2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතිකය හැසිරී ඇති ආකාරය ජාත්‍යන්තර අවධානයට පත්ව ඇත. බ්ලූම්බර්ග් දර්ශකය උපුටා දක්වන ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය සතියේ නිවේදනය කළ පරිදි ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව එය සියයට හතකින් ශක්තිමත් වී තිබේ. ආර්ථික අර්බුදයකට පත්ව තිබුණු රට තුළ විනිමය සංචිත හිඟයක් බලපෑ අතර රටට අවශ්‍ය ආනයන සඳහා මුදල් උපයාගත නොහැකි විය. විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන ලද විනිමය සීමා වූ අතර සංචාරක ඉපැයීම් බිංදුවට වැටිණ. සංචිත පිරිහීමේ ප්‍රතිඵලයක් වශයෙන් රුපියලේ අගය දිනපතා පිරිහීමකට පත්වූ බව පසුගිය කාලයේ වාර්තා වූ බව මතක් කළ යුතුය.
කෙසේ නමුත් විදේශ විනිමය සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන පහකට ආසන්න ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තිබේ. රුපියලේ අගය ශක්තිමත් වීම එහි ප්‍රතිඵලයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. පසුගිය මාස හතරක පමණ කාලය තුළ රුපියලේ අගය සියයට හතකින් ශක්තිමත් වීමට එය බලපා ඇත. මෙම ස්වභාවය හොඳ ආර්ථිකයක් කරා ගමන් කරන විලාසයක ලක්ෂණ දක්වයි. කෙසේ නමුත් ආර්ථිකය ස්ථාවර කරන ලද ශ්‍රී ලංකාව වර්ධනයක් කරා ගමන් කරවන තීන්දු ගැනීම අවශ්‍ය බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන තවත් කරුණකි.
► පහළටම වැටුණු රුපියල නැවතත් පැමිණ ඇති තැන
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අවුරුද්දකට හමාරකට කලින් වාර්තා කළ පරිදි ශ්‍රී ලංකාවේ රුපියල ලෝකයේ වඩාත්ම පිරිහීමට පත් මුදල විය. මෙම වසරේ ජනවාරි වන විට ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් හාරසියයකට ළඟා විය හැකි බව අනතුරු අඟවා තිබුණි. කෙසේ නමුත් විද්වතුන්ගේ අදහස් සෑම ආකාරයකින්ම සාර්ථක වෙන්නේ නැත. බොරතෙල් බැරලයක මිල අධික ලෙස ඉහළ ගොස් ඩොලර් දෙසියක සීමාව ඉක්මවිය හැකි බවට ප්‍රකාශ වී තිබුණු නමුත් දැන් තත්ත්වය එය නොවේ. ඇතැම් රටවල ආර්ථිකය දරුණු පිරිහීමකට පත්විය හැකි බව කියැවුණු නමුත් එය එසේ සිදුවූයේ නැත. බ්‍රසීලය, දකුණු කොරියාව, වියට්නාමය වැනි රටවල් විශාල විනාශයක බව ප්‍රකාශ වී තිබුණු නමුත් අද එම රටවල් වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් අතර ඉදිරියෙන්ම පසුවේ. ශ්‍රී ලංකාවේ රුපියල සම්බන්ධයෙන්ද තිබුණු නරක අදහස් ඉවත් වී නැවතත් ශක්තිමත් වී ඇත.
රුපියල ශක්තිමත් වීම තුළ නොයෙක් පැති පවතී. මහජන චීන සමූහාණ්ඩුව ගනුදෙනු කළ නොහැකි එහෙත් සංචිතයක් වශයෙන් තබාගත හැකි ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදලක් රටට ලබා දී තිබේ. ඉන්දීය රජය කිසිදු කොන්දේසියකින් තොරව ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට වැඩි ආධාර ප්‍රමාණයක් පිරිනැමීය. ඉන්ධන මිල දී ගැනීම, ආහාර හා බෙහෙත් මිල දී ගැනීම සඳහා එය ඉතාමත් ප්‍රයෝජනවත් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආර්ථිකය හසුරුවන ක්‍රියාමාර්ග සමඟ වසර හතරකින් අවසන් වන ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ක ආධාර මුදලක් සපයා තිබේ. මෙම සියලු වත්කම් රටට වහාම ලැබුණු අතර ඒවා මෙරට වත්කම් වශයෙන් මහ බැංකුව පෙන්වයි.
සංචිත තරවන අතර වසර දෙකක් තිස්සේ විදේශ සංවර්ධන බැඳුම්කර හා ඒවායේ පොලිය ගෙවීම ශ්‍රී ලංකාව නතර කර ඇත. ආපසු ගෙවන ක්‍රමවේදයක් ගැන අවසන් තීරණයක් ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙම පසුබිම සලකන විට රටට ආශිර්වාදයක් ලැබී තිබේ. මෙයට සමාන්තරව මෙරටට ලැබෙන විදේශ ශ්‍රමික ආදායම හා සංචාරක විනිමයද ක්‍රමානුකූලව වර්ධනය වීම පසුබිම තවත් පැහැපත් කර ඇත.
► වාසිය අහිමි දුප්පත් ජනතාවගේ ඉරණම
සියයට හතකින් විනිමය අනුපාතිකය ශක්තිමත් වූ පසු එහි ආර්ථික වාසිය සමාජයට ලැබෙන්නට අවශ්‍යය. ආනයනික භාණ්ඩවලට මිල අඩුවීමක් සිදුවන අතර එය වෙළෙඳපොළට නිකුත් කරන්නට අවශ්‍යය. බොරතෙල් ආනයනයේදී කලින් ලබාගත් ඩොලර් මිලට වඩා සියයට හතක් ඩොලර් සඳහා ගෙවිය යුතු රුපියල අඩුවන විට රට තුළ අලෙවි කරන තෙල් මිල අඩු කළ හැක. සුපිරි ඩීසල්, සුපිරි පෙට්‍රල් හා භූමිතෙල් මිල අඩු කිරීම සාමාන්‍ය ජනතාවට දැනෙන්නේ නැත. ඩොලර්වලින් ලැබෙන වාසිය ඛනිජ තෙල් සංස්ථාව හෝ ආණ්ඩුව රඳවාගෙන සිටින අතර එහි අභ්‍යන්තරය නොසලකා සිටීමට තරම් විපක්ෂ දේශපාලන කණ්ඩායම්ද උපායශීලී බව පෙනේ.
මෙරටට ගෙන්වන දැවි තෙල්, ගෑස්, ගල්අඟුරු ආදී බලශක්තිය ගැන සලකා බැලූ පසු විදුලිය බිලටද වාසියක් ලැබේ. ආනයනික පරිප්පු, සීනි, ලොකු ලූනු, සුදු ලූනු හෝ කොත්තමල්ලිවල මිල අඩු නොවෙන හේතුව කුමක්ද? ලොකු ලූනු මිල වැඩිවීම ගැන කතා කරන පිරිස සුදු ලූනු මිල දෙගුණයකින් වැඩිවීම ගැන නිහඬය. රටට ආනයනය කරන බිත්තරයක මිල සියයට හතකින් අඩු කළ හැකි බව ඉතාම පැහැදිලි කරුණකි. තිරිඟු පිටි මිල අඩු කළහොත් පාන් හා බේකරි නිෂ්පාදන මිල පහත වැටේ.
පාරිභෝගික අධිකාරිය මෙම සූක්ෂම පැති ගැන අවධානය යොමු නොකිරීම ගැටලුවකි. අධික ජීවන වියදමකින් පෙළෙන දුප්පත් ජනතාවට ශත කිහිපයකින් හෝ ලැබෙන වාසිය මහත්ය. අලුත් වාර්තා අනුව දුප්පත් ජන කොටස සියයට විසි හතරක් දක්වා ඉහළ ගොස් තිබේ. ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට දැනෙන වියදම ඩොලර් අනුපාත අනුව සියයට ගණනකින් අඩු කළ හැකිව තිබියදී නොසලකා හැරීම වරදකි.
► අපනයනවලට අත්වන ඉරණම
විනිමය අනුපාතිකය සලකා බලා රුපියල ශක්තිමත් වීම ගැන ප්‍රබෝධවත් වන නමුත් එහි ප්‍රතිඵලයක් වශයෙන් සංචාරක ව්‍යාපාරයට එල්ල වන පීඩනය නොසලකා හරින්නේ ඇයි? රටට වැඩිම විනිමය ප්‍රමාණයක් සපයන රටවිරුවන්ට සිදුවන අවාසියද තක්සේරු කළ යුතු වේ. විශේෂයෙන් අපනයන වෙළෙඳාමේදී මුහුණ දෙන අභියෝග සැලකිය යුතු කරුණකි.
රටට එන සංචාරකයන් විනිමය මාරු කිරීමේදී සියයට හතක අවාසියක් සිදුවේ. අවුරුද්දකට කලින් ඩොලර් එකකට රු. තුන්සිය හැටකට වැඩි මුදලක් ලැබුණු නමුත් දැන් එය රුපියල් තුන්සියයකි. මෙම ස්වභාවය හා සමාන තත්ත්වයක් රටට විනිමය එවන විදේශගත ශ්‍රමිකයන්ටද අත්පත් වී ඇත. ගෙවුණු සතියේ අවුරුදු වෙනුවෙන් දරුපවුල්වලට ඩොලර් එවන ලද විදේශගත පිරිස් එයින් සැලකිය යුතු අවාසියක් විඳින ලද බව මෙහිදී සඳහන් කිරීම වටී. රුපියල ශක්තිමත් වීම ගැන සතුටින් සිටින පිරිස එහි අනෙක් පැත්ත ගැන අවධානය යොමු කරන්නේ නැත.
ශ්‍රී ලංකාව අපනයනය කරන තේ, ඇඟලුම්, කුළුබඩු හා තොරතුරු තාක්ෂණ අංශයට සැලකිය යුතු පීඩාවක් ඇතිවේ. ඒකකයක මිල අඩු තත්ත්වයක් විනිමය සමඟ තිබුණු නමුත් රුපියල ශක්තිමත් වීම සමඟ ඒකකයකට වැඩිපුර ඩොලර් ගෙවන්නට විදේශ ගැනුම්කරුවන්ට සිදුවේ. මෙම භාණ්ඩ වෙනත් රටකින් අඩු මිලට ලබාගත හැකි බව වටහා ගන්නා අවස්ථාවේදී මෙරට අපනයනවලට ඉල්ලුම අඩුවිය හැකිය. එය ආර්ථිකය කළඹන සැලකිය යුතු අවදානමකි.
► තුලිතව තබාගැනීමේ වගකීම අමතක කිරීම
ශ්‍රී ලංකා මහ බැංකුවට මෙහිදී පැවරෙන වගකීම සුළු පටු නොවේ. දැනට ශක්තිමත් වී ඇති රුපියලේ අගය හේතු කොටගෙන දේශීය ආර්ථිකයට වාසි ලැබෙන විනිවිද පෙනෙන ක්‍රමවේද ඇති කළ යුතු අතර ඉදිරියේදී වේගයෙන් අවප්‍රමාණය වුවහොත් අනුගමනය කරන පිළිවෙළද කල් තබා තීරණය කොට තැබීම සුදුසුය. ඉදිරියේදී සංචාරක කටයුතු සීමා විය හැක. විදේශගත රුකියා කරන පිරිස් රටට එවන මුදල් අඩු කරන්නට ඉඩ තිබේ. අපනයන අංශයේ තරගකාරීත්වයක් තුළින් බාධා ඇති වුවහොත් අවහිරයකි. ආයෝජන අංශය මෙහිදී ඉතාමත් සැලකිල්ලට ගත යුතු අංශයකි. ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමෙන් පසු මාස කිහිපයකට කලින් ගණන් බලන ලද ආකාරයේ රුපියල් ප්‍රමාණයක් ලබාගත නොහැකි වුවහොත් ව්‍යාපෘතිවල ඇස්තමේන්තු වෙනස් කරන්නට සිදුවේ. ඩොලර් මිලියන පන්සියයක සැලසුම් කළ ව්‍යාපෘතියකට සියයට හතක අවාසියක් යනු අලුතින් ප්‍රාග්ධනය සොයා ගන්නට සිදුවන සාධකයකි.
ශ්‍රී ලංකා මහ බැංකුවට විනිමය අනුපාතිකය සාධාරණ මට්ටමක පවත්වා ගැනීමට වගකීමක් තිබේ. අලුත් පනත අනුව මහ බැංකුවට පුළුල් බලතල ඇත. ස්වාධීනව කටයුතු කළ හැකි වේ. අඩුම තරමින් මුදල් අමාත්‍යංශයේ නියෝජනයක් හෝ දැනට පත් කර ඇති මූල්‍ය මණ්ඩලයට නැත. රුපියලේ අගය ස්ථාවරව තබාගන්නට අනුගමනය කරන උපාය මෙහිදී පැහැදිලි කරගත යුතු වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් රටට හා සමාජයට සිදුවන වාසි හා අවාසි දෙපැත්තට ගණන් බලා යුක්ති සහගත තීරණ ගත යුතු වේ.
ලෝකයේ ඇතැම් රටවල් හා සමාන විනිමය උපයන අංශ විශාල ප්‍රමාණයක් රටට නැත. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ, අපනයන ආදායම, සංචාරක ව්‍යාපාරය, විදේශ ණය හා ප්‍රදාන එයින් සමහරකි. පසුගිය වසරේදී තොරතුරු තාක්ෂණ අශයෙන් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා වැඩි විය. රුපියල ශක්තිමත් වීම ඉදිරියේ එයද අවදානමකට ලක්විය හැකිය. විනිමය උපයන අංශ පුළුල් කරන අතර දැනට පවතින විනිමය ප්‍රමාණය ඉක්මවා රටට ලැබෙන අලුත් ක්‍රමවේද යෝජනා කළහොත් වැඩදායක වේ.
දැනට කටයුතු සිදුවන ආකාරය අනුව ආණ්ඩුවේ විනිමය මිල තීරණය අනුව විශ්වාසය තබන්නට වෙළෙඳපොළට සිදුවේ. එය කෘත්‍රිම අගයක් බව ඇතැම් විශේෂඥයෝ පෙන්වා දෙති. රටට අවශ්‍ය විනිමය ප්‍රමාණය ණය හා වෙනත් සාධක මත සපයාගෙන තිබේ. ඉදිරියේදී විදේශ ණය ගෙවන්නට සිදුවුවහොත් මෙම විනිමය ප්‍රමාණවත් නැත. එහිදී විදේශ විනිමය ඉල්ලුම ඉහළ යා හැකි අතර දැනට බ්ලූම්බර්ග් දක්වන විශාල වාසියට අත්පත් වන ඉරණම ගැන කල් තබා කල්පනා කළ යුතුය.
I සාරා කන්දෙගොඩ