2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

සුපිරි ඩීසල් - පෙට්‍රල් මිල පමණක් බස්සන අරුම පුදුම මිල සූත්තරේ

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

ඇති හැකි සුපිරි ඇත්තන්ට ලැබුණු සුපිරි සහනය නිසා නැති බැරි පොඩි මිනිහාට හොඳටෝම රිදී තිබුණි. පසුගියදා සිදුවූ ඉන්ධන මිල සංශෝධනයේ දී සුපිරි ඩීසල් සඳහා පමණක් සුපිරි සහනයක් ලැබීම මෙම ආරෝවට හේතු විය. එම නිසාම සුපිරි සහනය පිළිබඳ යථා තතු විමසා බැලීමට අපි තීරණය කළෙමු.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව මාර්තු 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන ගාස්තු සංශෝධනය කළේය. එහෙත් බහුතර පාරිභෝගිකයන් භාවිත කරන ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල සංශෝධනය නොවන බවද මෙහිදී නිවේදනය කෙරිණි.

ඒ අනුව මෙම සංශෝධනය යටතේ මිල ගණන් වෙනස් වූයේ ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරි ඩීසල්වල පමණි. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. 7 කින්ද සුපිරි ඩීසල් ලීටරයක් රු. 72 කින්ද පහළ දැමීමට රජය කටයුතු කළේය.

සිංහල අලුත් අවුරුදු සමය උදාවන බැවින් බොහෝ දෙනෙක් යම් ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටියහ. එහෙත් එම සහනය ලැබුණේ සුපිරි ඩීසල් පාවිච්චි කරන්නන්ට පමණි. මේ සමඟම බොහෝ පාර්ශ්ව වෙතින් බලශක්තිය අමාත්‍යවරයාට සහ රජයට චෝදනා එල්ල වන්නට විය. 

පිරිසක් පැවසූයේ මෙය පිටුපස යම් දේශපාලනික හේතුවක් පවතින බවකි.

“ඡන්දෙ ළඟ නිසා ලොක්කන්ට ගමන් බිමන් යන්න, ලොකු ලොක්කන්ගේ ඉන්ධන කෝටා එක වැඩි කරගෙන ගොඩක් දුර දුවන්න පුළුවන් තමා මේ වැඩේ කරලා තියෙන්නෙ."

මෙම ඉන්ධන මිල පිළිබඳ දේශපාලන සාකච්ඡාව මෙසේ නිර්මාණය වෙද්දී විවිධ සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීහු ද නව ඉන්ධන මිල සංශෝධනය විවේචනය කළහ.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල තීරණය වෙන්නේ බොරතෙල් බැරලයක මිලට සාපේක්ෂව. අපේ රටේ ඉන්ධන මිල තීරණය වෙන්නේ පෙට්‍රල්වලට  ඩීසල්වලට සුපිරි ඩීසල්වලට වෙන වෙනම. අවුරුද්දට අපි මගී ජනතාවට සහනයක් ලබා දෙන්න බලාපොරොත්තුවෙන් හිටියා බස් ගාස්තුව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කරලා. දැන් එහෙම කරන්න හැකියාවක් නෑ. ඒ වගකීම අමාත්‍යවරයා බාරගත යුතුයි."

එලෙස සඳහන් කර සිටියේ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතාය. 

“අප්‍රේල් පළවෙනිදා සියලුම ජනතාව මෝඩයාට අන්දලා, සුපිරි ඩීසලුයි සුපිරි පෙට්‍රලුයි මේ අය අඩු කරගෙන තියෙනවා. ඡන්ද වැඩ කරන්න මිනිස්සුන්ව මෝඩයට අන්දලා හැමදාම මෙහෙම කරන්න බැහැ."

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා එලෙස පැවසීය.

“සුපර් ඩීසල් පාවිච්චි කරන අයට තමයි වැඩිපුරම අමාරුවෙලා තිබිලා තියෙන්නෙ. ඒ නිසාම ලෝබ නැතුව මෙයාලා රුපියල් 72 කින් සුපිරි ඩීසල් අඩු කරලා. අනේ බොහොම හොඳයි. හැබැයි ඩීසල්වලට අතවත් තියලා නෑ. 92 පෙට්‍රල් භාවිත කරන්නේ වැඩිපුරම ත්‍රීවිල් යතුරුපැදි භාවිත කරන සාමාන්‍ය මිනිස්සු. ඒකටත් කිසිම විදිහකින් අත තියලා නෑ. අසරණ මනුස්සයා කොහොම හරි මේක දරාගෙන යනවා කියලා මෙයාලා දන්නවා."

සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තිය සමිතිය වෙනුවෙන් එලෙස අදහස් දක්වා තිබුණේ එහි සභාපති ලලිත් ධර්ම සේකර මහතාය.

මේ ආදී වශයෙන් තවත් බොහෝ සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති ක්‍රියාකාරීහු මෙම ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ විවේචනාත්මක අදහස් ගොනු කළහ. පොදු ප්‍රවාහනය සඳහා කිසිදු සහනයක් නොලැබීමත්, බහුතරයක් ඉන්ධන පාරිභෝගිකයන් භාවිත කරන ඉන්ධන සඳහා සහන නොලැබීමත් මෙම තත්ත්වය වර්ධනය වීමට හේතු විය.

“එකපාරට මෙච්චර ලොකු ගාණක් සුපිරි ඩීසල්වලින් විතරක් අඩු කරන්න පුළුවන් නම් මෙයාලා පහුගිය කාලෙ අධික ලාභයක් ලබලා තියෙනවා කියන එක පැහැදිලියි. මේක පිටිපස්සේ ලොකු වංචාවක් තියෙනවා."

මෙවැනි චෝදනා ද සමාජ මාධ්‍ය ඇසුරේ දැකගත හැකි විය.

මේ අතර ඛනිජ තෙල් සංස්ථාව පාර්ශ්වයෙන් ද යම් පැහැදිලි කිරීමක් සිදුකොට තිබුණි. ඔවුන් නිවේදනය කර තිබුණේ පිරිපහදුවේ ලාභ හෝ අලාභ පිරිපහදුවේ නිෂ්පාදනය සඳහා ගණනය වන නමුත්  සුපිරි ඩීසල් හා පෙට්‍රල් 95 පිරිපහදුව මගින් නිෂ්පාදනය නොවන බවයි. ජනවාරි පළමු වැනිදා සිට පිරිපහදුවේ නිෂ්පාදන සඳහා වැට් බද්ද ද අයකෙරෙන බව මෙහිදී වැඩිදුරටත් සඳන් කොට තිබුණි.

එසේම ඉන්ධන මිල සූත්‍රයට ඇතුළත් කර ඇති කිසිදු ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ඇති ලාභය හෝ අලාභය, මිල සූත්‍රයට අනුව වෙනත් ඉන්ධන වර්ගයක් වෙනුවෙන් ආදේශ කිරීමක් හෝ පියවා ගැනීමක් සිදු කළ නොහැකි බවද සංස්ථාව නිවේදනය කොට තිබුණි. කෙසේ වෙතත් මේ හා සම්බන්ධ විධිමත් පැහැදිලි කිරීමක් සංස්ථාව පාර්ශ්වයෙන් අපි ද ලබා ගතිමු.

කෙසේ වෙතත් සමස්ත සිදුවීම් පෙළ දෙස විශ්ලේෂණාත්මකව බලන විට බලධාරීන් කුමක් කීවද පොදු මහජනතාව වෙත සහන ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වගකීම ඔවුන් සතු බව අප සිහිපත් කළ යුතුය. ඉන්ධන මත වූ සහන බොහොමයක් කප්පාදු කරමින් මීට කලකට පෙර බලධාරීන් කීවේ කළ හැකි වෙනත් යමක් නොමැති බවකි. ඔවුන් අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා අවශ්‍ය නීති අණ පනත් සකස් කර ගැනීම උදෙසා කිසිවිටෙක පැකිලුණේ නැත.

එසේ නම් පොදු මහජනතාව වෙත සහන සලසා දීමට හැකි අවස්ථාවක එක් පාර්ශ්වයක් වෙත පමණක් අධික සහනයක් ලබාදීම වළක්වා නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වගකීම ඔවුන් සතු වේ. මිල සූත්‍රයේ යම් වෙනසක් සිදු කළ යුතු නම් එය කඩිනමින් සිදුකිරීමේ වගකීම ද බලධාරීන් සතුය. එසේ නොකොට පොදු මහජනයා මත මෙලෙස බර පැටවීම, සාධාරණීකරණය කිරීම යුක්ති යුක්ත නොවේ.

I චමිඳු නිසල් ද සිල්වා