2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ඔක්කොම වරප්‍රසාද අරන් සහල් මිල ඉහළ දාන මෝල්පතියෝ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 114

ශ්‍රී ලංකාවේ පරිභෝජනය සඳහා වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ අවශ්‍ය වෙයි. මෙම අවශ්‍යතාව සපුරාලන්නේ මෙරට ගොවි ජනතාවය. කෘෂිකර්ම අමාත්‍යවරයාද පවසන්නේ රට සහලින් ස්වයංපෝෂිත බවකි. එහෙත් රටේ සහල් හිඟයක් පවතින බව සහ සහල් මිල පාලනය කිරීම සඳහා යැයි පවසමින් වරින් වර විදේශයන්ගෙන් සහල් ආනයනය කිරීමට බලධාරීහු කටයුතු කරති. ගොවි සමිති සහ සුළු සහල් මෝල් හිමියන් ප්‍රකාශ කරන්නේ සහල් ආනයනයෙන් කොමිස් මුදල් ලැබෙන නිසා සහල් ආනයනයට ආණ්ඩුවේ ප්‍රධානීන් කටයුතු කරන බවටය.

මේ අතර අප්‍රේල් මාසය තෙක් ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 65 සිට රුපියල දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. මෙලෙස බදු අඩු කිරීම හේතුවෙන් මෙරට ගොවියා කබලෙන් ලිපට වැටී ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි. ''රටේ තාමත් ගොයම් කපල ඉවර නැහැ. මේ වන විට අතරමැදියෝ වී මිලදී ගැනීමට බියෙන් සිටිනවා. කෘෂිකර්ම ඇමැතිවරයා පසුගියදා කිව්වා රට සහලින් ස්වයංපෝෂිතයි කියලා. එහෙම නම් මොකටද පිටරටින් හාල් ගෙන්වන්නේ. මේ වන විට සහල් ආනයනයට ණයවර ලිපි නිකුත් කරලා ඉවරයි. ඉදිරියේදී නැව් පිටින් හාල් ලංකාවට එනවා. එක හාල් කිලෝවකින් රුපියල් 10ක කොමිස් එකක්  ගන්නයි මේ හාල් ආනයනය කරන්නේ.'' යනුවෙන් සඳහන් කළේය.

මේ අතර මහ පරිමාණ සහල් මෝල් හිමියන් අඩු මිලට ගත් වී තොග ගබඩා කර සඟවා තබා සහල් හිඟයක් මවාපෑමට කටයුතු කිරීම සහ සහල් නිෂ්පාදනයෙන් යම් ප්‍රතිශතයක් බියර් නිෂ්පාදනයට යොදා ගැනීම හේතුවෙන් එළඹෙන සිංහල අවුරුදු සමයේ සහල් හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඉදිරියේදී කීරි සම්බා වැඩි මිලට අලෙවි කිරීම සඳහා කෘත්‍රිම ලෙස මෙම හිඟය නිර්මාණය කර ඇතැයි සුළු සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ පෙන්වා දෙති. මේ වන විට වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක් නිර්මාණය වී ඇති අතර, පිටකොටුවේ සහල් වෙළෙඳුන් කියා සිටියේ රජය කීරි සම්බා කිලෝවකට රුපියල් 260ක පාලන මිලක් පනවා තිබුණද මහ පරිමාණ මෝල් හිමියන් තමන්ට කීරි සම්බා සපයන්නේ 290ත් 300ත් අතර මිලකට හෙයින් තමන්ට අලෙවි කිරීමට සිදුව ඇත්තේ රුපියල් 310ත් 320ත් අතර මිලකට බවයි.  

මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විට අවසන් වෙමින් තිබේ. පසුගිය කාලයේ රජයේ වී ගබඩා නිසි කලට විවෘත නොකිරීම හේතුවෙන් නාඩු වී කිලෝවක් රුපියල් 70 - 80 අතර මිලකට මහ පරිමාණ වී මෝල් හිමියන්ට අලෙවි කිරීමට ගොවීන්ට සිදුවිය. වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 135 බැගින් මිලට ගැනීමට පියවර ගෙන තිබුණද මේ වන විට තමන් සතු වී තොග මහ පරිමාණ මෝල් හිමියන්ට විකුණා අවසන් යැයි ගොවි ජනතාව කියා සිටිති.

එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා සඳහන් කළේ අනෙක් සහල් සඳහා නොව කීරි සම්බා සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. ''කීරි සම්බා සඳහා වෙළෙඳපොළේ ඇති ඉල්ලුම සහ සැපයුම අනෙක් සහල්වලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක්. කීරි සම්බා මිල පාලනය කරන්නේ මහ පරිමාණ මෝල් හිමියන් තුන්දෙනා විසිනුයි. ඔවුන් කීරි සම්බා වී තොග රුස්කර තබාගෙන වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයක් ඇතිවුණාම වැඩි මිලට ඒවා නිකුත් කරනවා. පසුගිය වසර කිහිපය තුළ මහ පරිමාණ මෝල් හිමියන්ගේ වෙළෙඳපොළ 100% කින් වැඩි වුණා. 2019 වන විට මේ මෝල් හිමියන් මෙරට වෙළෙඳපොළේ තුනෙන් එකක කොටසක් මෙහෙයවූවා. මේ වන විට ඔවුන් මෙරට සහල් වෙළෙඳපොළෙන් තුනෙන් දෙකක් හසුරුවනවා. ඔවුන් අනෙකුත් සහල් වර්ග විශාල ලෙස වෙළෙඳපොළට නිකුත් කරනවා. එම මෝල්වල සේවකයන් දහසක් පමණ සේවය කරනවා. ඒ නිසා ඔවුන් හැමදාම විශාල වශයෙන් සහල් වෙළෙඳපොළට එවනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අභාවයට යමින් සිටිනවා. අපගේ සංගමයේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් 300ක් පමණ සිටිනවා. මේ සියලු දෙනාම අද අසරණ වෙලා තියෙන්නේ. පොළොන්නරු දිස්ත්‍රික්කයේ නාඩු වී කිලෝව මෙවර අලෙවි වූයේ 115ත් 120ත් අතර මිලකටයි. සම්බා 125ත් 130ත් වැනි මිලකට ගියා.

පසුගිය මහ කන්නයේ පෞද්ගලික අංශය මිලදී ගත් වී මිලත් සමඟ 2022 නිකුත් කළ ගැසට් එකේ මිලට තවදුරටත් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට සහල් ලබා දෙන්න බැහැ. 2022 තිබුණු නිෂ්පාදන වියදම්, විදුලි බිල්, වැටුප්, අමතර කොටස් මිල සහ අනෙකුත් වියදම් නොවෙයි වර්තමානයේ තිබෙන්නේ. සහල් මෝල්වල අමතර කොටස් සඳහා කවදාවත් වැට් එකක් ගැහුවේ නැහැ. දැන් වැට් බද්දකුත් ගහල. ආණ්ඩුව සියලු වරප්‍රසාද දෙන්නේ මහ පරිමාණ මෝල් හිමියන්ටයි. ආණ්ඩුව සහල් ආනයනය කරන්නට කටයුතු කළ විට එය මහ පරිමාණ මෝල් හිමියන්ට එතරම් බලපෑමක් වන්නේ නැහැ. එය බලපාන්නේ සුළු පරිමාණ මෝල් හිමියන්ටයි.''

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන ද පෙන්වා දෙන්නේ මහ පරිමාණ මෝල් හිමියන් සහල් මිල ඉහළ දමමින් විශාල ලාබයක් උපයන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාළ රත්නායක මෙලෙස සඳහන් කළේය.

''රජයේ වී මිලදී ගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකමින් අස්වනු නෙලන කාලයට මහ පරිමාණ මෝල් හිමියන්ට ඉල්ලන ගාණකට වී ටික දෙන්න සිදු වෙනවා. අවුරුදු පහුවෙනකොට ගොවීන් ළඟ වී නැහැ. එතකොට මෝල් හිමියෝ වී මිල නග්ගනවා. මේ මාෆියාව හැමදාම තියෙනවා. ඊටපස්සේ හාල් මිල නග්ගනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සම්බා වී කිලෝව අමුවෙන් ගත්තේ 105ට. වේලපු සම්බා 110යි. කීරි සම්බා 115ට වගේ ගත්තා අමුවෙන්. වේලපු එක 130යි. නාඩු 90ත් 100ත් අතර මිලකට ගියා. ඔවුන් මුලින් වී ගත්තේ රුපියල් 75ත් 80ත් අතර මිලකටයි. පසුගිය දිනවල වී අලෙවි මණ්ඩලය ගබඩා කිහිපයක් විවෘත කරල වී ටිකක් ගන්න කටයුතු කළ නිසා පෞද්ගලික මෝල් හිමියෝ වී මිල ටිකක් වැඩි කළා. ඒකත් පළාත් කිහිපයක විතරයි. නාඩු 220ටත් සම්බා 260ටත් කීරි සම්බා 300ටත් වගේ තමයි මේ අය වෙළෙඳපොළට දාන්නේ.  කීරි සම්බා වී කිලෝව මහ පරිමාණ මෝල් හිමියෝ ගන්නේ 130ට. සහල් කිලෝවක් හදන්න වී කිලෝ එකහමාරක් ඕනෑ. එතකොට හාල් කිලෝවක් හදන්න යන්නේ 195යි. අනෙක් වියදම් එකතු කළාම 250ක් යනවා කියමුකෝ. මේ අය විකුණන්නේ 300ට වැඩි මිලකට නිසා ඔවුන්ට හාල් කිලෝවකින් රුපියල් 50කට වැඩි ලාබයක් තිබෙනවා. ඔවුන් අධික ලාබයක් උපයන විට පාරිභෝගිකයාට වැඩි මිලක් ගෙවන්නට සිදුවන අතර ගොවියාට අඩු මිලක් ලැබෙන ක්‍රමයකුයි තියෙන්නේ. වී සඳහා අපට ලැබෙන මිල හුඟක් මදි. නිෂ්පාදන වියදම් විශාල ලෙස ඉහළ ගිහින්. මාස් කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් 85000ක් පමණ බලාපොරොත්තු වුණත් එතරම් අස්වැන්නක් ලැබුණේ නැහැ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමහර ව්‍යාපාරවල අක්කරයකට වී කිලෝ 2000 වගේ හොඳ අස්වැන්නක් ලැබුණා. සමහර ව්‍යාපාරවල වී ප්‍රමාණය අඩුයි. බොහෝ ඒවායේ අක්කරයකට වී කිලෝ 1000ත් 1500ත් අතර ප්‍රමාණයක් තමයි ලැබුණේ. වෙනදා ලැබෙන ප්‍රමාණයට වඩා 25% ක් 30% ක් පමණ අඩුයි. අක්කරයක් වගා කරන්න ගොවියගේ ශ්‍රමය නැතිව අපට රුපියල් එක්ලක්ෂ විසිපන් දහසක් පමණ වැය වෙනවා. අක්කරයකින් කිලෝ 2000ක අස්වැන්නක් ලැබුණොත් අපිට ඒ කන්නයට ලැබෙන ලාබය රුපියල් 70,000යි. ඒක මාස හතරකට බෙදුවම මාසෙකට ලැබෙන්නේ රුපියල් 17,500යි. ඒකෙන් තමයි ගොවියා මාසයක් ජීවත් වෙන්න ඕනෑ. අඩු අස්වැන්නක් ලැබුණු ගොවියට ඒ ප්‍රමාණයවත් ලැබෙන්නේ නැහැනේ.'' යනුවෙන් සඳහන් කළේය.

එකල කීවේ මඩ සෝදාගත් කළ ගොවියා රජෙක් කියාය. අද වන විට රජ වී සිටින්නේ ගොවියා නොව ඔවුන්ගේ පිහිටෙන් අධික ලෙස ලාබ උපයන මෝල්පතියන්ය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05