අධික උණුසුම් කාලගුණ තත්ත්වය හමුවේ ජල මූලාශ්‍ර 32ක් අවදානම් තත්ත්වයට පත්ව ඇති බවත් රට පුරාම ජල සම්පාදන ක්‍රම 25ක ජලය මුර ක්‍රමයට ලබාදීමට කටයුතු කළ බවත් ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී අනෝජා කළුආරච්චි පසුගියදා දේශයට පැවසුවාය. මාසයක් දෙකක් වැස්ස අඩුවූ ගමන් පානීය ජලයට පාත්වන හෙනහුරකු වන ජල මූලාශ්‍ර අවුල ගැන වැඩි විස්තර සොයා යාමට අපි සූදානම් වුණෙමු.
ජල මූලාශ්‍රවල ජලය අඩුවීම නිසා මුර ක්‍රමය යටතේ ජලය ලබාදෙන ප්‍රදේශවලට ඉංගිරිය, බේරුවල, අලුත්ගම, නිවිතිගල සහ පැල්මඩුල්ල, නාරම්මල, අංකුඹුර, කුණ්ඩසාලේ, මැදදුම්බර, ගම්පොළවත්ත, පුස්සැල්ලාව, මීවතුර, පුස්සැල්ල, හැටන්, රත්තොට, කොටගල, ඌරුබොක්ක, බුත්තල, සූරියආර, ඌරුබොක්ක ආදී කලාප රාශියක්ම අයත් වේ. ජල මූලාශ්‍රවල අවදානම කුමක්දැයි දැන ගැනීමට අප මුලින්ම කතා කළේ ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අනෝජා කළුආරච්චිටය. අනෝජා කළුආරච්චි මහත්මිය සඳහන් කරන්නේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතුව ජල සම්පාදන ව්‍යාපෘති 344ක් පවතින අතර, ඒවාට ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර 267ක් තිබෙන බවයි.
''ලොකු ගංගා ද්‍රෝණිවලින් ගන්නා ජල මූලාශ්‍ර නොවෙයි මෙසේ අවදානමට ලක්වන්නේ. ක්ෂුද්‍ර, නැත්නම් කුඩා ජල මූලාශ්‍රයි. මේවායේ තිබෙන්නේ කෙටි දුරක් ගමන් කරන ඇළක් හෝ ඔයක්. මහනුවර උලපනේ ඔය, පුස්සැල්ල ඔය, දෙහිඔය වගේම ඇහැලියගොඩ බිසෝ දොළ ඒ වගේ මූලාශ්‍ර කිහිපයක්. මේවායේ ජල පෝෂක ප්‍රදේශ විශාල නෑ. පොඩි වනාන්තර තිබෙන්නේ. මේ නිසා කෙටි පෑවිල්ලකටත් ජලය අඩුවෙනවා. මේවා පිරෙන්න නම් එම ප්‍රදේශයටම වහින්න ඕනෑ. දැන් ඇහැලියගොඩට පසුගිය දවස්වල වැස්ස නිසා අවදානමේ තිබූ බිසෝ දොළේ වතුර උතුරලා යනවා. ඒ වගේම ජල මූලාශ්‍ර නැති සමහර ප්‍රදේශවලට අපි භූගත ජලය භාවිත කරනවා. මාතර රදම්පල සහ කුරුණෑගල නාරම්මල ඒ වගේ ජල සම්පාදන ක්‍රම දෙකක්. වැස්ස නැතිවුණාම භූගත ජලයත් අඩු වෙනවා.''
රටේ බොහෝ පළාත්වලට පානීය ජලය සැපයෙන්නේ ක්ෂුද්‍ර ජල මූලාශ්‍රවලිනි. කොටගල, හැටන්, අංකුඹුර, කුණ්ඩසාලේ, සූරියආර, මැදදුම්බර ඇතුළු ජල යෝජනා ක්‍රම රාශියක් එවැනි මූලාශ්‍රවලින් ජලය සපයා ගැනේ. නමුත් පසුගිය කාලයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති යැයි කියමින් ප්‍රාදේශීය දේශපාලනඥයන් මැදිහත් වී කළ දේවල් නිසා ජල මූලාශ්‍ර රුසක් අවදානමට පත්ව ඇති බව අපි ලියූ පරිසර ලිපිවලින් ද අනාවරණය කළෙමු. මේ ජල මූලාශ්‍රවල වැදගත්කම කාටත් මතක් වන්නේ මාසයක් දෙකක් පෑව්ව විටය.
ක්ෂුද්‍ර ජලපෝෂක ප්‍රදේශවල වන ආවරණය ඉවත් කර අවිධිමත් ඉදිකිරීම් කරනු ලබන අතර අවිධිමත් වගාවන් නිසාත් ක්ෂුද්‍ර ජල පෝෂක ශීඝ්‍ර ලෙස වැනසීමට ලක්වෙමින් පවතින බව නොරහසකි. මේ නිසා ගංගා, ඇළ දොළවල වාර්ෂික ගැලීම් රටාවන් හෝ ඒවායේ ධාරිතාවන් වැස්ස මාසයක් අඩුවූ විටම පහළ වැටීම දක්නට ලැබේ.
වර්ෂ 1930 පමණ සිට සම්මත වූ අණපනත්වල ජල මූලාශ්‍ර සංරක්ෂණය ගැන වගන්ති ඇතුළත් වේ. ඉඩම් සංවර්ධනය, ජලය සහ වනාන්තර ආරක්ෂාව, පාංශු සංරක්ෂණය යටතේ ජල මූලාශ්‍ර සංරක්ෂණයට අදාළ නීති ඇතුළත් අණපනත් 40ක් පමණ මෙරට තිබේ. ජල සම්පත් මණ්ඩල පනත, ඉඩම් සංවර්ධන ආඥා පනත, වාරිමාර්ග ආඥා පනත, රජයේ ඉඩම් ආඥා පනත, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල පනත ඒ අතරින් කිහිපයකි. නීතිමය ආරක්ෂාව ලැබුණ ද ජල මූලාශ්‍රවලට කණකොකා හඬනවිට නීතිය පසුපස දොරින් පලා යාම සිදුවේ.
රජයේ ඉඩම් ආඥාපනත අනුව පොදු ජලාශවලින් හා ඇළදොළවලින් බාල්දිවලින් ජලය ගැනීම හැර අනිත් සියලු ජල භාවිතය සඳහා බලපත්‍ර ලබාගත යුතුය. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හෝ පළාත් පාලන ආයතන සහ ප්‍රජාමූල සංවිධාන විසින් කරනු ලබන සෑම ජලය ලබාගැනීමක් වෙනුවෙන්ම බලපත්‍ර අවශ්‍ය වේ. එහෙත් බොහෝවිට එය සිදු නොවේ. එසේම වාරිමාර්ග හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු මගින් සිදු කරනු ලබන සියලු කටයුතු සහ ඉදිකිරීම් වෙනුවෙන් ද බලපත්‍ර ලබාගත යුතු වේ.
අප රට ගංගා ද්‍රෝණි 110කින් යුක්තය. ඊට අමතරව ප්‍රාදේශීයව ගලා ගොස් මේ ගංගා පෝෂණය කරන අතු ගංගා රාශියකි. මේ ගංගාවලින් 20ක් පමණ වර්ෂය පුරා ජලය සහිතය. ඉහත දක්වන ලද ජල මූලාශ්‍රවලට අමතරව ජල උල්පත් 3540ක සංඛ්‍යාවක් දිවයින පුරා පැතිර පවතී. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජල උල්පත් 1544ක්ද මහනුවර දිස්ත්‍රික්කයේ 204ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ 19ක්ද මොණරාගල දිස්ත්‍රික්කයේ 210ක්ද මාතලේ 2ක්ද තිබෙන බව ඉඩම් සංවර්ධන අමාත්‍යංශයේ ජල මූලාශ්‍ර සංරක්ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ සඳහන්ය.
සමනළ අඩවියෙන් ආරම්භ වී කොළඹින් සමුදුර සිප ගන්නා කැලණි නදිය පානීය ජලය විශාල වශයෙන් සපයන මූලාශ්‍රයකි. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රධාන පානීය ජල මූලාශ්‍රයක් ලෙස කැලණි ගඟ වැදගත් වේ. ගංගා මුවවිටෙන් කිලෝමීටර 14ක් ඉහළින් අඹතලේ ප්‍රදේශයේ ජල සැපයුම් පිරිපහදු ස්ථානයක් පවතී. ගඟෙහි පහත් ඉවුරු හේතුවෙන් ලවණ මිශ්‍රිත ජලය සමුදුරෙන් ගඟ තුළට ගලා ඒම නිසා පායන කාලයට ගං දිය පානය කිරීමට නුසුදුසු වේ. ගං පතුලින් අධික ලෙස වැලි ගොඩ දැමීම නිසා ගංගා පතුල ගැඹුරු වීමේ ලවණ කාන්දු වීම සිදු වේ. මේ නිසා සෑම වියළි කාලයකම වැලි කොට්ට දමා තාවකාලික වේල්ලක් අඹතලේ සකස් කිරීම ජල සම්පත් මණ්ඩලය මගින් සිදු වේ. පසුගිය පෙබරවාරියේ ද එසේ තාවකාලික වේල්ලක් ඉදිකිරීම සිදුවිය. ඉදිරියේ දී වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ස්ථිර වේල්ලක් අඹතලේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
''අපි කළුගඟේ ජල මූලාශ්‍ර සංරක්ෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා ජල පෝෂක සංරක්ෂණය කිරීමට. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ සහයෝගය ඇතිව අපි කටයුතු කරනවා. පානීය ජල මූලාශ්‍රයක් විදිහට කැලණි ගඟ ගොඩක් සංවේදියි. ඒ ගඟ දෙපස කර්මාන්ත ශාලා රාශියක් තිබෙනවා. මේවා ගැනත් අප අවධානය යොමු කරනවා. ජලයේ දූෂණ තත්ත්වය ගැන නිතර පරීක්ෂා කර බලමින් ජල මූලාශ්‍රය පානීය ජලයට සුදුසු තත්ත්වයේ පවත්වා ගැනීමට කටයුතු කරනවා.'' ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී අනෝජා කළුආරච්චි වැඩිදුරටත් පැවසුවාය.
ජල මූලාශ්‍රවල පැවැත්ම ගැන කටයුතු කරන රාජ්‍ය ආයතන රාශියක් ද පවතී. වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අතරින් කිහිපයකි.
රජරට විශ්වවිද්‍යාලයේ පර් යේෂකයන් කණ්ඩායමක් සිදුකළ අධ්‍යයනයකින් හෙළි වුණේ කොත්මලා ඔය ජල පෝෂක ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රාශියක් අවිධිමත් ජනාවාස නිසා විනාශ වී ඇති බවය. ජලාශය ඉදිකිරීමේදී බලපෑමට ලක්වූ ප්‍රදේශ සඳහා කොත්මලා ඔයට ඉහළින් පිහිටි කඳු සහිත ප්‍රදේශයේ නව ඉඩම් ලබා දීමක් සිදුකර තිබෙන අතර මේ වන විට නිවාස දියුණුවීමත්, වගා කටයුතු කුඹුරු වගාවේ සිට එළවළු සහ තේ වගාව සදහා මාරුවීමත් සිදු වී තිබේ. කඳු සහිත මෙම ප්‍රදේශයේ පවතින ජල උල්පත් විශාල ප්‍රමාණයක් අද වන විට ගෘහාශ්‍රිත කටයුතු සඳහා භාවිත කිරීමට හෝ වසා දැමීමට ජනතාව කටයුතු කර තිබේ. රජය මගින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම මත මෙම ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කොත්මලා ඔය පෝෂණය වන ජල උල්පත් විශාල ප්‍රමාණයක් මේ හේතුවෙන් විනාශ වී ඇති බව පර් යේෂකයෝ සඳහන් කරති.
රටේ සමහර ප්‍රදේශවල ජල මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා පරිසර අමාත්‍යංශය ද මැදිහත් වේ. පසුගිය දා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තේ වතු ආශ්‍රිතව පිහිටි ඉඩම් කොටස් 362 කින් සමන්විත භූමි ප්‍රදේශය ‘හාලි ඇල ජල මූලාශ්‍ර රක්ෂිතය’ නමින් පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස පරිසර අමාත්‍යාංශය විසින් ගැසට් කළේ එහි පියවරක් ලෙසිනි. බදුලු ඔය පෝෂණය කරන කුඩා ඇළ දොළ පෝෂණය කරන ජල මූලාශ්‍ර මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
I කුසුම්සිරි විජයවර්ධන
සේයාරුව I අන්තර්ජාලයෙන්