2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ඉන්දියාවේ තිරුපති විෂ්ණු කෝවිල ශ්‍රී ලංකාවට!

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 355

ඉන්දියාවේ තිරුමාලා තිරුපති කෝවිලේ ශාඛාවක් වන වෙන්කටේෂ්වර ස්වාමි කෝවිලක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවිය යුතුද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා තිරුමාලා තිරුපති කෝවිලේ විධායක නිලධාරී ධර්ම රෙඩ්ඩි පසුගිය සතියේ මෙරටට පැමිණ තිබූ බව වාර්තා විය.

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට අයත් කඳුකර නගරයක් වන තිරුමාලාවේ සුප්‍රකට තිරුපති කෝවිල පිහිටා ඇති අතර වසරකට කෝටි සංඛ්‍යාත බැතිමත්හු තිරුපති වන්දනාව සඳහා එහි පැමිණෙති. මේ කෝවිල ශ්‍රී ලාංකීය දේශපාලනඥයන් සහ කෝටිපති  ව්‍යාපාරිකයන් අතරද ජනප්‍රිය ආගමික ගමනාන්තයක් වන අතර ඔවුන් නිතර නිතර මේ ආගමික ස්ථානයට පැමිණ සිය විවිධ අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා පුද පූජා පවත්වන බව නොරහසකි. දැන් මේ කෝවිල් ශාඛාවක් ලංකාව තුළම පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත්ව හමාරය.

යෝජිත තිරුපති කෝවිල පිහිටුවීම සඳහා ලංකාවේ හොඳම ස්ථානය සොයා බැලීමට සහ   මූලික පරිපාලන ව්‍යුහයන් සකස් කිරීමට ඉන්දියාවේ සිට පැමිණි කෝවිල් නිලධාරියා දින හතරක් පහක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ඒ කටයුතු නිම කිරීමට නියමිත විය. වාර්තා වන අන්දමට ශ්‍රී ලංකාවේ පදනමක් ශ්‍රී ලංකා රජය සහ මධ්‍යම ඉන්දීය රජය හරහා මෙරට තුළ මෙම කෝවිලක් පිහිටුවන ලෙස ඉල්ලා තිබේ.

මේ අතර පසුගියදා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙහි නිල සංචාරයක යෙදුණු නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා විසින් ආන්ද්‍රා ප්‍රදේශ් මහ ඇමැති ජගත් මෝහන් රෙඩ්ඩි හමුවූ අවස්ථාවේ මෙරට තිරුපති කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද කර ඇති බව සඳහන් විය. තිරුපති වෙත යාමට අපහසු ශ්‍රී ලාංකික බැතිමතුන් මුහුණ දෙන අභියෝග හඳුනාගත් සෙන්තිල් තොණ්ඩමන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාද, තිරුපතිගේ දිව්‍ය ආශිර්වාදය ඔවුන්ගේ නිවෙස්වලට සමීප කරවන මෙවන් දේවාලයක අවශ්‍යතාවයේ වැදගත්කම පෙන්වා දී තිබුණි. එවැන්නක් මගින් ශ්‍රී ලංකාවේ සිටින බැතිමතුන්ට ලබා දෙන පහසුව සහ එය ඔවුන්ගේ අධ්‍යාත්මික අත්දැකීම් වැඩිදියුණු කරන ආකාරය ඔහු අවධාරණය කර තිබූ බව වාර්තා විය. මෙම ඉල්ලීමට අනුව තිරුපති කෝවිල භාරකාර මණ්ඩලය එම ඉල්ලීම පිළිබඳව සාකච්ඡා කර ආගමික රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ කෝවිලක් පිහිටුවීම හොඳ පියවරක් බව තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙම නිල සංචාරය තුළ දී කලාප දෙක අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡා ද සිදු විය. උක් හා මිරිස් වගා කිරීමේ වැඩසටහනක් මෙන්ම ඖෂධ නිෂ්පාදන සමාගමක් පිහිටුවීම ගැන සලකා බලන ලෙස සෙන්දිල් තොණ්ඩමන් පළාත් ආණ්ඩුකාරවරයා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබේ. ආයෝජන මණ්ඩලයේ (BOI) ඇඟලුම් උද්‍යානය ප්‍රවර්ධනය කිරීමට සහ ත්‍රිකුණාමල වරායේ කර්මාන්ත පුරයක් පිහිටුවීමට ආයෝජකයන් දිරිමත් කිරීමට ඉන්දියාවේ සහාය ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් ඉල්ලා ඇති බව වාර්තා වේ. (මේ සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ ගත් නමුදු ඔහුගේ කාර්යබහුලත්වය නිසා එය සාර්ථක වූයේ නැත.)

ශ්‍රී වෙන්කේෂ්වර ස්වාමි කෝවිල යනු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි තිරුපති දිස්ත්‍රික්කයේ තිරුපති හි තිරුමාලා කඳුකරයේ පිහිටි හින්දු කෝවිලකි. ශ්‍රීනිවාසා, බාලාජි, ගෝවින්ද සහ වේංකචලපති ලෙසින්ද හඳුන්වනු ලබන ශ්‍රී වෙන්කටේශ්වර හෙවත් විෂ්ණු දෙවියන්, මීට වසර පන්දහසකට පෙර තිරුමාලය තම වාසස්ථානය කරගත් බව කියයි. ඒ නිසා මෙම දේවාලය කැප කර ඇත්තේ විෂ්ණුගේ ස්වරෑපයක් වන වෙන්කටේශ්වර සඳහා වන අතර ඔහු කලියුගයේ පීඩා සහ කරදරවලින් මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීම සඳහා පෘථිවියේ දර්ශනය වූ බව විශ්වාස කෙරේ. එබැවින් එම ස්ථානයට කලියුග වෛකුණ්ඨ යන නමද ලැබී ඇති අතර මෙහි දෙවියන් කලියුග ප්‍රත්‍යක්ෂ දෛවම් ලෙසින් හැඳින්වේ. මෙම විහාරය තිරුමාලා කෝවිල, තිරුපති කෝවිල සහ තිරුපති බාලාජි කෝවිල වැනි වෙනත් නම්වලින් ද හැඳින්වේ. ඔහුට පෙර තිරුමාල තම වාසස්ථානය කර ගත්තේ වරාහස්වාමි දෙවියන්ය. මහා ලක්ෂ්මි දේවතාවිය මහාර්ෂි භෘගුගේ දියණිය වන භාර්ගවී ලෙස උපත ලැබූ ස්ථානය ලෙස සැලකෙන හෙයින් මෙය ඉන්දීය බැතිමතුන්ගේ මහා වන්දනාවට ලක්වන පංච ක්ෂේත්‍රයන් අතරින් ප්‍රධාන එකකි.

තිරුමාල කඳු යනු ශේෂාචලම් කඳුවැටියේ කොටසකි. කඳුකරය මුහුදු මට්ටමේ සිට මීටර් 853 (අඩි 2,799) උසකින් යුක්ත වන අතර හින්දු සමයේ කියැවෙන මහා නාගයා හෙවත්  ආදිශේෂාගේ හිස් හත නියෝජනය කරන කඳු මුදුන් හතකින් සමන්විතය. මෙම විහාරස්ථානය ශුද්ධ වූ ජල තටාකයක් වන ශ්‍රී ස්වාමි පුෂ්කාරිනිහි දකුණු ඉවුරේ හත්වැනි කඳු මුදුනේ පිහිටා ඇත. එබැවින් මෙම විහාරය "කඳු හතේ විහාරය" ලෙසද හැඳින්වේ.   තිරුමල නගරය වර්ග සැතපුම් 10.33 (කිලෝමීටර 26.75) පමණ ප්‍රදේශයක් ආවරණය කරයි. මෙම කෝවිල් සංකීර්ණය අක්කර 16.2 ක පමණ භූමි භාගයක පැතිරී ඇත.

මෙම වෙන්කටේශ්වර දේවාලය තොණ්ඩායිමන් රජු විසින් ඉදිකරන ලද්දකි. ඉන්පසු අතරතුර චෝල, පාණ්ඩ්‍ය සහ විජයනගර් විසින් වරින් වර ප්‍රතිසංස්කරණය කරන ලදී. තොන්ඩයිමන්වරුන් යනු 17 වැනි සියවසේ සිට 20 වැනි සියවස දක්වා පුදුකෝට්ටෙයි සහ ඒ අවට ප්‍රදේශය පාලනය කළ ප්‍රධානීහු වෙති. පුදුක්කෝට්ටෙයි තොන්ඩයිමාන් රාජවංශය ආරම්භ කරන ලද්දේ එවකට රාම්නාද්හි රජු වූ රඝුනාථ කිලවන් සේතුපතිගේ මස්සිනා වූ රඝුනාථ තොන්ඩයිමාන් විසිනි. පුදුකෝට්ටෙයි භූමිය ඉන්දීය නිදහසෙන් පසුව ද වසරක් තොන්ඩයිමාන් රාජවංශය යටතේ පැවතිණි.

මෙම කෝවිල දැන් පවත්වාගෙන යනු ලබන්නේ ආන්ද්‍ර ප්‍රදේශ් රජයේ පාලනය යටතේ පවතින, 1933 සිට ඇරුඹුණු  තිරුමාලා තිරුපති දේවස්ථාන භාරකාර ස්වාධීන සභාව (TTD) මගිනි. වාර්තා අනුව තිරුපති, තිරුමාලා හි වෙන්කටේශ්වර දේවාලයේ මුළු වත්කම් ඉන්දීය රුපියල් කෝටි 2.5 (ඇමෙරිකානු ඩොලර් බිලියන 31) ඉක්මවයි. දේවස්ථාන විසින් බැංකුවල තැන්පත් කර ඇති රන් තැන්පතු ද 2019 වසරේ ටොන් 7.3 සිට ටොන් 10.25 දක්වා වේගයෙන් ඉහළ ගොස් ඇත. වාර්ෂිකව මිලියන 24ක් පමණ බැතිමතුන් ආකර්ශනය කර ගන්නා මෙම ස්ථානය ලොව වැඩිපුරම පිරිසක් නරඹන්නට එන ආගමික ස්ථානවලින් එකකි. සාමාන්‍යයෙන් දෛනිකව බැතිමතුන්, වන්දනාකරුවන් 60,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් පැමිණෙන අතර වාර්ෂික බ්‍රහ්මෝත්සවම්, වයිකුණ්ඨ ඒකාදසි සහ අනෙකුත් උත්සව සහ නිවාඩු කාලවලදී බැතිමතුන්ගේ සංඛ්‍යාව ලක්ෂය ද ඉක්මවයි.

I සුගත් පී. කුලතුංග ආරච්චි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05