2024 මාර්තු 16 වන සෙනසුරාදා

ජනතාවගේ පහසුවට ඩිජිටල්කරණය වූ ආර්එම්වී

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 78

ජනතාවට සේවා සපයන බොහෝ රජයේ ආයතන පිළිබඳව ජනතාව තුළ ඇත්තේ කලකිරීමකි. තමන්ට අවශ්‍ය සේවාව සපයා ගැනීමට පෝලිම්වල දින ගණන් රැඳී සිටින්නට සිදුවන බවට ඔවුහු මැසිවිලි නගති. ආගමන විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවල විශාල තදබදයක් දැකිය හැකිවන අතර ඇතැම්විට එම ආයතන ඉදිරිපිට ැය පහන් කිරීමට පවා ජනතාවට සිදුවන අවස්ථා සුලබය. එවැනි ආයතනවල ඇති තදබදය අවම කිරීම සඳහා විවිධ අවස්ථාවන්හි විවිධ පියවර ගන්නා ලද නමුදු තවමත් නිසි විසඳුමක් ලැබී නොමැති බව පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණු සිදුවීම් මගින් සනාථ කරයි.

රථවාහන ලියාපදිංචිය, රියැදුරු බලපත්‍ර ලබාගැනීම, වාහන හිමිකම් පැවරීම වැනි සේවා ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාලවලට විශාල පිරිසක් පැමිණෙති. එහෙයින් එම ස්ථානයන්හි නිරන්තරයෙන්ම දැඩි තදබදයක් පවතී. එම තදබදය අවම කිරීම සඳහා පසුගිය මාර්තු 4 වැනිදා සිට නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට එම ආයතනයෙන් සේවා ලබාගැනීමට අපේක්ෂා කරන පිරිස කලින් දිනයක් සහ වේලාවක් ලබාගැනීම අනිවාර්ය යැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේය. ඒ සඳහා ස්වයංක්‍රීය දුරකතන අංකයක් සහ වෙබ් අඩවියක්ද හඳුන්වා දී ඇතැයි සඳහන් කළ ඒ මහතා ''මේ සඳහා භාවිත කෙරෙන දුරකතන අංකය 2117116 යන අංකයයි. නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල සඳහා 011 මුලට යෙදිය යුතුයි. අනෙකුත් දිස්ත්‍රික්කවල ඇති කාර්යාල සඳහා එම දිස්ත්‍රික්කයට අදාළ කේත අංකය මුලට යොදා 2117116 අංකයට ඇමතිය හැකියි. ඉන්පසු අවශ්‍ය සේවාව තෝරා ගැනීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කෙරෙන අතර ඔබේ අවශ්‍යතාවට ඉටුකර ගැනීම සඳහා දිනයක් හා වේලාවක් හා පැමිණිය යුතු ස්ථානය කෙටි පණිවුඩයක් මගින් ඔබේ දුරකතනයට ලැබෙනවා. එමෙන්ම එක් දිනකින් රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ සේවාවද ලබාගැනීමේ හැකියාවත් පවතිනවා.'' යනුවෙන් සඳහන් කළේය. දුරකතනයට අමතරව www.dmtappointments.dmt.gov.lk නමින් වෙබ් අඩවියක් ද හඳුන්වා දී ඇති අතර එයට පිවිසීමෙන්ද දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකිය.

නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටා ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට දිනකට සේවා ලබාගැනීම සඳහා අවම වශයෙන් 2000ක් පමණ පැමිණෙති. වේරහැර කාර්යාලයට රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට එවැනිම පිරිසක් පැමිණෙන බවට වාර්තා වේ. මේ හේතුවෙන් හිමිදිරි උදෑසන සිට පෝලිම්වල කාලය ගෙවන්නට ජනතාවට සිදුවෙයි. විවිධ අක්‍රමිකතා මෙන්ම ගැටලු ද මේ නිසා නිර්මාණය විය. මේ හේතුවෙන් එම ස්ථානයන්හි තැරැව්කාර මාෆියාවක්ද බිහිවූ අතර ජනතාව ඔවුන්ගේ ග්‍රහණයට හසුවීමේ අවස්ථාද වැඩි වැඩියෙන් නිර්මාණය විය. කොවිඩ් වසංගතය පැවති වකවානුවේ කලින් වේලාවක් වෙන්කරගෙන පැමිණ තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට හැකි ක්‍රමවේදයක් පැවතියේය. එය ජනතාවට මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ටද විශාල පහසුවක් විය. 

එවක පැවතියේ සාමාන්‍ය සේවය පමණක් වූ අතර එක් දින සේවා නොපැවැත්විණි. කොවිඩ් වසංගතය පහව යාමත් සමඟ මෙම ක්‍රමය ඇණහිටියේය. ඊට හේතු වූයේ ඇතැම් වංචනිකයන් විශාල ලෙස දින හා වෙලාව වෙන්කර ගනිමින් සැබැවින්ම සේවය අවශ්‍ය කෙනකුට වේලාවක් වෙන්කර ගත නොහැකි වන පරිදි කඩාකප්පල් ක්‍රියාවන්හි නිරත වීමය. එලෙස ලබාගන්නා වේලාවල් ඔවුහු මුදලට අලෙවි කිරීමේ ක්‍රියාවලියක නිරත වූහ. එහෙයින් එම ක්‍රමවේදය අහෝසි විය. යළි සියලු දෙනා සේවා ලබාගැනීම සඳහා පැමිණීමට පටන් ගත්තේ එම කලින් වේලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය ඇණහිටීමත් සමඟය. එය දැඩි තදබදයකට මුල පිරීය.

වර්තමානයේ පවතින තදබදය අවම කිරීම සඳහා පෙර පැවැති කලින් වෙලාවක් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය තවදුරටත් තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කොට නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගත්තේ එහෙයිනි. නව ක්‍රමය යටතේ අයැදුම් කිරීමේදී අයැදුම්කරුගේ හැඳුනුම්පත් අංකයද ඉදිරිපත් කළ යුතු වන අතර වේලාව හා දිනය සඳහන් කෙටි පණිවිඩය ලැබෙන්නේ ඔහුගේ දුරකතන අංකයටය. වේලාව වෙන් කෙරෙන්නේ ඔහුගේ හැඳුනුම්පත් අංකයට බැවින් ආයතනයට ඇතුළත් වීමේදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය. ස්වයංක්‍රීය දුරකතනය ඔස්සේ වේලාවක් ලබා ගැනීමේදී පුද්ගලයකුට හිමිවන්නේ ඊළඟට ලබා දිය හැකි දිනයකි. එම දිනයට පැමිණිය නොහැකි නම් තව එක් අවස්ථාවක් මගින් වෙනත් දිනයක් ලබාගත හැකිය. වෙබ් අඩවිය මගින් දින වෙන් කර ගැනීමේදී අයැදුම්කරුට අවශ්‍ය දිනයක් ලබාගත හැකිය. එලෙස ඉල්ලුම් කරන දිනයේ වේලාවන් සියල්ල වෙන්වී ඇත්නම් පමණක් ඔහුට වෙනත් දිනයක් ලබා ගන්නා ලෙසට උපදෙස් ලැබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ දෙපාර්තමේන්තුව තුළ සිදු කර ඇති  ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හේතුවෙන් කලින් නිකුත් කරගත නොහැකිව ගොඩගැසී තිබූ රියැදුරු බලපත්‍ර සියල්ල මාස තුනක් වැනි කාලයක් තුළ සම්පූර්ණයෙන් නිකුත් කොට අවසන් කළ බවයි. ''දැන් ලබා දෙන රියැදුරු බලපත්‍ර අයැදුම්පත් මාසයක් ඇතුළත නිකුත් කිරීමට දෙපාර්තමේන්තුවට පුළුවන්.'' යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

ඉදිරි කාලයේ නව රියැදුරු බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමටද නියමිතය. මේ වන විට ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේද සකස් වෙමින් පවතී. ඒ අනුව ඉදිරියේදී රියැදුරන්ට හිමිවන්නේ ඩිජිටල් රියැදුරු බලපත්‍රයකි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා