මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පසුගියදා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරනවා වෙනුවට ආනයනකරුවන් සහ වෙළෙඳුන් සමඟ සාකච්ඡා කර එම ද්‍රව්‍ය සඳහා සම්මත මිලක් ඇතිකර ගැනීම පිළිබඳ තම අවධානය යොමුව ඇති බවය. මිල පාලනය කර නීති පනවා වැටලීම් සිදු කර වැඩි මිලට අලෙවි කිරීම් නැවැත්වීමට කටයුතු කිරීමට වඩා රජය සහ වෙළෙඳුන් යන දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය එකඟතාවක් ඇතිකර ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැකි බව තම විශ්වාසය බව ඔහු කියයි.
පසුගිය සමයේ වෙළෙඳ අමාත්‍යංශය මගින් පැනවූ පාලන මිල කිහිප වතාවක් ''රිවස්'' කරන්නට සිදුවූ බව අපට මතකය. එයට හේතුව පාලන මිලට අලෙවි කළ නොහැකි යැයි වෙළෙඳුන් අලෙවිය නැවැත්වූ බැවිනි. බිත්තර සඳහා පාලන මිලක් පැනවුවද එය අසාර්ථක වීම නිසා මිල බැස්සීමට බිත්තර ආනයනය කිරීමට රජයට සිදුවිය. සහල්වලට පැනවූ පාලන මිල තවත් උදාහරණයකි. කීරි සම්බාවලට පාලන මිලක් පැනවීම නිසා වෙළෙන්දෝ එම සහල් අලෙවි කිරීමෙන් වැළකී සිටිති. තවම එම තත්ත්වය පවතී. ලූනු, පරිප්පු, අර්තාපල්, සීනි, කරවල, මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පාලන මිලක් පැනවීම සාර්ථක නොවන්නේ ආනයන රටවල්වල ඒවායේ මිල ගණන් වෙනස් වීම මත මෙරටට ගෙන්වන ඒවායේ මිල තීරණය කිරීමට සිදුවීම නිසාය.
කිරිපිටි ආනයනකරුවන් සමඟ වෙළෙඳ ඇමැතිවරයා කළ සාකච්ඡා සාර්ථක වී මිල අඩු කිරීමට හැකිවීම නිසා තවත් ද්‍රව්‍යවලට එම ක්‍රමය අත්හදා බැලීමට ඇමැතිවරයා යොමු වී සිටී. මේ ගැන මුදල් අමාත්‍යාංශයේද අවධානය යොමුව තිබේ. ළඟ එන අලුත් අවුරුදු සමයේදී බොහෝ ද්‍රව්‍යවල මිල ඉහළ යාමට ඉඩ ඇති නිසා එම මිල ගණන් අඩු කිරීමට මෙම ක්‍රමයෙන් හෝ සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණොත් එය ජනතාවගේ වාසනාවකි.
වී වලට නියම කළ සහතික මිලද මේ වන විට පුස්සක් බවට පත්ව ඇති අතර පෞද්ගලික මෝල් හිමියන් රජයේ මිලට වඩා ගෙවන නිසා ගොවියන් මෝල් හිමියන් වෙත යාම හේතුවෙන් වී අලෙවි මණ්ඩලයේ ගබඩා තවමත් හිස්ව පවතී. ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අභියෝග කරන්නේ පුළුවන් නම් වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 50,000ක් මිලට ගෙන පෙන්වන ලෙසටය. ආරක්ෂක තොග වශයෙන් අස්වැන්නෙන් සියයට 50ක් වී මිලට ගත යුතු නමුත් මේ වන විට අලෙවි මණ්ඩලය සියයට 1 ක් හෝ මිලට ගෙන නැති බව ඔහු කියයි. පවුල් මිලියන 2.74කට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් ලබා දෙන බව කියන රජයට සිදුවන්නේ අවශ්‍ය සහල් මෝල් හිමියන්ගෙන් මිලට ගැනීමට බවට සැකයක් පවතී.
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවලට වඩා අඩු මිලට දේශීය බිත්තර අලෙවි කළ හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක කියයි. රුපියල් 37 – 43 අතර මිලකට බිත්තර අලෙවි කළ හැකි අතර දේශීය බිත්තර නිෂ්පාදනය දිනකට ලක්ෂ 75 දක්වා ඉහළ ගොස් ඇති බව ඔහු පවසයි. බිත්තර කෝටි 4ක් දින දෙක තුනක් තුළ කොළඹට ගෙනත් දීමට හැකි බව ඔහු රජයට පවසා ඇත.
ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල බැස්සවීමට නම් වෙළෙඳුන් සමඟ සම්මුතියකට ඒමට රජයට සිදුව ඇති බවය. කුකුළු මස් වුවද කිලෝව රු. 1150 කට අද අලෙවි කරනුයේ වෙළෙඳුන් සමඟ සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. අනිත් අතට මිල පාලනයක් කර වැඩි මිලට අලෙවි කරන්නන් වැටලීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට අවශ්‍ය සම්පත් නැත. ඇතැම් නිලධාරින්ගේ දූෂිත ක්‍රියා නිසා වැටලීම් අසාර්ථක වී තිබේ. ඒ නිසා යල් පැනගිය මිල පාලනය කිරීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට දැන් කාලය පැමිණ තිබේ.
අද මිල තීරණය කරන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්. මෙම සංකල්පය පිළිබඳ අදහස් දක්වන වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ මෙම ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි වන්නේ නම් එයින් භාණ්ඩ මිල පාලනයට වඩා යහපත් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය හැකි බවය.
''මෙම යෝජනාව හොඳයි. එහෙත් මෙය අපේ රටේ සාර්ථකව ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකුයි තිබෙන්නේ. මෙයට පෙර මේ ආණ්ඩුවෙන් හා එයට පෙර තිබූ ආණ්ඩුවලිනුත් මෙවැනි ක්‍රමයක් ඇතැම් අවස්ථාවල පටන් ගත්තත් එය සාර්ථක වූයේ නැහැ. ව්‍යාපාරිකයන් ඇමැති සමඟ එක්තරා මිල මට්ටමකට එකඟ වෙලා ගියත් පසුව සතියෙන් දෙකෙන් විවිධ හේතු ඉදිරිපත් කරමින් එය වෙනස් කළා අපට මතකයි. මෙවර වුණත් එය සිදු නොවේ යැයි අපට සිතන්න බැහැ.
අනිත් එක තමයි ප්‍රධාන ව්‍යාපාරිකයන් එකඟ වන මිලට එයට පහළ සිටින වෙළෙඳුන් කැමැති වෙනවාද යන්න. ඔය කිව්වට අපිට ඕවට යටත් වෙන්න බැහැ. එහෙම වුණොත් අපේ ලාබෙ අඩුවෙයි. ඒ හින්දා අපිට ලාභ ලැබෙන විදියටයි වෙළෙඳාම සිද්ධ වෙන්න ඕනෑ. වෙළෙඳුන් එසේ කියනවා ඇති. ආනයනකරුවන්ගේ සංගමයේ වෙළෙඳුන් කියන මිලට අනිත් අය එකඟ වේ යැයි සිතීම අපහසුයි.
රුපියලේ විනිමය අනුපාතිකය අනුව ආනයන භාණ්ඩවල මිල වෙනස් විය හැකියි. එහෙත් රුපියල නිතර වෙනස් වෙන්න ගත්තොත් දිගටම ඒ මිල තියාගන්න බැහැ. අනිත් අතට මෙලෙස ගිවිසගත් මිලක් තිබුණද සැපයීම අඩු වුවහොත් මිල වැඩි වෙනවා. මෙය කෙනකුට වුවමනාවෙන්ම කරන්න පුළුවන්. එහෙත් පාරදාශ්‍ය භාවයකින් මිල තීරණය කළහොත් එය සාර්ථක වේවි.
ඒ වගේම මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමත් මෙයට සමානයි. අද අපේ රටේ ඉන්ධනවලට, ප්‍රවාහන ගාස්තුවලට, පාන් මිලට, කිරිපිටි මිලට ඇතැම් ඖෂධවලට මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක වෙනවා. එහිදී නිෂ්පාදන වියදම, ප්‍රවාහන වියදම, විනිමය අනුපාතික අගය, ලාභාංශය ආදී සෑම දෙයක්ම ගලපලා තමා මිල සූත්‍රය හදන්නේ. අදත් මෙවැනි මිල සූත්‍ර අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. අපේ ඉන්ධනවල, ගෑස්වල මිල අඩු වැඩි වන්නේ මෙම මිල සූත්‍ර අනුවයි. ගෑස්වලටත්, බස් ගාස්තුවලටත් එහෙමයි. ඇතැම් රටවල මිල සූත්‍රය අනුව දෛනිකව භාණ්ඩවල මිල ප්‍රකාශ කරනවා. ඒත් අපේ රටේ එහෙම කරන්න බැහැ. සති දෙකකට වරක්, මසකට වරක් වගේ නම් සාර්ථකව ක්‍රියාත්මක කළ හැකියි.
භාණ්ඩ හා සේවා මිල අඩු කරන්න නම් ව්‍යාපාරිකයන් අතර තරගයක් ඇතිකළ යුතුයි. එහෙත් අද සිදුවන්නේ ආනයනය ඇතුළු වෙළෙඳ කටයුතු සියල්ල ආණ්ඩුවේ දේශපාලනඥයන්ට සම්බන්ධ අතලොස්සකට බෙදා දීලා තිබීමයි. ඉතින් සමස්ත වෙළෙඳපොළම ඒ අය අල්ලගෙන ඉහළ මිලකට අලෙවි කරලා විශාල ලාභ ලබනවා. සෙසු ව්‍යාපාරිකයන්ට එයට ඇතුළු වී තරගකාරීත්වයක් නිර්මාණය කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. අද බිත්තරවලට වෙලා තියෙන්නෙත් ඒ වගේ දෙයක් තමා. මිල තීරණය කරන්නේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්. නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට සිදුවන යහපතක් නැහැ. ඉන්දියාවෙන් ගෙන්වන විට මිල අඩු වෙනවා. යළි වැඩි වෙනවා. අද තියෙන්නේ වෙළෙඳපොළ මාෆියාවක් බව තේරුම් ගත යුතුයි. මෙය නීතිවලින් මැඩපවත්වන්න බැහැ. ප්‍රායෝගිකව කළ යුතුයි. ඒ නිසා ඇමැතිවරයා පවසන පරිදි මිල පිළිබඳ සම්මුතියකට ආවොත් හොඳයි. එය දිගටම කළ හැකිද යන්න සැක සහිතයි.''
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්
''ආහාර ඇමැති කියන හැටියට වෙළෙඳුන් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ට සාධාරණ ලාභයක්ද සමඟ පාරිභෝගික භාණ්ඩවලට මිලක් නියම කරන්න පුළුවන් නම් හොඳයි. එහෙත් අපේ වෙළෙඳුන් එහෙම යුක්තිගරුක කොටසක් නොවන නිසා මම නම් හිතන්නෙ නැහැ මෙවැනි ක්‍රමයකින් වැඩිවන බඩු මිල අඩු කරගන්න පුළුවන් වෙයි කියලා. අතීත අත්දැකීම් අනුව පෙනෙන්නේ ව්‍යාපාරිකයන්ට අවශ්‍ය තම ලාභය උපරිම කර ගැනීම මිස ජනතාවට යහපතක් උදා කිරීම නොවෙයි.
ඒ නිසා මම නම් කියන්නෙ ආණ්ඩුව පාරිභෝගික අධිකාරිය සමඟ කතා කරලා මේ ළඟ එන උත්සව සමයේදී අත්‍යවශ්‍ය භාණ්ඩවලට යම් මිල සීමාවක් පැනවිය යුතු බවයි. මේ මිලට වඩා වැඩි මිලට විකුණන්න බැහැ කියලා මිල නියම කළ යුතුයි. තරගකාරීත්වය මත එම මිලට අඩුවෙන් විකුණන්න පුළුවන්. ප්‍රමිතියෙන් ඉහළ භාණ්ඩ රජයේ මිලට රට පුරා අලෙවි කළ යුතුයි. පාරිභෝගික සේවා අධිකාරිය ශක්තිමත් කරලා වැටලීම් වැඩි කිරීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව මෙය සාමයෙන් විසඳන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.
රතු සීනි දේශීයව නිෂ්පාදනය කරන නිසා අද පවතින මිලට වඩා කිලෝව රුපියල් 150 පමණ අඩු කරන්න පුළුවන්. අවුරුදු කැවිලිවලට ගන්නේ රතු සීනියි. රතු සීනි මිල අඩු කළොත් කේක්වල සහ රසකැවිලිවල මිල විශාල ලෙස අඩු කළ හැකියි. සීනි හා පිටි මිල අඩුව ඇති නිසා කිරි තේ එකක් රුපියල් 20කින් අඩු කළ හැකියි. පාන් පිටි මිලද රුපියලේ අගය අනුව තවත් අඩු කළ හැකියි. එවිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන උත්සව සමයේ තව අඩු කිරීමට පුළුවන්.''
I යසවර්ධන රුද්රිගූ