2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා

උමාඔයෙන් රටටම අලුතෙන් විදුලිය

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

පසුගිය සමයේ මෙරට ජනතාව දැඩි පීඩනයකට ලක්වූයේ පසුගිය වසරේ 300% ක පමණ විදුලිය බිල වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගැනීමත් සමඟිනි. විදුලිබල මණ්ඩලයේ දැවැන්ත අලාබය පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තුව වැඩිකිරීමට සිදුව ඇතැයි විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේය. එහෙත් විදුලිබල මණ්ඩලය අලාබ ලැබුවේ මහජනයාගේ වරදකින් නොව එම ආයතනය තුළ ක්‍රියාත්මක වූ දූෂණය වංචාව සහ නාස්තිය හේතුවෙනි. විදුලිබල මණ්ඩලය වැඩි මිලට විදුලිය ලබාගැනීම මෙන්ම විවිධ කොමිස් ලබාගැනීම සඳහා එම ආයතනයේ ඇතැම් බලධාරින් විසින් සිදුකරන ලද අක්‍රමිකතා මෙන්ම විදුලිබල මණ්ඩලයේ සේවකයන් බැංකුවලින් ගත් ණයද විදුලි පාරිභෝගිකයන් විසින් ගෙවන තත්ත්වයක් නිර්මාණය කිරීම හේතුවෙනි. ජල විදුලියෙන් විදුලිය ජනනය සඳහා ඒකකයකට වැය වන්නේ වියදම රු. 4.50ක පමණ පිරිවැයකි. ගල්අඟුරුවලින් විදුලිය ජනනය කිරීමේදී ඒකකයකට රු. 18ක් පමණ වැය වේ. ඩීසල්වලින් විදුලිය ජනනය කිරීමේදී ඒකකයකට රුපියල් 32ක් පමණ වැය වන බව සඳහන්ය. එහෙයින් ජලවිදුලිය මගින් විදුලිය උත්පාදනය වැඩි කළ හැකි නම් එය වඩාත් ලාබදායකය.  

ඇමෙරිකානු ඩොලර් මිලියන 513ක ආයෝජනයක් ලෙස ඉරාන රජයේ ණය ආධාර යටතේ ආරම්භ කෙරුණු උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු 2011 වසරේ ආරම්භ වූයේ ජල විදුලිය ජනනය සහ වාරිමාර්ග ව්‍යාපෘතියක් ලෙසිනි. එහි ප්‍රධාන අරමුණ වූයේ මෙගාවොට් 120ක විදුලිය ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටය. එමගින් නිපදවන විදුලිය අධි බලැති විදුලි රැහැන් කුලුනු 65ක් ඔස්සේ කිලෝමීටර 23ක දුරකින් පිහිටි බදුල්ල දක්වා ගෙන ගොස් ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරේ. එමෙන්ම උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය මගින් පානීය ජල සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා දීමද තවත් අරමුණකි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු මෙගාවොට් 120ක ජල විදුලි බලාගාරය හේතුවෙන් දිනකට ගල්අඟුරු නැව් තුනකට ගෙවන ඩොලර් ප්‍රමාණය ඉතිරි වන බව වරක් අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය. මේ වන විට උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යපෘතියේ ඉදිකිරීම් අවසන් වී ඇති අතර එම විදුලි බලාගාරය අප්‍රේල් 24 දා නිල වශයෙන් විවෘත කිරීමට අපේක්ෂිතය. එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. සී. සුදර්ම. ඇලකන්ද මහතා පවසන ආකාරයට`මේ වන විට පරීක්ෂණ මට්ටමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. 

පර් යේෂණ මට්ටමේදී රුපියල් මිලියන දහසකට අධික විදුලිය ධාරිතාවක්  නිෂ්පාදනය කර ඇති අතර ලබන 24දායින් පසු වාණිජ වශයෙන් මෙහෙයුම් ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. එමගින් විදුලිය ජනනය ආරම්භ කිරීමෙන් පසු දෛනිකව රුපියල් මිලියන 80ත් 100ත් අතර ජල විදුලිය ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කළ හැකි බවද එය අපේ ආර්ථිකයට විශාල අගය එකතු කිරීමක් වන බවද ඔහු සඳහන් කළේය.

1959 දී ඇමෙරිකාවේ යුනයිටඩ් ස්ටේට්ස් ඔපරේෂන්ස් මිෂන් ආයතනය සහ කැනේඩියන් හන්ටින් සර්වේ කොපරේෂන් ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් උමාඔය ව්‍යාපෘතිය ප්‍රථම වරට යෝජනා කරන ලදී. එය 1960 ගණන්වල ඩඩ්ලි සේනානායක රජය සමයේ මහවැලි ව්‍යාපෘතිය සඳහා වූ එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනෙත්, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේත් ඒකාබද්ධ සැලසුමේද ඇතුළත් විය. රණසිංහ ප්‍රේමදාස සහ චන්ද්‍රිකා කුමාරතුංග රජයන් යටතේද උමාඔය ව්‍යාපෘතිය ගැන වැඩිදුර අධ්‍යයන සිදු විය. උමාඔය බහුකාර්ය සංවර්ධන වැඩපිළිවෙළේ පළමු සැලසුම සකස් කෙරුණේ 1991 වසරේය. එහෙත් එය ප්‍රතික්ෂේප වූයේ ජල ද්‍රෝනි දෙකක් අතර ජලය ගෙන යාමෙන් ජනතාවගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වන බව පවසමින් හා ව්‍යාපෘතියේ පැවැති තාක්ෂණික දුර්වලතා හේතුවෙනි. යළි උමාඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණේ 2001-2004 එ.ජා.ප ආණ්ඩුව මගිනි.  2005 ජනවාරි මාසයේදී උමාඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයාය. 2005 ජනවාරි 4 දින අංක 05/0036/039/002 දරන ඔහුගේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වියළි කලාපයේ ස්ථිර ජල මූලාශ්‍රයක් නොමැති වීම හේතුවෙන් උමාඔය ජලය එම ප්‍රදේශයට හරවා යැවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. 

කෙසේ නමුදු 2008 වසරේ වැල්ලවාය අලිකොටආර ප්‍රදේශයේදී ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබිණි. ඒ සඳහා ණය ආධාර සැපයුවේ ඉරාන අපනයන සංවර්ධන බැංකුවයි. ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් සමඟ විවිධ පාරිසරික ගැටලු මතුවන්නට විය. පානීය ජලය ලබාගත් ළිං සිඳී ගිය අතර විවිධ පාරිසරික ගැටලු නිර්මාණය විය. කෙසේ නමුදු එම දුෂ්කරතා විසඳා ගනිමින් උමාඔය ජල විදුලි බලාගාරය මගින් නිපදවන විදුලිය මෙගාවොට් 120ක් ලබන 24 දා සිට ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය.
උමාඔය විදුලි බලාගාරය පිහිටා ඇත්තේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරඳගොල්ල ප්‍රදේශයේය.‍ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ ඉරානයේ ෆරාබ් සමාගම මේ ව්‍යාපෘතිය වසර පහකින් නිම කිරීමට සැලසුම් සකස් කර තිබිණි. එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේය. ලංකාවේ දිගම උමග වන මෙහි උමග කැණීමේදී ජලය කාන්දුවීම හේතුවෙන් විවිධ අර්බුදවලට මුහුණ පෑමට ඉංජිනේරුවරුන්ට සිදුවිය. එමෙන්ම ළිං සිඳි ගොස් ජනතාව අසීරුතාවනට මුහුණ පෑහ. මේ වන විට බොහෝ පිරිසකට වන්දි ගෙවා ඇති අතර සිඳී ගිය ළිංවලින් 80% ක් පමණ යළි යථා තත්ත්වයට පත්ව ඇතැයි ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.සී. සුදර්ම ඇළකන්ද මහතා සඳහන් කරයි.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 60,842ක් වැය වන බවට ඇස්තමේන්තුගත කර තිබිණි.  ඉන් 85% ක් ඉරාන අපනයන සංවර්ධන බැංකුව මගින් වන අතර ඉතිරි 15% ක මුදල ශ්‍රී ලංකා රජයේ ආයෝජනයකි.

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ වැලිමඩ සහ ඩයරබාහි ප්‍රධාන ජලාශ දෙකක් ඉදිකෙරිණි. වැලිමඩ පුහුල්පොලදී දුල්ගොල්ල ඔය හරස්කොට එක් ජලාශයක්ද, ඩයරබාහිදී මාතොටිල්ල ඔය හරස්කොට තවත් ජලාශයක් ඉදි කෙරිණි. පුහුල්පොළ ජලාශයේ සිට ඩයරබා ජලාශය වෙත එම ජලාශ දෙක යා කරමින් කිලෝමීටර 3.9ක දිගින් හා මීටර 4.1ක විශ්කම්භයකින් යුතු උමගක් ඉදි කෙරිණි. එතැන් සිට විශ්කම්භය 4.3ක් හා දිග කිලෝමීටර 15.05ක් වන උමඟක් තූළින් අලිකොටආර භූගත ජල විදුලි බලාගාරය දක්වා ජලය රුගෙන ඒම සිදුවෙනු ඇත. එම ජල ධාරාවෙන් මෙගාවොට්‌ 60 බැගින් වූ ජනන යන්ත්‍ර 2ක් ක්‍රියාත්මක කෙරෙන අතර එම ස්ථානය පිහිටා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර 720ක් ගැඹුරිනි. එමගින් උත්පාදනය කෙරෙන ජල විදුලිය බලාගාරයේ සිට බදුල්ල දක්වා කිලෝමීටර 27ක දුරක් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් ඔස්සේ සම්බන්ධ කෙරේ.

විදුලිය උත්පාදනයෙන් පසු එම ජලය අලිකොටආර, හඳපානාගල සහ කුඩා ඔය ජලාශ වෙත ගමන් කරනු ඇත. මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල කිසිදු වාරි ජලයක් නොලැබුණු යල මහ දෙකන්නයේ කුඹුරු හෙක්ටයාර 4500ක් අලුතින් අස්වැද්දීමට නියමිත වන අතර පැරණි ගොවිබිම් හෙක්ටයාර 1500ක් අස්වැද්දීමට අවශ්‍ය ජලය මෙමගින් සැපයේ. 

කිරිඳිඔය ද්‍රෝනිය හරහා ඌව වෙල්ලස්ස ගොවි බිම් සශ්‍රික කරමින් බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාද සපුරාලීමට උමාඔය ව්‍යාපෘතිය මගින් සිදු කෙරේ. බණ්ඩාරවෙල බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ජනතාව සඳහා උමාඔය පානීය ජල ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව කියුබික් මීටර මිලියන 30ක් වෙන් කර තිබේ.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා