දිවයින පුරා ධීවර වරායවල් කෙමෙන් පිරී යමින් ඇත්තේ මුහුදු ගමන අතහැර දමා නැංගුරම්ලූ බහුදින ධීවර යාත්‍රාවලිනි. තවදුරටත් බලධාරීන් සංවේදී නොවන නමුත් මෙය ශ්‍රී ලංකා ධීවර කර්මාන්තයේ හරි අඩකටත් වඩා දරා සිටින බහුදින ධීවර යාත්‍රාවේ මළඟම විය හැකිය. අපි බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමය පෙරටුකොට, ධීවරයන්ද සම්බන්ධ කරගනිමින් මෙම අර්බුදයේ නිරස යථාර්ථය සොයා ගියෙමු.
“ඉන්ධන මිල වැඩිවීමත් එක්ක, මේ වෙනකොට සියයට 40 කට වඩා වැඩි බෝට්ටු ප්‍රමාණයක් ගැටගහලා තියෙන්නෙ. හැම වරායකම බෝට්ටු ගැටගහලා තියෙන්නෙ. පාඩු වෙන්න පාඩු වෙන්න මුහුදු යවාගන්න බැහැ. අන්තිමට ණය වෙලා බෝට්ටු ගැටගහන්න බහුදින ධීවර යාත්‍රා හිමියන්ට සිද්ධ වෙනවා."
අප සමඟ මෙලෙස අදහස් දැක්වූයේ බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතාය. ඔහු පවසන ආකාරයට ඉන්ධන මිල ඉහළ යෑම, මත්ස්‍ය අස්වනු සඳහා නිශ්චිත මිලක් නොවීම, ඩොලරයේ අස්ථාවරත්වය හේතුවෙන් මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන ගැටලු, ධීවර ආම්පන්න මිල අධික ලෙස ඉහළ යෑම, අලුත්වැඩියා සඳහා වන අධික වියදම් මෙන්ම ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම මෙම අර්බුදයට හේතු වී තිබේ.
“එක් වරකට බෝට්ටුවක් පිටත් කරන්න ඉස්සර අපි දැරුවේ ලක්ෂ විස්සත් තිහත් අතර ප්‍රමාණයක වියදමක්. දැන් ඒ සඳහා ලක්ෂ පනහයි අසූවයි අතර වියදමක් යනවා. ඉස්සර බෝට්ටුවක් පාඩුවකට ආවොත් ලක්ෂ දෙකක් තුනක්, උපරිම පහක් වගේ තමා ඒ පාඩුව වුණේ. එතකොට අපි ඒ පාඩුව දරාගෙන බෝට්ටු හිමියන් නැවත යවනවා. ඒත් දැන් ලොස්ට් එකක් ගියොත් ඒක රුපියල් ලක්ෂ විස්සත් තිහත් අතර වගේ වෙනවා."
බහුදින ධීවර යාත්‍රා සෑම ගමනකදීම ඒකාකාරීව ලාබ නොලබයි. ඉඳහිට පාඩු විඳගැනීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. අතීතයේදී ආදායම් කළමනාකරණය කරගෙන ධීවරයන් මෙන්ම බෝට්ටු හිමියෝද මෙම කර්මාන්තයේ නිරත වූහ. එහෙත් වර්තමාන තත්ත්වය ඊට ඉඳුරා වෙනස් වී තිබේ. මේ වන විට බේරුවල ධීවර වරායේ ගැටගසා දමා ඇති බහුදින ධීවර යාත්‍රාවක ස්කීපර්වරයකු (කපිතාන්) අප සමඟ කීවේ මෙවන් කතාවකි.
“සමහර ගමන්වල මාළු මදි. ඒක අපේ වැරුද්දක් නෙවෙයි. බෝට්ටු ලොස්ට් වුණාම මුහුදු යන අපි හැමෝම අමාරුවේ. මේ රස්සාව හැමෝටම කරන්න බෑ. මුහුද එක්ක සෑහෙන්න ඔට්ටු වෙන්න ඕනෑ. වතාවක් දෙකක් එහෙන් මෙහෙන් ලොස්ට් එක කකා අපි දිව්වා. අන්තිම පාර අයිතිකාරයා බෝට්ටු යැව්වේ ණය වෙලා. අපි මාළු ගෙනාවා. ඒත් ඒ දවස්වල මිල බැහැලා තිබුණෙ. කරන්න දෙයක් නැහැ. දැන් බෝට්ටු ගැටගහලා තියෙන්නෙ."
මේ වන විට බොහෝ බහුදින ධීවරයන් සහ ස්කීපර්වරු වෙනත් රැකියා වෙත යොමුවෙමින් සිටිති. රුවන් ප්‍රනාන්දු මහතා එම තත්ත්වය පැහැදිලි කරන්නේ මේ අයුරිනි
“ගොඩක් පරණ මිනිස්සු රස්සාව අතහැරලා ගිහිල්ලා තියෙනවා. සමහර තරුණයෝ රට ගියා. මේ බෝට්ටු දුවන්න ගත්තත් හරි මිනිස්සු හොයා ගන්න අමාරු වෙයි."
බෝට්ටු හිමියන් මුහුණදෙන ණය අර්බුදද සුළු කොට තැකිය නොහැක. මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේ තවමත් කර්මාන්තයේ නිරත වන බෝට්ටු හිමියෙකි.
“මේ රෝලක් එක්ක කරගෙන යන කර්මාන්තයක්. සමහරු බෝට්ටු ගන්නෙම ලොකු ණයක් අරගෙන. ඒත් දැන් ධීවරයන්ට සියයට අට වගේ දුන්න ණයවල පොලිය සියයට විසි ගණන් දක්වා අරගෙන ගිහිල්ලා තියෙනවා. මේ එක්ක ලෝන් ගෙවාගෙන යන්න බැරිවෙන කොට වාරික ප්‍රමාණ වැඩි කරලා සහන දෙනවා කියලා බැංකු ධීවරයන්ව රවට්ටලා තියෙනවා. කොහොමත් මාස් පතා නිසි විදිහට වාරික ගෙවන්න මේ කර්මාන්ත ඇතුළේ අමාරුයි. මේ දවස්වල වෙන පාඩුවල විදියට ලෝන් ඇරියස් වෙන එක නවත්වන්න බැහැ."
බැංකුවලින් ලබාදුන් සහන පාරා වළල්ලක් වී, මහ බැංකුව කී කිසිදු සහනයක් නොලැබුණු බහුදින ධීවර යාත්‍රා හිමියන් සැලකිය යුතු පිරිසක් මෙලෙස පීඩාවට පත්ව සිටිති. අනෙක් අතින් අයිස්, එළවළු, කෑම බිල් සඳහා තමන් ණය වී සිටින බව බහුදින යාත්‍රා ධීවරයෝ කියා සිටිති. යාත්‍රාවල සැපයුම් සඳහා වන මෙම ණය කන්දත්, බැංකු ණයත් කර්මාන්තයේ කඩා වැටීමට හේතුවක් වී ඇති බව තවදුරටත් පැහැදිලි කළ යුතු නොවේ.
මේ අතර ධීවර ආම්පන්න මිල ඉකුත් වසර තුනක හතරක කාලය තුළ සියයට දෙසීයත් හාරසීයත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
“රුපියල් තිස් හතළිස් දාහට තිබුණු දැලක් දැන් ලක්ෂ එකයි විස්සකට කිට්ටු වෙනවා. නයිලෝන් තංගුස් හැමදේම දෙතුන් ගුණයකින් ගණන් ගිහිල්ලා. කිසිම අලුත් ආම්පන්නයක් බෝට්ටුවකට දාන්න විදිහක් නෑ. ඉස්සර රුපියල් හත් අට දාහට කරපු පොඩි රෙපෙයාර් එකක් කරගන්නත් දැන් රුපියල් තිස් හතළිස් දාහක් ඕනෑ. ලක්ෂ තිහ හතළිහකට තිබුණු බෝට්ටු ඇන්ජිමක් දැන් කෝටි එකහමාරක් විතර වෙනවා. දැන් තියෙන බෝට්ටු කරගෙන යන්නත් බෑ. අලුතින් බෝට්ටු ගන්නත් බෑ."
බහුදින ධීවර යාත්‍රා හිමියන් පවසන්නේ වසර කිහිපයකට ඉහතදී රුපියල් එකසිය පනහක් පමණ වූ අයිස් කැටයක් පවා දැන් රුපියල් හයසීයකට ආසන්න වන බවකි.
මෙවන් වටපිටාවක් තුළ ඩීසල් මිල අරභයාද ආණ්ඩුව ගත් තීරණය තකතිරු තීරණයක් බව බහුදින ධීවරයෝ කියා සිටිති. පසුගිය වසර කිහිපය තුළ ඩීසල් මිල අධික ලෙස ඉහළ යාම ඉහත සියලු ගැටලුවලට වඩා බරපතළ තත්ත්වයක් බව ඔවුන්ගේ ප්‍රකාශ හරහා පෙනී යයි.
“ඉන්ධන පැත්තෙන් අපිට සහනයක් ලැබෙන මොකක් හරි වැඩපිළිවෙළක් හැදෙන්න ඕනෑ. ජනාධිපතිතුමාගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා. ඒක ලැබුණේ නෑ. හැමදාමත් ඇමැතිතුමාට කියනවා. ඒක හරියට බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ වැඩක්. අපිට තේරෙන්නෙ ධීවර කර්මාන්තය අතහැරලා දාපු කර්මාන්තයක් කියලා."
බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා අවසාන වශයෙන් පෙන්වා දෙන්නේ, වසරකට අපනයන ආදායම ඩොලර් මිලියන 300ක් පමණ රටට ගෙනා මෙම කර්මාන්තය වළපල්ලට යමින් ඇති බවයි. සැබැවින්ම දැන්වත් බලධාරීන්ගේ ඇස් විවර විය යුතුය.
I චමිඳු නිසල් ද සිල්වා