සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ලබන්නට තව ඇත්තේ දින කිහිපයක් පමණි. මේ දිනවල බොහෝ නගරවල ජනප්‍රිය, ඉහළ පෙළේ, ඇඳුම් වෙළෙඳසල් පමණක් නොව සාමාන්‍ය ඇඳුම් වෙළෙඳසල්ද ජනතාවගෙන් පිරී ඉතිරී ගොස් හමාරය. ඇඳුම් පැළඳුම්වලට ඉතා ජනප්‍රිය මහරගම නගරයද මේ දිනවල ඉතා කාර්යබහුල වී ඇත. "නොනිදන නගරයක්" ලෙසින් මේ දිනවල පමුණුව හැඳින්විය හැකිය.
පමුණුවෙහි රෙදිපිළි විකුණන වෙළෙඳුන් කොටස් දෙකකට බෙදේ. එක් කොටසක් අලුයම් කාලයේදීත් තවත් පිරිසක් උදෑසන කාලයේදීත් තම වෙළෙඳාමේ නිරත වෙති. අලුයම් කාලය සඳහා පමුණුව වෙන්වන්නේ අලුයම දෙකේ සිට උදෑසන අට දක්වා පිරිසටය. උදෑසන අටේ සිට රාත්‍රී කාලය දක්වා අනෙක් පිරිස තම වෙළෙඳාමේ නිරත වෙති. නමුත් මෙවර අලුයම කාලය වෙන්වනු ලබන්නේ රූ දොළහේ සිටය. ඔවුහු දොළහේ සිට පසුදා උදෑසන අට දක්වා තම වෙළෙඳාමේ නිරත වෙති.
“අලුත් අවුරුදු කාලය නිසා මේ දිනවල අලුයම් කාලයේදීත් ඇඳුම් විකුණන වෙළෙඳුන් රෑ දොළහෙ ඉඳන් ඇඳුම් විකුණනවා. මේ පාර වෙළෙඳාමේ ඒ තරම් වාසියක් නැහැ. ඉස්සර නම් ගොඩක් අය අලුයම් කාලෙට පමුණුවට ආවේ තොග වෙළෙඳාමට ඇඳුම් ගෙනියන්නයි. නමුත් මේ පාර ගොඩක් අය තොග වෙළෙඳාමට වඩා ඇඳුම් කෑලි එක දෙක අරගෙන යන්න උදේ පාන්දරත් පමුණුවට එනවා. පමුණුවේ ඇඳුම්වල මිල අඩුයි. ඒ නිසා අවුරුද්දට ඇඳුම් තෑගි දෙන මිනිස්සු පමුණුවට එනවා. අලුයම් කාලයට මේ දිනවල මිනිස්සු පමුණුවට එනවා වැඩියි. හැබැයි එයින් තොග වෙළෙඳාම නම් අඩුයි. මේ දිනවල දහවල් කාලයේදී අව්ව වැඩි නිසා සමහරු කිහිප දෙනෙක් කතාබහ කරගෙන වාහනයක් හයර් කරගෙන ඇඳුම් ගන්න මහරගම පමුණුවට එනවා. ඉස්සර වගේ නෙවෙයි, දැන් දුර බැහැර ඉඳන් එන අයට වාහන වියදම් වැඩියි. ඒ නිසා බොහෝ දෙනා පමුණුවට ඇවිත් ඇඳුම් ගෙනියන්න එන්නේ නැහැ. ඉස්සර කතරගම පැත්තෙ ඉඳන් පවා තොග වෙළෙඳුන් පමුණුවට ඇවිත් ඇඳුම් ගෙනිච්චා. නමුත් ඒ වගේ තොග වෙළෙඳුන් මේ පාර පමුණුවට වැඩි වශයෙන් ආවේ නැහැ. යාපනයේ ඉඳන් පමුණුවට ඇවිත් ලොරි පුරවාගෙන ගියා. යාපනයේ ඉඳන් ආපු තොග වෙළෙඳුන් හිටියා. නමුත් මේ පාර එහෙම යාපනේ ඉඳන් පමුණුවට ආපු තොග වෙළෙඳුන් හිටියේ කිහිප දෙනෙක් විතරයි." යැයි පමුණුවේ සළුපිළි වෙළෙඳ සංගමයේ සභාපති කුසුම්සිරි දසනායක මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.
සාමාන්‍යයෙන් අවුරුදු කාලයේදී දුර බැහැර ප්‍රදේශවලින් ආ වෙළෙඳුන් පමුණුවට පැමිණෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දට සති කිහිපයකට උඩදීය. ඔවුන්ගෙන් ඇතැමුන් තම රථවාහනවලින් පමුණුවට පැමිණියද ඇතැමුන් තමන් මිලදී ගනු ලබන ඇඳුම් පැළඳුම් රැගෙන යන්නේ බස් රථවලිනි. එසේත් නොමැති නම් දුම්රියෙනි. එය ඒ තරම් ලෙහෙසි වන්නේ නැත. ඇතැමුන් මෙම ඇඳුම් රැගෙන යන්නේ විශාල පොහොර බෑග්වල දමාගෙනය.
“අපි ආවේ තංගල්ලේ ඉඳන්. අවුරුදු කිහිපයක ඉඳන් අපි පමුණුවට ඇවිත් ඇඳුම් අරගෙන යනවා. තංගල්ලේ අපේ පොඩි ඇඳුම් කඩයක් තියෙනවා. මේ දිනවල බිස්නස් ටිකක් හොඳයි. ඉස්සර නම් අපි මේ පොහොර බෑග්වල ඇඳුම් දාගෙන පිටුකොටුවට ගිහින් එතැනින් තංගල්ලේ දුර යන බස් එකේ දාගෙන ගියා. ඒකට ඒ බස් එකට අපි ගාණක් ගෙව්වා. හැබැයි දැන් හයිවේ එක තියෙන නිසා අපි හයිවේ එකෙන් මේ ටික අරගෙන යනවා. කාලයක් හයිවේ එකේ බස් මේ බඩු පටවා ගත්තේ නෑ. හැබැයි දැන් නම් එයට ගාණක් දෙන නිසා ඒකට කැමතියි. ඒකෙන් කාලයත් ඉතිරි වෙනවා. හැබැයි බස්වලටයි කෑමවලටයි මිලක් වියදම් වන නිසා ඉස්සර තරම් ඇඳුම්වලින් ලොකු ලාභයක් නම් ගන්න අමාරුයි. මොනා කරන්නද? මේ දිනවල මේ අව්ව නිසා අපි ඇඳුම් ලයිට් එළියෙන් තෝරගෙන ගමේ යන්න තමයි හදන්නේ." යැයි තංගල්ලේ සිට පැමිණි පියල් හේරත් මහතා පැවසීය.
අලුයම කාලයේදී පමණක් නොව මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා දිනවලදීද පමුණුවේ වෙළෙඳාම සරුය. ඒ අතරේ දැඩි අව් රශ්මියට මුහුණ දෙමින් මහ හයියෙන් කෑ ගසමින් තම වෙළෙඳාමේ නිරත වන වෙළෙඳුන් අපට දැකගත හැකිය. ඔවුන්ගේ මුහුණ දහඩියට තෙතබරිත වී ඇත. උගුර බැරුන්ඩි වී ඇත. "එන්න... එන්න... සේල්... සේල්... කොහේවත් නෑ... අපෙන් විතරයි.." අයෙක් කෑ ගසයි. "මහත්තයා රට ගියා... එකක් පන්සීයයි..." තවත් අයෙක් කෑ ගසයි. ඔවුහු එලෙස තම ඇඳුම් වෙළෙඳාම් කර ගැනීමට විවිධ දෑ කියමින් කෑ ගසති. "අන්තිම... අන්තිම... කෑලි පහ..” කියමින් තවත් කෙනකු කෑගැසුවද එය අවසාන පහ වන්නේ නැත.
පමුණුවේ බොහෝ ඇඳුම් එක හා සමානය. ඇතැමුන් "පමුණුවේ කොලිටියක් නැහැ..." කියා කීවද බොහෝ පිරිසක් පමුණුවට එන්නේ අඩුවට ඇඳුමක් මිලදී ගැනීමටය.
“පසුගිය අවුරුද්ද පුරාවටම වෙළෙඳාම් තිබුණේ නෑ. ඒ නිසා විදුලි බිල් සේවක වැටුප් ආදී ගැටලු බොහොමයකටම අපි මුහුණ දුන්නා. ඒ නිසා පරණ ඇඳුම් තොගයක් මිනිස්සු අත්හරිනවා. ඒකට හේතුව පරණ විලාසිතා මිනිස්සු ගන්නේ නැහැ. ඒ නිසා ඒ අයින් කරන සමහර තොග මේ පාර අඩුවට දෙනවා. සමහර තොග වෙළෙඳාමේදී ගියපාර හත්සීයට විකුණපු සායවල් මේ පාර පන්සීයට විකුණනවා. ඒ විදිහට බැලුවොත් සමහරු මේ පාර සමහර ඇඳුම් ගාණ අඩුයි කියලා කියන්නෙත් ඒ විදිහටයි.” යැයි දසනායක මහතා වැඩිදුරටත් පැවසීය.
පමුණුවේ වෙළෙඳාම් කරන ඇඳුම් බොහොමයක් නිෂ්පාදනය කරනු ලබන්නේ කුඩා ඇඟලුම් කර්මාන්ත ශාලාවලය. මේ ඇතැම් ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඇඳුමේ මූලික පතරොම කපා ඒ අවට සිටින ඇඳුම් මසන්නන් කිහිප දෙනකුට ලබා දී මසාගනු ලබන ඒවාය. ඔවුන්ට මුදල් ලැබෙන්නේ කෑලි ක්‍රමයටය. මසා අවසන් කරන ඇඳුම් ප්‍රමාණයට අනුව මුදල් හිමිවෙයි. ඒ අනුව අවුරුදු කාලය ළංවීමත් සමඟම ඒ හරහා රුකීරක්ෂා හිමිවන පිරිසද වැඩිය.
මේ දිනවලද දහවල් පමුණුවට පතිත වන දැඩි අව් රශ්මිය නොතකා බොහෝ පිරිසක් ඇඳුම් තෝරති. නමුත් ඔවුන් තෝරන අන්දමටම ඇඳුම් මිලදී ගන්නේද නැත. කුඩා අතදරුවන් කරපින්නාගෙන ඇඳුම් තෝරන අයද මේ අතර වෙති. එය කුඩා දරුවන්ට වදයකි. නමුත් කරන්නට දෙයක් නැත. අඩු මුදලකට ඇඳුමක් මිලදී ගන්නට හොඳම තැන වන පමුණුවට එන විට දරුවන් නතර කර පැමිණීමට ක්‍රමයක්ද නැත. ඒ නිසා දෙමව්පියෝ දරුවන් කරපින්නාගෙන මේ පීඩනයට මුහුණ දෙති.
ඇඳුම් තෝරන්නන් පමණක් නොව අතපා ජීවත්වෙන යාචකයන්ද අනුන්ගේ දෑ උදුරා දුවන සොරුන්ද පමුණුවේ අඩුවක් නැත. ඒ නිසාම එවැනි සොර සතුරන්ගෙන් ප්‍රවේශම් වන්නට යැයි නිතර නිවේදනය කළද තෙරපෙමින් ඇඳුම් තෝරද්දී ඒ කිසිවක් ඇතැමුන්ට මතක නැත.
මේ තැඹිලි වෙළෙඳුන්, සරුවත් වෙළෙඳුන්, අයිස්ක්‍රීම් වෙළෙඳුන් පමණක් නොව දොඩම් වෙළෙඳුන්ටද වාසිදායක දින කිහිපයකි. ඔවුන් තැන තැන සරුවත් සාදා දෙමින්, දොඩම් බීම විකුණමින් ජනතාවගේ පිපාසය සංසිඳවුවද ඒවා බීමට පෙර ඒවායේ පිරිසිදුභාවය සහ ගුණාත්මකභාවය ගැන දෙවරක් සිතා බැලිය යුතුමය.
“පමුණුවේ ලාභයි කියලා කිව්වම අපිත් ගෙදර අයත් එක්ක ආවා. ලාභ නම් තමයි. හැබැයි ඒ ඇඳුම් කොලිටි මදි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා වැඩිය ඇඳුම් ගත්තේ නම් නෑ. හැබැයි හොඳයි. අවශ්‍ය ප්‍රමාණයට නොගත්තට ආව එකට හරියන්නත් එක්ක ඇඳුම් ටිකක් ගත්තා." යැයි මොරටුවේ සිට පැමිණි මංගලිකා මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසුවාය.
I දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ