2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මූල්‍ය අරමුදලේ අලුත් පිම්ම

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 25

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳන රාමුවක් සකස් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට තත්ත්වය සොයා බැලීම සඳහා විශේෂඥ කණ්ඩායම් යොදවා තිබේ. එහි දෙවැනි මෙරටට පැමිණි අතර ඔවුන් සිය නිරීක්ෂණ ප්‍රකාශයට පත් කර ඇත. ඇමෙරිකානු ඩොලර් 337 ක ඊළඟ වාරිකය අනුමත කර ඇති බව අනාවරණය වේ. ශ්‍රී ලංකාවේ විනිමය සංචිතය තවත් තර කරන්නට එය හේතු වනු ඇත. රුපියලේ අගය තාවකාලික ශක්තිමත් බවක් පෙන්නුම් කරන මෙම අවස්ථාවේදී මූල්‍ය අරමුදලේ මෙම ලැබීම් රුපියල තවත් වටයකින් ශක්තිමත් කරනු ඇත.

ජාත්‍යන්තරයෙන් ලබාගත් ණය ගෙවීම සඳහා අලුත් සැලැස්මක් සඳහා ගමන් කරමින් සිටින ශ්‍රී ලංකාව එහි එකඟතා ගැන යුහුසුළු වෙමින් පසුවෙයි. ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කර මගින් ලබාගත් ණය වලින් කොටසක් කපා හැරීමටත් ඉතිරි කොටස ගෙවීම සඳහා වසර පහක් දක්වා සහන කාලයක් ලබාගැනීමටත් උත්සාහයක් පවතී. ණය නොගෙවන අතර ලැබෙන විනිමය වලින් රටට අවශ්‍ය ආනයන කටයුතු පවත්වාගෙන යයි. ඉන්දියාවෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන හතරකට අධික ආධාර ආපසු ගෙවීමටද තවමත් සැලැස්මක් නැත. චීනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක සංචිත පහසුකමක් ලැබී ඇති අතර එය මෙරට වත්කමක් සේ පවත්වාගෙන යමින් සිටී. මෙම වාසිදායක පසුබිම ස්ථාවරව පවත්වා ගැනීම කෙරෙහි මූල්‍ය අරමුදලට සැලැස්මක් ඇත. එම සැලැස්මට අනුව ක්‍රියාත්මක වීම කෙරෙහි මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය කුමක්ද?

► ගිවිසුමේ ඉදිරිය

මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය රුක ගනිමින් උද්ධමනය පාලනය කරගැනීම, සංචිත තවත් තරකර ගැනීම සහ ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු සම්බන්ධව මූල්‍ය අරමුදලේ නියෝජිතයන් යහපත් අදහස් දක්වා ඇත. ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් ක්‍රියාවට නැංවීම අවශ්‍ය බව පෙන්වා දී ඇත. දැනට ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව හොඳ ප්‍රගතියක් ලබා ඇත. 

රාජ්‍ය මූල්‍ය අංශයෙහි සිදුකරන ලද ප්‍රතිසංස්කරණවලින් පසු රාජ්‍ය මූල්‍ය වත්කම් ඉහළ නැග ඇති බව මෙම ඉදිරිපත් කරන ලද වාර්තාව කියයි. සහනාධාර වියදම් පිළිබඳ විෂමතා හැර 2023 දෙසැම්බර් අවසානය දක්වා සියලු ප්‍රමාණාත්මක කාර්ය සාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරාලීමට හැකි වී ඇති බව පෙන්වා දී ඇති කරුණකි. 2024 පෙබරවාරි අවසානයට පෙර කරගත යුතුව තිබුණු ඇතැම් ව්‍යුහාත්මක වෙනස්කම් ඇතැම් ප්‍රමාද සහිතව හෝ ක්‍රියාත්මක කර ඇති බව දක්වන මෙම නියෝජිතයන් ඇතැම් ක්ෂේත්‍රවල කළ යුතුව ඇති ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතින බවද ඔවුන්ගේ අලුත්ම වාර්තාවේ දක්වා තිබේ.

ආර්ථික කටයුතු තිරසාර තත්ත්වයක් සහ ස්ථාවර කරගැනීම උදෙසා ආර්ථික වර්ධනයක් කරා යන මාවතට ඇතුළුවීම වැදගත් බව මෙම විශේෂඥයෝ පෙන්වා දෙති. ආයෝජන රටට ගෙන්වාගත හැකි පරිදි සුදුසු පරිසරයක් වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගැනීම ඉතා වැදගත් බවද ඔවුන්ගේ වාර්තාවේ දැක්වේ. මූල්‍ය ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවේ බලධාරීන්ගේ කැපවීම ඉතාම ඉහළ අතර එහි අනෙක් පරිච්ඡේදය වශයෙන් ආයෝජන අවශ්‍ය බව දක්වයි.

► ආයෝජන ගෙන්වන්නට හරස් වෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යාපාර හිතකර පරිසරය ඉතා හීන වී ඇත. රට පුරා වසා දමන ලද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහස් ගණනකි. ඒවා පවත්වාගෙන යා නොහැකි තරමට වියදම් ඉහළ ගොස් තිබේ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ පවා අඩුම තරමින් ඇඳුම් පැළඳුම් අලෙවිය පහත වැටී ඇති බව ව්‍යාපාරිකයෝ කියති. මෙම කාලයේ වෙළෙඳාමක් නොවෙන්නට ජනතාවගේ අතමිට හිඟ බව බලපායි. ආර්ථිකය හැදෙන්නට  ජනතාවගේ අතට ලැබෙන මුදල වැඩිවිය යුතු අතර ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව දියුණු විය යුතුය. 

ජාත්‍යන්තර ආයෝජන සැලකීමේදී ව්‍යාපාර හිතකර වාතාවරණය අවශ්‍යය. මෙම නිර්ණායක අඟවන ලෝක බැංකුව ප්‍රකාශයට පත් කරමින් තිබුණු ව්‍යාපාර හිතකර දර්ශකය වෙනුවට පසුගිය මාර්තු මාසයේ සිට “ව්‍යාපාර සූදානම් දර්ශකය” නිකුත් කරයි. තිරසාර අන්දමකට සංවර්ධනය වේගවත් කිරීම අරමුණු කරගෙන දියුණුවන රටවලට ආයෝජන ඇතිකරන ඒ ඔස්සේ රුකියා අවස්ථා බිහි කරන සහ ඵලදායීතාව වර්ධනය කරන්නට හේතුවන ආකාරයට මෙම දර්ශකය පසුබිමක් සකස් කරන බව දැක්වේ. ව්‍යාපාර සඳහා රටවල් සූදානම්ද සහ විශේෂයෙන් පෞද්ගලික අංශයේ පැතිරීම කෙසේද යන්න විවරණාත්මකව සලකා බලන්නට අලුත් දර්ශකය පිටිවහලක් වනු ඇත.

ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙහි තැනක් දිනාගත යුතුය. දැනට පවතින විදුලිය ගාස්තු, ඛනිජ තෙල් වියදම හා අධික බදු ආයෝජන අවස්ථාවලට හිතකර නැත. ශ්‍රම වියදම හා  ඉදිකිරීම් පිරිවැය අනෙක් පැත්තකි. ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල සලකන පසු ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක් සඳහා තීරණ ගැනීම පහසු නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ හා පනවන ලද අතිරේක බදු මෙම තත්ත්වයට හේතු වූ බව නොදන්නා මූල්‍ය අරමුදල ආයෝජන සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පෙන්වා දීමද ගැටලු සහගතය. 

► යුක්රේනයට එහෙම අපට මෙහෙම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුක්රේනයටද මාස හතළිස් අටක කාලයක් සඳහා කාර්ය මණ්ඩල ණය සංචිතයක් අනුමත කර තිබේ. පසුගිය වසරේ කරන ලද මෙම ප්‍රදානය අනුව යුක්රේනයට ලැබී ඇති ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15.6 කි. රුසියාව සමඟ දරුණු යුද්ධයක පැටලී සිටින යුක්රේනය විශාල අර්බුදයක පසුවෙයි. ජාත්‍යන්තර විචාරකයෝ මෙම පැටලීම අමනෝඥ සිද්ධියක් බව දක්වති. විද්වතුන්  දක්වන කරුණු අනුව යුක්රේනය කිසිදා ජයග්‍රහණය කළ නොහැකි යුද්ධයක් කරන රටකි. එම රටට ශ්‍රී ලංකාවට සපයන ලද ආධාරවලට වඩා හත් ගුණයක් ඉහළ සංචිතයක් සපයන්නේ ඇයි? ලෝකයේ අනෙක් රටවල් හා ප්‍රදානක ආයතන යුක්රේනයට ප්‍රකාශ කරන ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 122 කි. මෙපමණ විශාල ධනයක් ලබන්නට යුක්රේනය සුදුසුය. පොහොර, ආහාර හා ඛනිජ තෙල් නිෂ්පාදකයකු වශයෙන් යුක්රේනය ලෝකයේ වැදගත් තැනක් උසුලයි. යුක්රේනයේ ගෑස් සැපයුම නතර කළහොත් යුරෝපා රටවල ප්‍රශ්නයක් ඇතිවේ. ආර්ථික අර්බුදයක දී පිහිට ලැබෙන රටවල් අතර තමන්ට ප්‍රයෝජනයක් ඇති ස්ථානවලට පළමු තැන හිමිවේ. එය ලෝකයේ ප්‍රවණතාවයකි. 

යුක්රේනයට කොන්දේසි පනවන්නට අසමත් මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දරදඬුභාවය දක්වයි. 2025 සහ ඉන් ඔබ්බට ආදායම් ලබාගැනීමේ ඉලක්ක සපුරාලීම සඳහා ආදායම් තවත් බදු යෝජනා කරයි. සෑම පුද්ගලයකුම බදු ගෙවන්නකු බවට පත් කරන අතර එය ඉක්මවා දේපළ බද්ද හඳුන්වා දීම සඳහා අඛණ්ඩ පියවර ගැනීම ඉතා වැදගත් බව මෙවර නියෝජිත පිරිස රටට අවධාරණය කර ඇත. ආදායම් පරිපාලනය සහ බදු එකතු කිරීම් ඉහළ නැංවීම සඳහා දූෂණ විරෝධී උත්සාහයන් ද ප්‍රධාන සාධකයක් බව පෙන්වා දී තිබේ. ඉන්ධන සහ විදුලි මිලෙහි පිරිවැය ආවරණය කරගැනීම අරමුණු කරගෙන කරන මිල සූත්‍ර රජය සතු ව්‍යවසායයන්ගෙන් පැන නගින මූල්‍ය අවදානම් අවම කර ගැනීමට උපකාරී වන බව ද පෙන්වා දී ඇත. මෙවර සහ පසුගිය මාසයේ සිදුකළ ඉන්ධන මිල සංශෝධනයේ දී සාමාන්‍ය ජනතාවට දැනෙන ඩීසල් මිල හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු කළේ නැත. සුපිරි ඩීසල් හා සුපිරි පෙට්‍රල් මිල විශාල වශයෙන් අඩු කළේය. භූමිතෙල් මිල වෙනම කතාවකි. මූල්‍ය අරමුදල දක්වන බලපෑමක තරම මෙයින් පැහැදිලි වේ. 

► ඉදිරියේදී මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනුව

ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩු වී ඇති අතර, උද්ධමන පීඩනය අඩු තත්ත්වයක් යටතේ ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය සාර්ව ආර්ථික ස්ථායීතාවයට සහාය වන අඛණ්ඩ අධීක්ෂණයක් රටට අවශ්‍ය බව මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පෙන්වා දී ඇති කරුණකි. රට තුළ කළ යුතු ප්‍රතිසංස්කරණ අතර දූෂණ අවදානම් අවම කිරීම, ආර්ථික විශ්වාසය යළි ගොඩනැංවීම සහ ආර්ථිකය වඩාත් ශක්තිමත් කරගැනීම සඳහා විසඳුම් අත්‍යවශ්‍ය බව දක්වා ඇත. 

මූල්‍ය අරමුදලේ මෙම වාර්තාව නිකුත් කළ අතර එයට පදනමක් වශයෙන් ජනාධිපතිවරයා ඇතුළු රජයේ පිරිස්, විපක්ෂ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ ස්වාධීන මතධාරීන් පමණක් නොව මෙවර විශේෂයක් වශයෙන් උඩරට වතු කම්කරුවන්ද හමු වී ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි තේ වගාවට තිබුණු තැන පසුබෑම සමඟ වතුකරයේ ජනතාවගේ ජීවන තත්ත්වය ගැන මෙහිදී බැරූරුම්ව සිතන බව පෙනේ. ජනගහනයෙන් සියයට විසි හයක් දරිද්‍රතාවයට ගොදුරු වී ඇති බව දක්වන අවස්ථාවක හා එය 2017 වසරට වඩා දෙගුණයක් බව පෙන්වන විට මෙයට වඩා සැලකිල්ලක් රටට අවශ්‍යය.

ශ්‍රී ලංකාව මැතිවරණ වසරක් ඉදිරියෙහි පසුවෙයි. අවුරුදු කාලසීමාවට පසු ඡන්ද උණුසුම ඉහළට එනු ඇත. ජනාධිපතිවරණය හා මහ මැතිවරණයක පීඩනය ඉදිරියේ ආර්ථික ප්‍රතිපත්ති නැවතත් සංශෝධනය විය හැකිය. අනාගතයේ දී බලයට පත්වන ආණ්ඩු හා දේශපාලනඥයන් වෙනස් මත දරන්නටද ඉඩ තිබේ. දහසය වතාවක් මෙයට කලින් මූල්‍ය අරමුදලේ සංචිත ලබාගෙන ඒවා අවසානයක් කරා ගෙන යන්නට අසමත් වූ රටක් වශයෙන් මෙම දෙවැනි නිරීක්ෂණයෙන් පසු උද්ගත විය හැකි තත්ත්වය දැන් සිට සාකච්ඡා කිරීම සුදුසුය. මාස හතළිස් අටක කාලසීමාවෙන් ගත වූ කාලය කුඩා කොටසකි. ඉතිරිය සැලකිය යුතු ගමනකි. ආර්ථිකයෙහි වෙනස්කම් සහිතව අලුත් ගමනකට සූදානම අවධානයට ගත යුතු අංශයකි. 

I සාරා කන්දෙගොඩ