2024 මාර්තු 16 වන සෙනසුරාදා

සිරිපාද බිමේ ටොන් ගාණට කුණු විසිකරන අපූරු බැතිමත්තු!

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 111

සිරිපා වන්දනාව වෙනම උප සංස්කෘතියකි. පුරාණයේ මේ වටිනා පරිසරයට බැතිමතුන්ගෙන් හානියක් සිදුනොවුණේ නොදිරන කසළ එකළ භාවිත නොවූ බැවිනි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි සමනළ කඳුවැටිය 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. එහි විශාලත්වය හෙක්ටයාර 22,380කි. සමනළ කන්දේ ඉහළම උස මීටර 2215කි. මෙය ශ්‍රී ලංකාවේ තෙවැනියට උසම කන්දයි. සමනළ අඩවියත් සමඟ දුම්බර කඳුකරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. සමස්ත රක්ෂිතය තුළම උස මීටර් 2000ට වැඩි කඳු 4ක් පවතී. ඒ කඳු නම් සමනළ, තවත් කන්දක් (මී. 2050), ක්ලෙව්ලන්ඩ් (මී. 2040), සහ බෑන සමනළ (මී. 2012) යි. ඊට අමතරව මීටර් 1900ත් 2000ත් අතර පවතින කඳු 6ක් තිබේ. ඒවා නම් මහා ගවරවිල (මී. 1980), ගාට්මෝර් කන්ද (මී. 1960), ගවරවිල කන්ද (මී. 1960), යකා ඇඬූ ගල (මී. 1940), බල්ලන් බැඳි ගල (මී. 1920), සහ කුඩා බෑන සමනළ (මී.1920) යන කඳුයි. 

සිරිපා වන්දනාවට හැටන් පාර, රත්නපුර රජ මාවත සහ කුරුවිට එරත්න පාර යන මාර්ග වන්දනාකරුවන් බහුලව භාවිත කරන අතර ඉන් වැඩිම පිරිසක් වන්දනාවේ යෙදෙන්නේ කෙටිම පාර වන හැටන් නල්ලතන්නිය පාරේය. මේ නිසා නල්ලතන්නිය පාරේ එකතු වන කසළ ප්‍රමාණය ද ඉහළය. 

මස්කෙළිය ප්‍රාදේශීය සභාවෙන් මෙන්ම පරිසර සංවිධානවලින් ද වනජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද බැතිමතුන් දැනුවත් කිරීමට නාම පුවරු සවිකර තිබේ. එලෙස දැනුවත් කිරීම් සිදු කළ ද තම තමන් රැගෙන ආ බීම බෝතල් කිසිදු හිරිකිතයකින් තොරව සිරිපා ගමන්මඟ දෙපසට විසිකර දමා ඇති අන්දම අපට දැකගත හැකිය. පොලිතින් බෑග් ද තැන් තැන්වල විසිරී පවතී. මෙසේ එකතු වන නොදිරන කසළ දින සති මාස ගතවෙද්දී ටොන් ගණනාවක් බවට පත්වීම අරුමයක් නොවේ. ප්‍රාදේශීය සභාවට අමතරව රාජ්‍ය අංශ ද පරිසර සංවිධාන ද කසළ ඉවත් කිරීමේ ශ්‍රමදාන සෑම වන්දනා වාරයකදීම පවත්වයි. ප්ලාස්ටික් බීම බෝතල් සහ කවර ප්ලාස්ටික් ෂොපිං කොළවලට අමතරව ඇතැම් පිරිස් රැගෙන ආ බියර් ටින් සහ හිස් මත්පැන් බෝතල් ද ප්ලාස්ටික් කසළ අතර හමුවීම දකින්න ලැබේ. 

මේ අවුරුද්දට අමතරව පසුගිය වර්ෂයේ ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වී මාස 3කට ආසන්න කාලය තුළ වන්දනාකරුවන් විසින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 8කට ආසන්න ප්‍රමාණයක් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ, ශ්‍රී පාද රක්ෂිතයට හා පරිසරයට මුදා හරිනු ලැබ තිබුණි. ඒ බව සඳහන් කළේ මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සිවරාම් රාජවීරන් ය.  

වැඩිදුරටත් අදහස් දක්වමින් මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ වැඩබලන ලේකම් සිවරාම් රාජවීරන් මෙසේ ද සඳහන් කළේය:

“ශ්‍රී පාදස්ථානය හා එහි ස්වාභාවික රක්ෂිතය යුනෙස්කෝ ලෝක උරුමයක්. ශ්‍රී පාද පුදබිම පිහිටා තිබෙන්නේ අතිශය වටිනා පරිසර පද්ධතියක. කැළි කසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය පුදබිම වෙත රැගෙන නොඑන ලෙසත්, රැගෙන එන දිරා නොයන ඝන අපද්‍රව්‍ය ක්‍රමවත්ව, පරිසර හිතකාමී ලෙස බැහැර කරන ලෙසත් අපි නිරන්තරයෙන් වන්දනාකරුවන් දැනුවත් කරනවා. මාධ්‍යවලින් අපිට ඒ සඳහා විශාල අනුග්‍රහයක් ලබා දෙනවා. දැන් වන්දනාකරුවන් මේ උපදෙස් පිළිපැදීම වැඩිවෙලා. නමුත් තවත් පිරිසක් ඒ උපදෙස් නොපිළිපදිමින් මෙම වටිනා පුදබිම හා පරිසර පද්ධතිය කිලිටි කිරීම දැකගත හැකියි. එය කනගාටුවට කරුණක්. මස්කෙළිය ප්‍රාදේශීය සභාව ශ්‍රී පාද පුදබිමේ කැළි කසළ හා දිරා නොයන ඝන අපද්‍රව්‍ය වන්දනා සමයේදී ඉවත් කිරීම සඳහා රුපියල් මිලියන ගණනක් වැය කරනවා.  

වසර කිහිපකට පෙර වන්දනා මාර්ගය දෙපස හෝටල්, වෙළෙඳසල්වල දර භාවිත කළත් පසුව ඒවායේ ගෑස්වලින් ඉවීම ආරම්භ කෙරුණි. ඒ අභය භුමියේ ගස් කපා දරවලට යොදාගැනීම මෙන්ම අභය භුමියේ ගින්දර දැල්වීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහනම් කළ නිසාය. එමෙන්ම කඩවලින් නොදිරන කසළ ඉවත් කළ යුතු ආකාරය ගැන දැනුවත් කර ඇති නිසා ඒවායින් පරිසර හානියක් වන ලෙස කසළ බැහැර කිරීම ද අඩුවී තිබේ. 

සිරිපා වන්දනාව ආගමික වන්දනාවක් මතු නොව පරිසර වන්දනාවක් ද වේ. සමනළ කන්දේ පහළ දක්නට ලැබෙන්නේ පහළ කඳුකර වනාන්තර වැස්මකි. ක්‍රමයෙන් ඉහළට යනවිට ඉහළ කඳුකර වලාකුළු වනාන්තර අපට දක්නට ලැබේ. මෙහි ජෛව විවිධත්වය ඉතා ඉහළය. කසළ නිසා මෙහි පක්ෂින් ඇතුළු සියුම් වනජීවින්ටත් විශාල හානියක් සිදුවේ. සමනළ කන්ද අප රටේ ප්‍රධාන ගංගා වන කැලණි, කළු සහ වලවේ ගංගාවල ජල මූලාශ්‍රය ලෙස ද වැදගත්ය. 

සිරිපා වන්දනාවට වෙන්වූ නීති සහිත විශේෂ ගැසට් පත්‍රයක් ද මේ වසර මුලදී නිකුත් කෙරිණි. පරිසරයේ ආරක්ෂාව ගැන ද ගැසට්ටුවේ විශේෂ අවධානයක් යොමුකර තිබේ. පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානයේ උඩ මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලා හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා තිබේ. එමෙන්ම වනාන්තරය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම ද සිදු නොකළ යුතුය. වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ අත්වැට විෂබීජහරණයට ලක්‌ කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරා තිබේ. 

I කුසුම්සිරි විජයවර්ධන
► සේයාරූ: අන්තර්ජාලයෙනි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05