අප කුඩා දිවයිනේ ගම් නියම්ගම් පුරා මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ පතුරුවාලූ සර්වෝදය ව්‍යාපාරය පිළිබඳ නොදන්නා කෙනකු නොමැති තරම්ය. ඒත් මෙතරම් ජනාදරයට පත්වීමට සර්වෝදය යනු හුදු වෙළෙඳ නාමයක් හෝ දේශපාලන ව්‍යාපෘතියක් නොවේ. එය ශ්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල්ම ව්‍යාප්තියක් සහිත "දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් සමාජයක් ගොඩනැගීම" අරමුණු කොටගත් සහිත රාජ්‍ය නොවන සංවිධානයකි.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ යුග කාරක සුබසාධන ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දිය හැකි සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය ගොඩනැගුවේ ආචාර්ය ඒ.ටී. ආරියරත්න නම් වූ යුග පුරුෂයා විසිනි. මිනිසා වෙනුවෙන් සේවය කිරීමේ උතුම් පරමාර්ථය පෙරදැරි කරගත් මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ සපිරි තවත් උතුම් මිනිසකු වූ ඒ.ටී. ආරියරත්නයන් වසර 93ක සිය දිවිසැරියට ඉකුත් සතියේ සමු දුන්නේය.
මීට වසර කිහිපයකට පෙරාතුව විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටි ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් හමුවීමට දේශයේ අපි වරම් ලැබුවෙමු. එහිදී මේ සුවඳවත් මිනිසා කී කතාවකින්ම ඔහු පිළිබඳ මතක පෙළ අපි මෙලෙස අරඹමු.
“අද සර්වෝදයේ කිසිම දේකට මම සම්බන්ධව නෑ. ඉන්න තැනක් දෙන්න කියලා මම මේ තැන ඉල්ලා ගත්තා. එක අරමුණක් විදිහට පෞද්ගලිකව මගේ ජීවිතයේ පෞරුෂෝධය ඇතිකර ගන්න මම කටයුතු කළා. අද මට හතුරෙක් කියලා කෙනෙක් නෑ. අධ්‍යාත්මික වශයෙන් තමා මේ අරමුණ තිබුණේ. අද මම සතුටු වෙනවා. ලක්ෂ ගණනින් මේ රටේ දුප්පත් ජනතාවට උපකාර කරලා අද මට බිම් අඟලක් නැතුව, මට කියලා සල්ලි නැතුව... මම අද නිර්ධනයෙක්. මගේ පුතෙක් දෙන එකෙන් අපි දෙන්නා ජීවත් වෙනවා. ලොකු සතුටක් තිබෙනවා. මම දුප්පත්කම නැති කරන්න ගිහිල්ලා කෝටිපතියෙක් වුණේ නෑ."
වසර අනූවක දිවිසැරිය කෙළවර, එදා ඒ.ටී. ආරියරත්නයන් අපට මේ කතාව කීවේ මොරටුව රාවතාවත්තේ සර්වෝදය පරිශ්‍රයේ ඔහුගේ කුඩා කාර්යාලයේදීය. මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ මේ සොඳුරු මිනිසාගේ ගුණ අමුතුවෙන් ලියා තැබිය යුතු නැත. ඔහු සැබැවින්ම පරමාදර්ශී චරිතයකි.
අහංගමගේ ටියුඩර් ආරියරත්න හෙවත් ඒ.ටී. ආරියරත්න 1931 වසරේ නොවැම්බර් මස 05 වැනිදා ගාල්ල, උණවටුනේදී උපත ලැබීය. ඔහු මෙලොව හැර යන විට පිරිමි දරුවන් තිදෙනකු සහ ගැහැනු දරුවන් තිදෙනකු ඇතුළු දරුවන් 6 දෙනකුගේ පියකු වූ අතර, මුණුබුරු මිණිබිරියන් 12 දෙනකුගේ මුත්තණුවෙක්ද විය.
ආරියරත්නයන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා තිබුණේ උණවටුන බෝන විස්ටා විද්‍යාලයෙනි. පසුව ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය. ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආරියරත්නයන් 1972 වසර වනතුරු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළේය. ඒ අතරතුර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබාගත් ඔහුට, පසු කලෙක එම විශ්වවිද්‍යාලයෙන්ම සම්මාන ආචාර්ය උපාධියක්ද පිරිනැමිණි.
සර්වෝදය බිහිවීම ඒ.ටී. ආරියත්නයන්ගේ ජීවිතයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ඉතිහාසයේම සලකුණුගත සිදුවීමක් බව කිව මනාය. 1958 වර්ෂයේදී කොළඹ නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යයන් හතළිහක් සහ ගුරුවරුන් දොළහක් සමඟ කුලියාපිටිය, කනකොලුව ගම්මානයේ කළ ශ්‍රමදාන ව්‍යාපාරයකින් ආරම්භ වූ සර්වෝදය පසු කලෙක ලොව සුපතල සුබසාධන ව්‍යාපාරයක් බවට පත්විය.
ආරම්භයේදී කුලයෙන් පහත් යැයි සලකන ලද පවුල් වෙසෙන ගම්මාන වෙත ගොස් මතවාදී වෙනසක් වෙනුවෙන් අධ්‍යාපනික අත්හදා බැලීම් සිදුකිරීම ඒ.ටී. ආරියරත්නයන්ගේ අරමුණ වූ බව කියැවේ. මෙම වැඩසටහන් හරහා ලද සාර්ථකත්වය ක්‍රමයෙන් පුළුල් ව්‍යාපාරයක් බවට සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය පත්වීමට හේතු විය. ස්වේච්ඡා සංවිධාන විෂයෙහි ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම ආදර්ශයක් සපයන සංවිධාන ව්‍යුහයක් බවට සර්වෝදය පත්වූයේ මේ අනුවය.
පසු කලෙක ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂ සහ දේශපාලකයන් විසින් සර්වෝදය සංකල්පය පිටපත් කොට සිය ප්‍රවර්ධන ව්‍යාපෘති සිදු කළ බව කාටත් නොරහසකි. අවසන් වර හමුවූ විට ආරියරත්නයන් ඒ පිළිබඳ අප සමඟ සඳහන් කළේ මෙවන් අදහසකි.
“හැම රජයක්ම නොයෙක් දේ අපෙන් ගත්තා. ගත්තට කමක් නෑ. ඒ ගන්න දේවල් හරියට ඒ පරමාර්ථ ඉෂ්ඨ කරන්න ක්‍රියාත්මක කරන්න ඕනෑ. ආණ්ඩු කතා කරන සංවර්ධනයයි අපි කතා කරන සංවර්ධනයයි අතර පරස්පර බවක් තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ඕනෑ වෘත්තීය වශයෙන් ලේඛකයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් පුහුණු කරන ගමන් ඒ පුද්ගලයා තුළ පෞරුෂයේ උදාවක් ඇති කිරීමට. සර්වෝදයේ පළවෙනි ඉලක්කය පුද්ගල පෞරුෂෝධයක් ඇති කිරීම. එම පෞරුෂයේ උදාවක් ඇතිකර ගත්ත අය බොරු කියන්නේ නෑ. කේලම් කියන්නේ නෑ. පරුෂ වචන කියන්නේ නෑ. එහෙම වුණාම බිහිවෙන්නේ හොඳ පාලකයෝ. හොඳ ලේඛකයෝ. හොඳ වෛද්‍යවරු. නමුත් ආණ්ඩුවල දේශපාලනිකව ඒ කාරණාව ඉලක්ක කර ගන්නේ නෑ."
ආචාර්ය ඒ.ටී. ආරියරත්නයන් වෙත පාලකයන් මෙන්ම විවිධ පුද්ගල කණ්ඩායම් විසින් විවිධාකාර බාධා අභියෝග එල්ල කළ බවද මෙහිලා සඳහන් කළ යුතුය. දේශ දේශාන්තරවලදී පවා ඇගයුමට ලක්වූ ඒ.ටී. ආරියරත්නයන්ගේ ග්‍රාම ස්ව රාජ්‍ය සංකල්පය විටෙක කඩා බිඳ දැමීමට පිරිසක් කටයුතු කළෝය. අදටත් වැඩිහිටි සමාජයේ බොහෝ දෙනා විසින් අගය කරන සර්වෝදය මෙම සංකල්පය ගම් පන්දහසක පමණ පැතිර තිබූ වකවානුවකදී එය කඩා බිඳ දැමීමට අණ පනත් නිකුත් වූයේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ පිරිසක් තුළ උපන් ඊර්ෂ්‍යාවක් හේතුවෙනි.
මෙම විශිෂ්ට සේවා සඳහා ඇගයුම් රුසක් ද ආචාර්ය ඒ.ටී. ආරියරත්න වෙත ලැබී තිබේ. ආරියරත්නයන් ලද දෙස් විදෙස් සම්මාන අතරේ 1969 වසරේදී ප්‍රජා නායකත්වය වෙනුවෙන් ලැබූ රුමෝන් මැග්සේසේ සම්මානය සුවිශේෂීය. ඊට අමතරව 1994 වසරේදී මිනිසෝටා විශ්වවිද්‍යාලයෙන් හ්‍යුබර්ට් එච්. හම්ෆ්‍රි ජාත්‍යන්තර මානුෂීය සම්මානය සහ 1996 වසරේදී ඉන්දීය රජය ඔහුට ගාන්ධි සාම ත්‍යාගය පිරිනැමීමද ආරියරත්නයන් දිවිසැරියේ සලකුණුගත සංධිස්ථාන විය.
ඉහත සම්මානවලට අමතරව සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්නයන් 2005 වසරේදී සුෂිල් කුමාර් ජාත්‍යන්තර සාම සම්මානයෙන්ද, 2007 වසරේදී ශ්‍රී ලංකාවේ පිරිනැමෙන ඉහළම සම්මානයක් වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබීය. ඇතැම් තැනක මෙම සුවිශේෂී චරිතය “ශ්‍රී ලංකාවේ ගාන්ධි" නමැති විරුදාවලියෙන්ද හඳුන්වනු අප දැක තිබේ.
සැබැවින්ම මනුෂ්‍යත්වයේ සහ සාමයේ යහපතේ දූතයකු බඳු වූ මෙම යුග කාරක පුරුෂයා ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඔහු කෙරෙන් අදද හෙටද සැබෑ සමාජ ක්‍රියාකාරීන් හට ගත හැකි ආදර්ශ මෙපමණ යැයි කිව නොහැකිය.
I චමිඳු නිසල් ද සිල්වා