙන් ඇන 11 දෙනකු ඝාතනය කළ අතර දෙසැම්බරයේ, ටොරොන්ටෝ ආසන්න නගරයකදී පස් දෙනකුට වෙඩි තබා මරා දැමූ පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා