ලෝක මල්ලව සූර ජෝන් සීනා උපන් ඇඳුමින් වේදිකාවට ගොඩවීමත්, සිනමා ශිල්පීන් වන බිලි එලිෂ්, මාක් රුෆාලෝ සහ රුමි යූසුෆ් ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයකට සහාය පළ කරමින් සිය ඇඳුමෙහි සවි කළ රතු පැහැති පින්-කටු සහිතව පැමිණීමත් ඇතුළු අපූරු කාරණා කිහිපයක් නිසාම මෙවර ලොස්ඇන්ජලීස් නගරයේ පැවැති 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල වෙත ලෝක අවධානය දැඩිව යොමු විය. නමුත් මේ සම්මාන උළෙලේ වැඩිම කතාබහට ලක්වූ කාරණාව වූයේ සම්මාන පිට සම්මාන දිනාගත් ජනකාන්ත චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "Oppenheimer” - ‘ඔපන්හෛයිමර්’ සිනමා ගෙත්තමයි.
ප්‍රධාන ඔස්කාර් සම්මාන 7ක් ප්‍රමුඛව සම්මාන 13කට හිමිකම් කී ‘ඔපන්හෛයිමර්’ ගැන ලොව දැඩි අවධානය යොමු වූයේ එය සමහරුන්ට මඳක් වටහා ගැනීමට ආයාසකර බවට චෝදනා නැගුණද ලොව පුරා ආදායම් වාර්තා පිට වාර්තා තැබූ හෙයිනි. ඔස්කාර් බුහුමනත් සමඟ දැන් එය යුගයේ සිනමා සිත්තම ලෙස විරුදාවලියට ලක්ව තිබේ.
‘ඔපන්හෛයිමර්’ ලොව පුරා ඩොලර් මිලියන 962ක් උපයා, 2023 වසරේ තුන්වැනි ඉහළම ආදායම් ලැබූ චිත්‍රපටය බවට කෙටි කලකින්ම පත්විය. දෙවැනි ලෝක සංග්‍රාම සමයට අයත් චිත්‍රපට අතරින් වැඩිම ආදායමක් උපයාගත් සිනමා ගෙත්තම ලෙසද, වැඩිම ආදායමක් ඉපැයූ චරිතාපදාන චිත්‍රපටය සහ දෙවැනි ඉහළම ආදායම් ලැබූ R-රේටඩ් චිත්‍රපටය බවට ද එය පත් විය.
එය 2004 වසරේ "The Lord of the Rings: The Return of the King” චිත්‍රපටයෙන් පසු වැඩිම ආදායමක් ඉපැයූ හොඳම චිත්‍රපට ජයග්‍රාහකයා ලෙසද සටහන් වේ. "Oppenheimer” මෙම සති අන්තයේ එහි අලුතින් සකස් කරන ලද හොඳම පින්තූර තත්ත්වය සමඟින් සිනමාහල් 1,000ක් වෙත නැවත නිකුත් කෙරේ. එමගින් මෙම චිත්‍රපටයේ අවසාන බොක්ස් ඔෆිස් අගය ඩොලර් බිලියන 1 සීමාව ඉක්මවා යනු ඇතැයි බලාපොරොත්තු වේ.
පුළුල් විචාරක පැසසුමකට ද ලක්වූ ‘ඔපන්හෛයිමර්’ හිමිකරගත් බොහෝ සම්මාන අතර, 2023 වසරේ හොඳම චිත්‍රපට දහයෙන් එකක් ලෙස ජාතික සමාලෝචන මණ්ඩලය සහ ඇමෙරිකානු චිත්‍රපට ආයතනය විසින් නම් කරන ලදී. 81 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී හොඳම නාටකීය චලන චිත්‍රපටය ඇතුළු ජයග්‍රහණ පහක් සහ 77 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි චිත්‍රපට සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ඇතුළුව ජයග්‍රහණ හතක් දිනා ගත්තේය. 96 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී, වසරේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (මර්ෆි) සහ හොඳම සහාය නළුවා (ඩව්නි ජූනියර්) ඇතුළු ප්‍රධාන සම්මාන හතක් දිනා ප්‍රමුඛ නාමයෝජනා දහ තුනක් ලබා ගත්තේය.
ඒ සමඟම ජුලියස් රොබර්ට් ඔපන්හෛයිමර් සහ පුරාණ ලෝකය අපේ කාලය වෙත තල්ලු කර දැමූ පරමාණු බෝම්බය පිළිබඳ අලුත් කතාබහක් ද නිර්මාණය විය.
‘ඔපන්හෛයිමර්’ යනු ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් විසින් ලියා, අධ්‍යක්ෂණය කරන ලද සහ සම-නිෂ්පාදනය කරන ලද 2023 වසරේ තිරගත වූ වීර කාව්‍ය චරිතාපදාන මාදිලියට අයත් ත්‍රාසජනක චිත්‍රපටයකි. එය දෙවැනි ලෝක යුද සමයේදී න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා පර් යේෂණ කිරීමට අටවාගත් Manhattan ව්‍යාපෘතියේ කොටසක් වූ Los Alamos රසායනාගාරය මෙහෙයවූ ඇමෙරිකානු න්‍යායික භෞතික විද්‍යාඥ J. Robert Oppenheimer ගේ ජීවිත කතාව අනුසාරයෙන් නිපදවූවකි. මෙහි තිර කතාව ලියැවෙන්නේ 2005 දී Kai Bird සහ Martin J. Sherwin විසින් රචිත American Prometheus නම් වූ ඔපන්හෛයිමර්ගේ චරිතාපදානය මත පදනම්වය. මෙම චිත්‍රපටය තුළ දී ඔපන්හෛයිමර්ගේ අධ්‍යයනයන්, Los Alamos රසායනාගාරයේ ඔහුගේ ප්‍රධානත්වයෙන් කෙරුණු කටයුතු සහ 1954 දී ඔහුගේ කීර්තිය බිඳ දැමූ ආරක්ෂක නඩු විභාගය ඇතුළු ඉතිහාසගත කාරණාවලට නැවත නාටකීය ලෙස පණ පොවා තිබේ.
චිත්‍රපටය ඉදිරිපත් කර ඇත්තේ විවිධ කාල රේඛා දෙකක් එකට කැටි කර සිනමාත්මකව වියූ විචිත්‍ර ගෙත්තමක් බඳු රේඛීය නොවන ආඛ්‍යානයක් ලෙසිනි. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා ගැන විස්තර කිරීමේදී භාවිත වන වචන දෙකක් ඇසුරෙන් "න්‍යෂ්ටික විඛණ්ඩනය" හෙවත් "Fission”, නම් ලද ඔපන්හෛයිමර් 1954 ආරක්ෂක නඩු විභාගයේදී ඔහුගේ ජීවිතය පිළිබඳ ආත්මීය වාර්තාවක් ලබා දීම සිහි කැඳවන පළමු කාල රාමුවට අයත් රූප පෙළගැස්ම වර්ණයෙන් ඔප්නංවා ඇත. ඒ අතර, “න්‍යෂ්ටික හායනය” හෙවත් "Fusion” ලෙස දැක්වෙන කළු - සුදු රාමුගත දෙවැනි පෙළ විස්තර කරන්නේ 1959 දී සෙනෙට් සභාව වෙත මෑන් හැටන් න්‍යෂ්ටික වැඩසටහනේ ප්‍රධානියකු වූ ලුවිස් ස්ට්‍රෝස් ඉදිරිපත් කළ ඔපන්හෛයිමර් පිළිබඳ දෘෂ්ටිකෝණයයි.
මේ අපූරු කතාව ඉදිරිපත් කිරීමේදී ලොව මෙතෙක් නිර්මාණය කර ඇති ඉහළම සහ ගුණාත්මකම කළු - සුදු රූප රාමු ආකෘතිය වන 70mm IMAX Format තාක්ෂණය සමඟ සමෝසමේ මිලිමීටර් 65 විශාල චිත්‍රපට ආකෘතිය ද යොදා ගන්නට නෝලන් කටයුතු කර තිබීම මෙහි ඇති ප්‍රධාන විශේෂත්වයකි. ඒ සම්බන්ධ තවත් අපූරුවක් වන්නේ මේ තාක්ෂණය යටතේ නිපැයූ චිත්‍රපටයේ ෆිල්ම් රෝල් එක දිගහැරි විට ඒ දුර පමණක් හැතැප්ම 11කට ආසන්න දුරක් දිගු වීමය. ඒ වගේම 70mm IMAX තාක්‍ෂණයේ විස්කම් - දස්කම් අඩුපාඩුවක් රහිතව මේ සිනමා පටය නිසි ලෙස නරඹන්නට හැකියාව තිබෙන්නේ ලොව සිනමා ශාලා 30ක් වැනි ප්‍රමාණයක පමණක් වීමය. තවද මේ තාක්ෂණය සහිත සිනමා ශාලා බහුතරයක් ඇත්තේ ඇමෙරිකාවේ සහ කැනඩාවේ පමණක් වීමය.
මේ චිත්‍රපටයේ කතා නායකයා මෑන්හැටන් ව්‍යාපෘතිය සම්බන්ධව කළ කටයුතු හේතුවෙන් "පරමාණු බෝම්බයේ පියා" ලෙස ද හඳුන්වන ලද ජේ. රොබර්ට් ඔපන්හෛයිමර් නැමැති භෞතික විද්‍යාඥයා ය.
ඔහු ඇමෙරිකාවට ජර්මනියේ සිට පැමිණි යුදෙව් සංක්‍රමණිකයකුගේ පුත්‍රයෙකි. හාවර්ඩ් සහ කේම්බ්‍රිජ් හි අධ්‍යාපනය ලද ඔහු ආචාර්ය උපාධිය සඳහා ජර්මනියේ ග්‍යෝටින්ගන් සරසවියට ඇතුළත් වූයේය. එය එකල සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යයන සඳහා වැදගත්ම සරසවිය වූයේ යැයි කිව හැක. ඔහුගේ ආචාර්ය උපාධිය සඳහා අධීක්ෂකයා වූයේ සුප්‍රකට විද්‍යාඥ මැක්ස් බෝර් ය.
අධ්‍යාපන කටයුතු නිමවා ඇමෙරිකාවට යළි පැමිණි ඔපන්හෛයිමර් විද්‍යාත්මක පර් යේෂණ කටයුතුවල නිරතව සිටියේය. මේ අතර 1940 දශකය මුල් කාලයේ ඇමෙරිකානු න්‍යෂ්ටික අවි තැනීමේ රහස්‍ය ව්‍යාපෘතිය වන මෑන්හැටන් ව්‍යාපෘතිය ආරම්භයේ දී එහි විද්‍යාගාර ප්‍රධානියා ලෙස ඔහුව තෝරාගන්නා ලදී. 1945 වනවිට පරමාණු බෝම්බය සාර්ථකව අත්හදා බැලීමට ඔවුහු සමත් වූහ.
කෙසේ වෙතත් ජපානයට එරෙහිව පරමාණු බෝම්බ භාවිත කිරීම පිළිබඳ ඔපන්හෛයිමර් පසුව දැඩි සේ කම්පා වූ බව කියැවේ. ඔහු එකල ජනාධිපති හැරී එස්. ටෲමන් හමු වූ අවස්ථාවක "මගේ අතේ ලේ තැවරීලා" යැයි කියමින් දැඩි සේ ශෝක වූ බව ද පැවසේ. කෙසේ වෙතත් පරමාණු බෝම්බ රටක් සතුව තිබීම ගැන ඔහුගේ විරෝධයක් නොවූ බව සඳහන්ය. නමුත් පසුකාලීනව හයිඩ්‍රජන් බෝම්බය නිපදවන පරීක්ෂණ පිළිබඳ ඔහු උදාසීන මතයක් දරා ඇත. එය යුද්ධයකදී අනවශ්‍ය තරම් විනාශකාරී අවියක් බවට ඔහු තුළ වූ විශ්වාසය ඊට හේතු වූ එක් කරුණකි. කෙසේ වුවද එතෙක් යල් පැන ගිය තාක්ෂණයක් තුළ සිරගත වූ ලෝකය නූතන අභ්‍යවකාශ තරණ යුගය වෙත තල්ලු කර දමන්නට සමත් වූයේ එදා ඔපන්හෛයිමර් ප්‍රමුඛ විද්‍යාඥයන්ගේ පර්යේෂණ මගින් බිහි කළ පරමාණුක බෝම්බයේ සමාජ, ආර්ථික, ආකල්පමය කම්පනයයි.
ඒ අනුව ඔහු ග්‍රීක මිථ්‍යා කතාවලට අයත් මිනිසුන් නිර්මාණය කළ ප්‍රවීණ ශිල්පියකු බවටද පත්වූ ගිනි දෙවියා, ප්‍රොමිතියස් බඳුම වූ පුරෝගාමී චින්තකයෙකි.
I සුගත් පී. කුලතුංග ආරච්චි