මේ වනවිට සිංහල අවුරුදු උත්සවය නිමාවට පත්ව ඇත. සියලු දෙනාම පාහේ තමන්ට ඇති හැකි අයුරු අවුරුදු කන්නට ඇත. ආහාරපාන, ඇඳුම් පැළඳුම්, විනෝද වීම්, ගමන් බිමන් ආදී සෑම දෙයටම අත දිගහැර වියදම් කළ බව සිතාගත හැකිය. ''සිංහල අලුත් අවුරුද්ද එන්නේ අවුරුද්දටම එක පාරයි. ඒ හින්දා ලෝස් නැතුව ජොලි කරන්න ඕනෑ'' යනුවෙන් බොහෝ දෙනා සිතන්නට ඇත. ඒ නිසා ඕනෑ දේටත්, එපා දේටත් වැය කරන්න ඇත්තේ හෙටක් ගැන යම්තම් හෝ නොසිතමිනි.
සිංහල අලුත් අවුරුදු උත්සවයේදී වියදම් කිරීම සඳහා ජනතාවට කෙසේ හෝ අවශ්‍ය මුදල් හදල් ලැබේ. වෙනදා මාසයේ 25 වැනිදාට ගෙවන වැටුප මෙවර අප්‍රේල් මස 10 වැනිදාට ලැබුණි. ඒ ඊට පෙර මාසේ වැටුප ලැබී දින දාහතරකටත් පසුවය. විශේෂත්වයක් වන්නේ රජයේ සේවකයන් සඳහා වැඩි කළ රුපියල් 10,000 දීමනාවද අප්‍රේල් 10දා ලැබීමය. උත්සව අත්තිකාරම් බෝනස් සහ නිවාඩු දින වැටුප් ආදියද වැටුප සමඟ ලැබීම නිසා වෙනදාට වඩා ලොකු මුදලක් අතට ලැබුණි. ඒ නිසා ඕනෑ දේටත් එපා දේටත් දෙවරක් නොසිතා වියදම් කිරීමට ඔවුන්ට හැකි විය. පෞද්ගලික අංශයේ සේවකයන්ට මෙන්ම ස්වයංරුකියාවල නියුතු වූවන්ටද වෙනදාට වඩා වැඩි මුදලක් ලැබුණි. ඇතැම්හු බැංකු පොත්වල දමා තිබූ මුදල්ද උත්සව අවස්ථාවේදී ආපසු ලබාගැනීමට පෙළඹුණහ. බැංකු කවුන්ටර් අසල දිගු පෝලිම් ඇතිවූයේ මේ නිසාය. ''මේ පාර නම් හොඳට අවුරුදු කන්න ඕනෑ. ගිය අවුරුදුවල හරියට අවුරුදු කන්න බැරි වුණා.'' ඔවුන්ගේ කතාව සහතික ඇත්තය. පසුගිය අවුරුදු දෙක තුනේ විවිධ හේතු නිසා ලෙව කෑවා මිස හරි හැටි අවුරුදු කන්න ලැබුණේ නැත.
ජනතාව අතට වැඩිපුර මුදල් ලැබුණු විට ඔවුන්ගේ ක්‍රය ශක්තිය හෙවත් මුදල් වැය කිරීමේ හැකියාව ඉහළ නගී. එවිට ඉල්ලුමද ඉහළට යනවා ඇත. වෙනදා එක ගන්නා අය මෙදා පොටේ දෙක තුනක් මිලට ගනිති. භාණ්ඩ ඉල්ලුම වැඩි වූ විට එයට සමගාමීව නිෂ්පාදනය වැඩි නොවුණහොත් සිදුවන්නේ මිල ඉහළ නැගීමකි. ඇතැම් කූඨ ව්‍යාපාරිකයෝ මිල ඉහළ නැංවීම සඳහා භාණ්ඩවල කෘත්‍රිම හිඟයක් නිර්මාණය කරති. මෙය කළ හැකි වන්නේ භාණ්ඩ වෙළෙඳපොළ කරා ගමන් කිරීම අඩාල කිරීමෙනි. වෙළෙඳපොළට එන භාණ්ඩ අතරමගදී නවතා දැමීම හෙවත් 'බ්ලොක්' කරයි. වෙළෙඳපොළට එන නිෂ්පාදන ධාරිතාව සීමා කරයි. භාණ්ඩ සඟවා තැබීමෙන් හෝ වෙළෙඳපොළට එන කාලය පමා කිරීමෙන් මෙය සිදු කෙරේ. ඉල්ලුමේ තරමට සැපයීමට භාණ්ඩ නොමැති වූ විට නිරායාසයෙන්ම මිල ඉහළ නගී. සෑම උත්සව සමයකදීම සිදුවන්නේ මෙයයි. ඒ නිසා කූඨ වෙළෙඳුන්ට කළුකඩ මිලක් නිර්මාණය කර විශාල ලාභයක් ලැබීමට හැකි වේ.
මෙම තත්ත්වය වැළැක්වීමට රජය විවිධ උපක්‍රම යෙදුවද අන්තිමේදී ඒ සියල්ල පරාජය වී වෙළෙන්දා ජය ගනී. වෙළෙඳපොළ පාලනය කිරීම සඳහා ආයතන ව්‍යුහ ගණනාවක් පවතී. එහෙත් ඒවායින් සිදුවන යහපතක් නැත. වෙළෙඳ ඇමැති සහ දේශපාලකයෝ උත්සව සමය ආරම්භ වන විට පම්පෝරි ගසති. බඩු මිල නියම කරති. එයට වඩා වැඩියෙන් අලෙවි කරන්නට නොදෙන බව සහතික වෙති. නීති මගින් ක්‍රියා කරන බව කියති. එහෙත් සිදුවන්නේ පුස්ස බින්දා වැනි දෙයකි.
කොහොමත් පසුගිය කාලයේ භාණ්ඩ මිල තීරණය කිරීමේ බලධරයන් වූයේ ආණ්ඩුව නොව වෙළෙඳුන්ය. නිෂ්පාදකයන්ය. සියල්ල ඔවුන්ට බුක්තියට සවි වී තිබුණි. උත්සව ආරම්භ වීමට පෙර වෙළෙඳ ඇමැති කීවේ උපරිම මිල සීමා කර ඇති බවය. ඒ මිලට අලෙවි කිරීමට වෙළෙඳුන් එකඟ වූ බවද ඇමැතිවරයා උද්දාමයෙන් යුතුව ප්‍රකාශ කළේය. එහෙත් සිදුවූයේ කුමක්ද? උත්සව සමය ළං වන විට අඩුවෙන් දෙන බව පැවසූ බඩු මිල ටිකෙන් ටික ඉහළ යාමය. රුපියල් 1000ට දෙන බව පැවසූ කුකුළු මස් කිලෝව රුපියල් 1500 දක්වා ඉහළ නැග්ගේය. රුපියල් 45ට මිල නියමව තිබූ බිත්තර අලෙවි කළේ රුපියල් 60 – 65 කටය. සහල් මිලද එසේමය. කීරි සම්බා නැත්තටම නැති විය. අනෙක් සහල්වල මිල ටික ටික ඉහළ නැග්ගේය. ලක් සතොස ජනතාවට අත්‍යවශ්‍ය බව කියන ආහාර ද්‍රව්‍යවල මිල සුළු වශයෙන් කිහිප වරක් පහළ දැම්මද එය පාරිභෝගිකයාගේ ඇඟට දැනුණේ නැත. කොතරම් පහළ යැයි කීවද අර්තාපල්, බී ලූනු, පරිප්පු, කරවල ආදියේ මිල විවෘත වෙළෙඳපොළට වඩා වැඩි විය. අනිත් අතට මිල අඩු භාණ්ඩ ලක් සතොස වෙළෙඳසල්වල ඇති තරම් මිලට ගන්න තිබුණේද නැත. අලෙවි කළේ සීමා කරමිනි.
මේ තත්ත්වය මත විවෘත වෙළෙඳපොළේ ඕනෑ සෙල්ලමක් දැමීමට කූඨ වෙළෙඳුන්ට හැකි විය. සහල් මුදලාලිලාද අකාරුණික ලෙස ජනතාව සූරා කෑහ. වැඩි මිලට කරන විකිණීම් නතර කිරීමට පාරිභෝගික සේවා අධිකාරියට හැකිවූයේ නැත. එහි තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මාධ්‍ය මගින් විවිධ ප්‍රකාශ කළද ඒවා ප්‍රායෝගික වූ බවක් නොපනුණි. කූඨ වෙළෙඳුන් සමඟ තනිව සටන් කිරීමට අධිකාරියට නුපුළුවන් විය. බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන පැවසුවේ බිත්තර මිල ඉහළ යාම නිසා මෙවර කේක් නිෂ්පාදනය සියයට 75කින් අඩු වූ බවය.
පසුගිය වසරවලට වඩා මෙවර අලුත් අවුරුද්දට වෙළෙඳපොළවල් පිරී ඉතිරී ගියේ ජනතාව ළඟ මුදල් තිබූ බැවිනි. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් ආදිය සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණි. හෙට ගැන නොසිතූ වැඩි දෙනා අතේ ඇති සියලු මුදල්ම අවුරුද්දට පෙර වියදම් කළහ. අප්‍රේල් 10 දින අතට ලැබුණු මුදල් දවසකින් දෙකකින් වැය කර අවසන් කිරීමට ඔවුහු දක්ෂ වූහ. ඊළඟ වැටුප ලැබෙන තුරු මාසයකුත් දින විස්සක් බලා සිටින්නට සිදුවන බව අමතක කළ වැඩි දෙනා සියලු ආදායම වෙළෙඳුන්ට පූජා කළහ.
වෙළෙන්ඳෝද පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යෙදූහ. හැමතැනම සේල් පොළවල්ය. බඩුවල මිල සඳහන් පුවරු කපා පැහැදිලිව පෙනෙන සේ වෙනත් අඩු මිලක් සඳහන් කර ඇත. පාරිභෝගිකයා ආකර්ෂණය කර ගැනීම සඳහා සංගීතය, විදුලි වර්ණ රටා, මපට් රුඟුම් ආදිය මෙන්ම ශබ්ද විකාශන යන්ත්‍රද යොදාගෙන තිබුණි. බාගෙට බාගෙ මිල අඩු කිරීම, වට්ටම් දීම ආදියද සිදු කෙරේ. වෙළෙඳ විජ්ජාවලට රුවටෙන පාරිභෝගිකයෝ තම සාක්කු ශුද්ධ කර ගනිති. වෙළෙඳපොළේ අතරමං වන්නන්ට මිලට ගත යුත්තේ කුමක්දැයි තීරණය කරගත නොහැකි වෙයි. ආහාර මිලට ගන්නට මාර්කට් එන්නෝ රෙදිපිළිවලින් බෑග් පුරවාගෙන එළියට බසිති. වෙළෙඳපොළ සකස් කර ඇත්තේ පාරිභෝගිකයා රවට්ටවා ඔහු අමාරුවේ දැමීමටය. එයින් ගැලවීමට බොහෝ දෙනාට අපහසුය. වැඩිපුරම අමාරුවේ වැටෙන්නේ කාන්තාවන්ය. ආවේගවලට යටවන වැඩි දෙනා තව මාසයක් එකහමාරක් පිරිමසාගෙන වියදම් කළ යුතු මුදල් දවසට දෙකට හින්දවති. අනතුරුව ඊළඟ මාසයේ වැටුප ලැබෙන තුරු ගැටගසා ගන්නට විශාල උත්සාහයක යෙදීමට සිදුවේ. ඇතැම්විට අතමාරු ගැනීමට පොලියට ගැනීමට හෝ කනකර උගස් තැබීමට සිදුවෙයි. අවුරුදු කාලයේ ඇත්තේ කෘත්‍රිම වෙළෙඳපොළකි. වෙළෙඳ විජ්ජාවලට රුවටී අමාරුවේ වැටිය යුතු නැත. මුදල් පරිහරණය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුත්තේ උත්සව කාලවලදීය.
මේ දිනවල පාරිභෝගිකයා වෙළෙඳසල් කරා එනවා වෙනුවට වෙළෙඳසල් පාරිභෝගිකයා සොයා එනු දක්නට ලැබෙයි. පිටිසර පළාත්වල පවා ගෙවල් ගාණේ ඇවිදින වෙළෙඳ නියෝජිතවරුන් දැකගත හැකිය. එකදු වාරිකයක් හෝ අයකර නොගෙන මාස ගණනකින් ගෙවන්නට ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ලී බඩු, ප්ලාස්ටික් බඩු ආදිය අලෙවි කරයි. එහෙත් මේවාට නිසි පරිදි වාරික ගෙවන්නට අපොහොසත් වූ විට වෙළෙඳ සමාගම්වලින් ඒවා ආපසු පටවාගෙන යන්නේ ගෙවූ මුදල් ගැන හෝ සැලකිල්ලක් නොමැතිවය. මෙහිදී සිදුවන්නේ මුදල් සහ භාණ්ඩ යන දෙකම අහිමි වීමකි.
උත්සව සමයේදී සෙසු අය අනුකරණය කරන්නට ගොස් අමාරුවේ වැටෙන්නෝ බොහෝ වෙති. ඒ නිසා වඩාත් කල්පනාකාරී ලෙස අතට ලැබූ මුදල් පරිහරණය කිරීමට වග බලාගත යුතුය. එසේ නොකළහොත් සිදුවන්නේ අවුරුදු කෑමක් නොව අවුරුද්ද අපව කෑමක් බව සිතාගත යුතුය.
I යසවර්ධන රුද්රිගූ