ගුවන් යානයකට මීයකු රිංගා හොඳ අඩව්වක් අල්ලා මාසයක්වත් ගියේ නැත. මීයකු කිව්වාට ඌ යකාගෙ මීයෙකි. ඒ මන්ද යත් මීයා ගිනස් පොතට යන්නේ මගී ගුවන් යානයක් දවස් හතරක් නැවතීමෙනි. ඒ මදිවාට ගුවන් යානයෙන් මීයා ඉවත් කිරීමට දින 3 ක් ගත වී ඇති අතර ඒ ගැන විවිධ පාර්ශ්වයන්ගෙන් උපදෙස් ගැනීමට ද ගුවන් සේවකයන්ට සිදු වූ බව වාර්තා විය.
මීයකුට ගුවන් යානයක් නැවැත්වීමට පුළුවන් යැයි කිවහොත් කිසිවකු නොපිළිගත්තද එය මහ පොළොවේ යථාර්ථයක් වී ඇත්තේ මීයාගේ වරදින්ද එසේත් නැතිනම් අන් කාගේ හෝ දොසකින්දැයි කල්පනා කළ යුතුව ඇත. අපේ රට අරුම පුදුම රටකි. එහෙම කියන්නේ මීයාගේ කතාව සතියේ කතාව වී හුස්ම ගන්නා ටිකට ආයෙත් ලෝකයා හිනස්සන වැඩක් වී තිබීමය. තැලී පොඩිවී සිටින ජන මනසට මේ සතියේත් බුල්ටෝවක් ලැබී තිබේ. රටක තැපැල් සේවය යනු ප්රමුඛ අත්‍යවශ්‍ය සේවාවකි. වසර 226 ක ඉතිහාසයකට උරුමකම් කියමින් 1798 දී මෙරටට ගෙන ආ තැපැල් සේවය මේ වනවිට රටේ අස්සක් මුල්ලක් නෑර ජනතාවගේ තොරතුරු සන්නිවේදන අවශ්‍යතාව සපුරමින් සිටී. ගම්වල කොල්ලො කුරුට්ටන් වගේම බාල මහලු කොයි කවුරුත් පියුම් මාමාගේ ටිලිං ටිලිං හඬ ඇහෙනකල් එළිපත්තට වී බලා සිටින්නේ දහසක් පැතුම් පොදි බැඳගෙනය. රටේ අහිංසක ජනතාවට ශක්තියක් වන තැපැල් සේවයට අද වනවිට පත්ව ඇත්තේ කනගාටුදායක ඉරණමකි.
විදුලි සෝපානයක් රටක තැපෑලක් නැවතුවා යැයි කිවහොත් ලෝකයා පිළිගනීද? මධ්‍යම තැපැල් හුවමාරුව යනු මෙරට සියලු තැපැල් ස්ථානවල මෙහෙයුම් මධ්‍යස්ථානය යැයි කිවහොත් නිවැරදිය. මෙහි සේවකයන් තුන්දහසක් රුකියාවේ නිතරව සිටින අතර ඒ අතරින් කාන්තාවෝ සියයට තිහක් සිටිති.
මධ්‍යම තැපැල් සේවකයන් විසින් පසුගියදා වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සෝපානය කැඩී ඇති බව කියමිනි. මේ හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කරන ලිපි බෙදාහැරීම, ප්‍රවාහනය ඇතුළු සියලු තැපැල් කටයුතු දින 2 ක් පුරා මුළුමනින්ම ඇණ හිටියේය. ඇරුඹූ වැඩවර්ජනය සම්බන්ධයෙන් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ දැනට වසරකට පමණ කාලයක සිට විදුලි සෝපානය අක්‍රිය වී ඇති බැවින් අටවැනි මහල දක්වා පියගැටපෙළ නැඟ තැපැල් මලු කරේ ගෙන යෑමට සිදුව තිබෙන බවත්, මේ හේතුවෙන් සේවකයන් දැඩි අපහසුතාවකට මුහුණ දී සිටින බවත්ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාලන අංශය ඇත්තේ අටවැනි මහලේ බවත්, ගැබිනි සේවිකාවන් ඇතුළු එහි සේවක සේවිකාවන් 8 වැනි මහලේ කාර්යාලයට යන්නේ ඉතා අපහසුවෙන් උඩුමහල්වලට පියගැටපෙළ නැඟ බවත්ය. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති විදුලි සෝපානයද ක්‍රියාත්මක වන්නේ පස්වැනි මහල දක්වා පමණකි. ඉතිරි මහල් තුනට භාණ්ඩ ගෙන යනු ලබන්නේ සේවක කර මතිනි. සේවකයන් පවසනුයේ මේ පිළිබඳව වසරක් තිස්සේ බලධාරීන්ට දැනුම් දුන්නද මේ දක්වා විසඳුමක් ලබා නොදුන් බවයි. තැපෑල පරිපාලනය පවසා ඇත්තේ සෝපානයේ වැඩ කටයුතු සම්පූර්ණ කිරීමට තවත් මාස තුනක කාලයක් ගතවන බවයි. වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය වසර 25 ක් පමණ පැරුණි බවත් එය නවීකරණයට මීට සතියකට ඉහතදී පෞද්ගලික ආයතනයකට ලබා දී ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ මෙසේය.
“මම විෂය බාර අමාත්‍යවරයා වශයෙන් කනගාටුවට පත්වෙනවා. ඒ වගේම විශේෂ අවධානයක් යොමු කරනවා. ප්‍රධාන මධ්‍යම තැපැල් හුවමාරුවේ සෝපාන 4 ක් තියෙනවා. ඉන් දෙකක් පාර්සල් සහ භාණ්ඩ ගෙන යාම සඳහා සහ දෙකක් පුද්ගලයන් ගෙන යාම සඳහායි. මගීන් ගෙන යන සෝපානයක් අවුරුදු ගාණක ඉඳන් ක්‍රියා විරහිත වෙලා තිබුණා. එක සෝපානයයි වැඩ කළේ. ඒකත් කැඩුණාම භාණ්ඩ ගෙනියන ඒවායෙ තමයි මිනිස්සු ගියේ. ආර්ථික දුෂ්කරතාව ඇතුළේ එහෙම දේවල් කරන්න වෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කරගෙන ටෙන්ඩර් කැඳවල ටෙන්ඩරය සමාගමකට භාරදීලා තියෙන්නේ. ටෙන්ඩර් සමාගම සෝපාන පිටරටින් ආනයනය කරන්න ඕනෑ. ඒක දවසින් කරන්න බෑ. ඒ බව හොඳටම දැන දැනත් මෙහෙම වර්ජනයක් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න මම තැපැල්පතිට උපදෙස් දුන්නා.”
වෘත්තීය සමිති කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ වර්ජනය හේතුවෙන් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ භාණ්ඩ ලක්ෂ 02ක් පමණ හා දිවයින පුරා තැපැල් කාර්යාලවල ආසන්න වශයෙන් ලක්ෂ 15කට ආසන්න තැපැල් භාණ්ඩ තොගයක් ගොඩගැසී ඇති බවයි. එසේම අක්‍රීය වී ඇති විදුලි සෝපානය අප්‍රේල් වනවිට අලුත්වැඩියා නොකළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එළැඹෙන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
විදුලි සෝපානයක් හේතුවෙන් රටක අත්‍යවශ්‍ය සේවාවක් අඩාල වේ යැයි කිසිවෙක් නොසිතති. වසර ගණනාවක සිට විදුලි සෝපාන ද්විත්වය අක්‍රීය වී තිබේ නම් ඒ පිළිබඳ සොයා බලා අලුත්වැඩියා කිරීම ජනතාවගේ කාර්යයක් නොවන බවත් එය අදාළ ආයතන ප්‍රධානීන් ඇතුළු බලධාරීන්ගේ කාර්යයක් බවත් කිව යුතුය. එහෙත් එවැනි හේතුවකට රටක අත්‍යවශ්‍ය සේවාවක් පැය බාගයකට හෝ මුළුමනින්ම ඇණහිටී නම් එයට වගකිව යුතු වන්නේද ඉහත කී නිලධාරීන්මය. මෙරට තැපැල් සේවය වසර 226 ක ඉතිහාසයකට උරුමකම් කීවද එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්වූයේ ගිය වසරේය. එනම් 2023 දීය. එයින් පිළිබිඹු වන්නේ තැපැල් සේවයට එදා මෙදාතුර බලධාරීන් දැක්වූ ප්‍රමුඛතාව නොවේද? බීරි අලින්ට වීණා ගහනවා වැනි බලධාරීන් සිටින රටක අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ සෝපානයක අලුත්වැඩියාවක් නිසා රටක අත්‍යවශ්‍ය සේවාවක් ඇණහිටින රටක් නොවේවා යන්නයි.
I සසංක චලන ගිම්හාන