2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

යුක්තියේ නොනවතින මෙහෙයුම් ජාලයට පාතාලය ඇඹරෙයි

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 39

අදට දවස් 127ක් ගතවූ පොලීසියේ යුක්තිය මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මකය. මේ කාලයේදී මත්කුඩු බෙදන ජාවාරමුන් 6500ක් දෙනා නම් වශයෙන් හඳුනා ගැනීමටත් ඒ අතරින් 4500ක් පමණ අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය සමත් වූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කොට තිබේ. තව නොබෝ දිනකින් ඉතිරි ජාවාරමුන් පිරිසද කොටු කර කුඩු ජාවාරමේ සැපයුමත් ඉල්ලුමත් දෙකම අඩාල කිරීම යුක්තියේ සැලසුමයි. ඒ නිසා නොකඩවා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට තවත් නව උපක්‍රම එක් කරමින් පවතී.

පොලිසිය මෙතෙක් භාවිත නොකළ ආකාරයේ විශේෂ යතුරුපැදි බලඇණියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මේ සඳහා සුදුසුකම්ලත් නිලධාරීන් 130කට වැඩි පිරිසක් දැනට පුහුණුව ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. මේ අතර සතියේ තෝරාගත් දිනවලදී මෙහෙයුම තිව්‍ර කිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය වැඩි කිරීම සඳහා දැනට පොලීසියේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය අඩු ඇතැම් අංශවල සම්පත් සමඟ නිලධාරීන් අනුයුක්ත කිරීම සිදු කෙරේ. මේ හරහා රටේ මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ යුක්තිය මෙහෙයුම සාර්ථක කර ගැනීමට අපේක්ෂිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

බස්නාහිර හා දකුණ පළාත් ආශ්‍රිතව ක්‍රියාත්මක පාතාල කණ්ඩායම් හා ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා දැනටමත් යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා ඇත. ඔවුහු කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙහෙයුම් රාජකාරියේ නිරත වෙති. මෙසේ අත්අඩංගුවට ගනු ලබන ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට ඔවුන් සතු දේපළ රාජසන්තක කිරීමට පියවර ගැනෙයි. මේ ආකාරයට ඉදිරි දිනවලදී යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ලෙස සිදු කරනු ඇත.

ගතවූ 2022 සහ 2023 වසරවලදී පාතාල වෙඩි තැබීම් හා ඝාතන ශීඝ්‍රයෙන් වැඩි වූ බව දකින්නට ලැබිණ. මෙය මහජනතාව අතර භීතියට හේතුවක් විය. එවකට බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කළේය. අවසානයේ විෂ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම සඳහා යුක්තිය මෙහෙයුම ආරම්භ කරනු ලැබූවේ පසුගිය 2023 දෙසැම්බර් 17 වැනිදාය. එදා සිට අද දක්වා දිවයින පුරා සමස්ත වැටලීම් 83000කට වැඩි ගණනක් සිදු කර තිබේ. ඒ අතර හෙරොයින් වැටලීම් 29600කට අධිකය. එමෙන්ම අයිස් වැටලීම් 18900කට හා ගංජා වැටලීම් 4200කට අධික ප්‍රමාණයක් සිදුකර තිබේ. මේ අතර විශේෂ කාර්ය බලකාය එක්ව ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන වගා කළ ගංජා හේන්වල තිබූ ගංජා පැළ 420000කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇත. මේ ආකාරයට අත්අඩංගුවට ගත් සමස්ත මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් මිලියන 9000 ඉක්මවන බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

වැටලීම්වලදී සැකකරුවන් 83000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර පිරිස තුළ සැකකාරියන් 2000කට වැඩි බව කියැවේ. පිරිස විසින් භාවිත කළ ගිනිඅවි රුසක්ද පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය 17 වැනිදා සිදුකළ වැටලීම් 35කදී සැකකරුවන් 725 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුන්ගෙන් 16 දෙනකු රඳවා තබා ගැනීමේ නියෝග මත වැඩිදුර ප්‍රශ්න කෙරෙයි. ඒ අතර 4 දෙනකුගේ වත්කම් විමර්ශනය සඳහා යොමුකර ඇත. පිරිස අතරින් 15 දෙනකු පුනරුත්ථාපනය කිරීම සඳහා යොමුකර තිබේ. 

යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත හා දකුණු පළාත මූලිකව ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් කණ්ඩායම් 20ක් යොදවා මෙහෙයුම් තර කොට තිබේ. මේ හරහා බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ආවරණය වන ලෙස බස්නාහිර පළාත දකුණ හා බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාස සමඟ කළුතර අපරාධ කොට්ඨාසය කටයුතු කරයි. මීට අමතරව දකුණු පළාතේ ක්‍රියාත්මක පාතාල ක්‍රියාකාරකම් මර්දනය සඳහා ගාල්ල අපරාධ කොට්ඨාසය ක්‍රියා කරයි.

මේ කණ්ඩායම් පසුගිය 17 වැනිදා සිදුකළ වැටලීමේදී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 27 දෙනෙක් අත්අඩංගුවට පත්වූහ. ඔවුන් අතර අපරාධ කල්ලි සාමාජිකයන්  11 දෙනකු සහ තවත් සැකකරුවන් 16 දෙනෙක් වෙති. එම වැටලීම් රාගම, ගම්පහ, හංවැල්ල, වැල්ලම්පිටිය, ගොතටුව, පානදුර, අම්බලන්ගොඩ ප්‍රදේශවලදී සිදුකර ඇති බවද මාර්තු 19 වැනිදා සිට මේ දක්වා වැටලීම්වලදී සමස්ත සැකකරුවන් හා සැකකාරියන් 470 ඉක්මවා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කළේය. මේ සැකකරුවන් අතර සංවිධානාත්මක අපරාධ සිදුකිරීමට ඍජුවම සහාය දැක්වූ අය මෙන්ම අපරාධ සැලසුම් කිරීම හා අපරාධවලට ආධාර අනුබල දීම ඇතුළු විවිධාකාරයෙන් සහාය දැක්වූවන්ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර