2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ඡන්ද කටේ අවුල් වෙන පක්ෂ

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 28

මේ වසර මැතිවරණ වසරකි. සියලු පක්ෂ කණ්ඩායම් ඇතුළු පිරිස් මැතිවරණය සඳහා සූදානම් වෙමින් සිටිති. ඇතැම්හු අලුත් පක්ෂ හදාගනිති. ඇතැම්හු අලුත් නායකයන් සොයා යති. තවත් පිරිසක් සිටින පක්ෂය කඩා බිඳගෙන අලුත් රැල්ලක් සෑදීමට පොරකමින් සිටිති. මේ සියල්ලෝම බල පොරයක වෙලී සිටිති.

එහෙත් මේ දිනවල පක්ෂ රැසක් ඇත්තේ අර්බුද රැසක් මැදය. තනතුරු තාන්න මාන්න බෙදාගැනීමට නොහැකිව බොහෝ දෙනා විවිධ සටන්වල නිරත වෙති. එකී අවුල් අපි එකින් එක මෙසේ ලිහා බලමු.

මේ වනවිට ලොකුම ගැටලුව නිර්මාණය වී ඇත්තේ ආණ්ඩුව තුළය. ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යනවාද නැද්ද අරභයා ආණ්ඩුව තුළ කඹ ඇදිලිය. පිරිසක් පවසන්නේ කඩා වැටුණු රට වර්තමාන ජනාධිපති යම්තාක් දුරට ගොඩ දැමූ නිසා පොහොට්ටුව රුකුණු බවත් එනිසා එජාපයට සහාය දී තවත් අවස්ථාවක් වර්තමාන ජනාධිපතිවරයාට ලබා දිය යුතු බවත්ය. ඒ සඳහා ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමක් ඍජුව පෙනී සිටිති. ඔවුන් පවසන්නේ පොහොට්ටුවට මේ වනවිට ජනප්‍රිය අපේක්ෂයකු නොමැති බවත් ඒ නිසා මේ මොහොතේ එකම සුදුස්සා වර්තමාන ජනාධිපතිවරයා බවත්ය.

කෙසේ වුවද ඊට පොහොට්ටුවේ රාජපක්ෂ හිතවාදී පිරිස එතරම් කැමැත්තක් හෝ එකඟත්වයක් පළ නොකරති. ඔවුන් පවසන්නේ පැරදීමට හෝ පොහොට්ටුව ලකුණින් අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවය. එසේ නොකළහොත් නියත වශයෙන්ම ශ්‍රීලනිපයට අත්වූ ඉරණම පොහොට්ටුවට මුහුණ දීමට සිදුවන බව ඔවුන්ගේ මතය වී තිබේ. මේ නිසා නාමල් රාජපක්ෂ ඒ සඳහා ඉදිරිපත් කිරීම ඔවුන්ගේ සූදානමයි. මීට පෙර ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේ‍රා මහතාගේ නම මේ සඳහා යෝජනා වී තිබුණත් දැන් දැන් එකී නම මැකී යමින් තිබේ. කෙසේ වෙතත් නාමල්ටත් ධම්මිකටත් ප්‍රසන්න ඇතුළු කණ්ඩායම එළිපිට සිය විරෝධය පළ කර ඇත. මේ තත්ත්වය නිසාම එකී කණ්ඩායම දැන් දැන් ආණ්ඩු හිතවාදී ස්වාධීන කණ්ඩායමක් බවට පත්වෙමින් සිටියි.

මේ අතර මීට පෙර පොහොට්ටුවෙන් ඉවත්ව ස්වාධීන වූ නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායම සිය දේශපාලන වේදිකාව ඇරඹුවේ රනිල් වික්‍රමසිංහ මහතා බලයට රුගෙන ඒමේ අදහස ඇතිවය. ඒ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සූගීෂ්වර පවා එම කණ්ඩායම සමඟ අත්වැල් බැඳ ගත්තේය. එහෙත් ඔවුන්ට මේ ආරම්භය ඉදිරියට රුගෙන යාමට හැකිවූයේ නැත. ඒ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතභාවය හේතුවෙනි. ඒ අනුව මේ වනවිට ඔවුන්ගේ වේගවත් ආරම්භය යම් මන්දගාමී ස්වභාවයකට පත්ව තිබේ.

ඔවුන් එසේ මන්දගාමී බවක් පෙන්වුවද ප්‍රබල ශ්‍රීලනිප සාමාජිකයන් අලුත් මාවතක් සොයා යාම මේ වනවිට ආරම්භ කර ඇති අයුරු පසුගියදා දැක ගැනීමට හැකිවිය. ඒ මේ වනවිට මැදින් ඉරි තලා ඇති ශ්‍රීලනිපයේ එක් පාර්ශ්වයක් නියෝජනය කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනිය සමඟ ගමනක් යාමේ අරමුණ ඇතිවය. එම කණ්ඩායම නියෝජනය කරන නිමල් සිරිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන අය සමඟ ලංසා සමගින් එකට ගමන් ගත් අනුර යාපා ද පසුගියදා එක්විය. ඒ අනුව අනුර යාපාගේ දිශානතිය ද එලෙස වෙනස් විය. ඒ මෛත්‍රීපාල කණ්ඩායමෙන් ශ්‍රීලනිපය බේරා ගැනීමේ අරමුණ ඇතිවය.

මේ අතර ශ්‍රීලනිපයේ බල අරගලය පසුගියදා එළිපිට ගැටුමක් දක්වා දුරදිග ගියේය. කාර්යාලය ඉබියතුරු දැමීම දක්වා ප්‍රශ්නය දුරදිග ගොස් තිබිණි. වැදගත්ම සිදුවීම නම් පසුගියදා සිරිමාවෝ මැතිනියගේ ජන්ම දින උත්සවයට මෙම දෙපාර්ශ්වයම සහභාගි වීමය. එහිදී නිමල් සිරිපාල එම පිරිස ඉවත් කිරීම මැතිනිය පිටින් දමා මෛත්‍රීපාල සිරිසේනට ප්‍රහාරයක් එල්ල කළේය. කිසි දිනෙක උදේ නැගිටින විට පක්ෂයෙන් එළවන වැඩ මැතිනියගේ නොතිබුණු බවත්, ඇය කෙළින් වැඩ කළ පිරිමියකු සේ කටයුතු කළ බවත්, ඒ නිසා මේ පක්ෂයට පිරිමි නායකත්වයක් ලැබිය යුතු බවත් නිමල් සිරිපාල කීවේය. එය මෛත්‍රීපාලට කණ හරහා මොළයට දුන් පණිවිඩයක් විය.

ඉන් පසුව මෛත්‍රීපාල වේදිකාවට නැග නිමල් සිරිපාල ඇතුළු කණ්ඩායමට ප්‍රහාර එල්ල කළේය. වෙනත් පක්ෂයක් සමඟ ගැටගැසීම මැතිනියගේ ප්‍රතිපත්තිය නොවන බව ඔහු ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල එසේ කීවද තමන් පක්ෂයෙන් ඉවත්ව එජාපය සමඟ එක්ව ඡන්දය ඉල්ලූ බව ඔහුට අමතක වූවාද යන්න ගැටලුවකි. එබැවින් මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ කීම ප්‍රශ්න සහගතය. මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් කතාවක් කීවේය. එනම් මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ මොහොතේ මැතිනිය සමඟ තමා සිටි බවත්, මැතිනියගේ දරු දැරියන් පවා ඇය සමඟ නොසිටි බවත්ය. චන්ද්‍රිකා මැතිනිය ඊට  පිළිතුරු දෙමින් පැවසුවේ මෛත්‍රීපාල අසත්‍ය පවසන බවත් මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන අවස්ථාවේ මෛත්‍රීපාල "පැංචකු"ව සිටි බවත්ය.

මෙම ගැටුම එලෙස ඇදී යත්ම, මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එළවා දැමූ දයාසිරි ජයසේකර වෙනම සන්ධානයක් නිර්මාණය කරමින් එහි නායකයා බවට පසුගියදා පත්විය. මෛත්‍රීපාල සිරිසේන තමන්ව පයින් ගසා එළවූ බවට පැවසූ දයාසිරි, පසුගියදා මෛත්‍රීපාල අසරණ වූ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේය. ඒ දේශපාලනයේ සදාකාලික සතුරන් හෝ මිතුරන් නැති බව සනාථ කරමිනි.

මේ අතර සමගි ජන බලවේගය පසුගියදා තමන්ගේ සන්ධානය ගොඩනගන කටයුත්තට අත ගැසුවේය. ඒ පොහොට්ටුවෙන් ඉවත්වුණු ජී.එල් පීරිස් ඇතුළු කණ්ඩායම සමඟය. පැවති සද්දේ හැටියට බොහෝ පිරිසක් සන්ධානගත වෙතැයි සිතුවද අවසානයේ සන්ධානගත වීම සිදුවූයේ ඔවුන් සමඟ පමණි. ඒ වසර ගණනාවක් දේශපාලනයේ නිරත වෙමින් බලයට එන පිරිස සමඟ මුක්කු ගැසූ පිරිසක් සමඟ සන්ධානගත වෙමිනි. ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූ දෙය සිදුවුණේ නැත. එහෙත් මේ වනවිට සමගි ජන බලවේගයේ  කිහිප දෙනකු බිලිබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයද පිඹුරුපත් සකසමින් සිටියි. නම් ගම් ප්‍රකාශ වුවද මේ මොහොතේ ඒ පිළිබඳව සඳහන් නොකරන්නේ දේශපාලනය තුළ කිසිදු දෙයක් ස්ථිර නොවන බැවිනි. කෙසේ වෙතත් පසුගියදා එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කීවේ කබීර් හෂීම්, හර්ෂ ද සිල්වා සහ තලතා අතුකෝරාළ එජාපයට එක්කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවය. එහෙත් ඒවා සත්‍යද අසත්‍යද අපි නොදනිමු.

මේ වනවිට දරුණුම තත්ත්වයට මුහුණ පා සිටින පක්ෂය වනුයේ එක්සත් ජාතික පක්ෂයයි. ඒ ඔවුන්ගේ නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතා නැවත බලයට ගෙන ඒමට කිසිදු බලවේගයක සහායක් තවමත් පෙනෙන්නට නොමැති වීම හේතුවෙනි. මේ නිසා එජාපය අතරමං වී සිටියි. කෙසේ වෙතත් අවසන් මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන තීරණය අනුව එජාපයේ අනාගතය තීරණය වනු ඇත.

දැනට ගැටලුවක් නොමැති තැනක සිටින පක්ෂය ලෙස පෙනෙන්නේ ජාතික ජන බලවේගය පමණි. ඒ වසර ගණනාවකට පසුව ඔවුන් වෙත රැල්ලක් සේ ජන රුල්ල ඇදෙමින් පවතින බැවිනි. මේ නිසාම යම් යම් ගැටුම් ඇතිවුවද ඒවා එළියට නොපෙන්වා වැඩ කිරීමට ඔවුන් උත්සාහ දරමින් සිටින්නේ සිය අරමුණ කරා යාමේ අදිටනි. විශේෂයෙන්ම තමන් බලයට කෑදරකමක් නොමැති බව පෙන්වීමට උත්සාහ දරමින් සිටින අතර එහි සැබෑ තත්ත්වය දැකගත හැකි වනුයේ ඔවුන් බලයට පැමිණීමෙන් පසුවය. ඒ නිසා මේ මොහොතේ ජාතික ජන බලවේගයේ පවතිනුයේ සංක්‍රාන්ති සමයකි.

මේ ආකාරයට රටේ දේශපාලන පක්ෂවල තත්ත්වය ඉතාම දරුණු තැනට පත්වී තිබේ. කෙසේ වෙතත් මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් විය හැකිය. බලය ලැබීමේදී එකතු වුවද බලය නැතිවීමේදී විනාශ වී යා හැක. ඒ නිසා මීළඟ මැතිවරණය සියලු ප්‍රධාන දේශපාලන පක්ෂවලට තීරණාත්මක මැතිවරණයක් වනු ඇත.

I ගයාන් ගාල්ලගේ