අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2033 වන විට රජයේ පාසල්වල සියලු ගුරුවරුන් පුහුණුවලත් උපාධිධාරී ගුරුවරුන් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙය ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රථම විශ්වවිද්‍යාලය වන අතර, එය ලබන ජූනි මස අග වන විට ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විශේෂඥ කමිටුවේ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.
මේ වන විට මෙරට පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා ඉගැන්වීමේ නිරත ගුරුවරුන් 242,000ක් පමණ සිටින අතර 2033 වසර වන විට එම ගුරුවරුන් අධ්‍යාපනය සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇති උපාධිධාරී ගුරුවරුන් බවට පත් කිරීම මෙම නව අධ්‍යාපන විශ්වවිද්‍යාලය මගින් සිදු කිරීමට නියමිතය.
මෙම විශ්වවිද්‍යාලය මහරගම ප්‍රදේශයේ ස්ථාපනය කෙරෙන අතර, දැනට ක්‍රියාත්මක වන විද්‍යා පීඨ 19ම එම විශ්වවිද්‍යාලයේ මණ්ඩප ලෙස පවත්වාගෙන යාමට නියමිතය. එමෙන්ම විද්‍යා තාක්ෂණය, අධ්‍යාපනය, විශේෂ අධ්‍යාපනය, තොරතුරු සන්නිවේදනය, ශාරීරික අධ්‍යාපනය ඇතුළු පීඨ 8ක්ද එහි පවත්වාගෙන යාමට අපේක්ෂා කෙරේ. එසේම සෑම විශ්වවිද්‍යාලයකම අධ්‍යයනාංශ පිහිටුවීමටද පියවර ගැනෙනු ඇත.
මෙම නව අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් දේශයට අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මෙලෙස සඳහන් කළේය.
''ගුරුවරුන්ට තමන් උගන්වන විෂයයට අමතරව අධ්‍යාපන විද්‍යාව සහ ළමා ශික්ෂණය සම්බන්ධ නිපුණතාවක් අවශ්‍යයි. ලොව බොහෝ රටවල ගුරුවරුන්ට අධ්‍යාපන සුදුසුකමකට එහා ගිය අධ්‍යාපන විද්‍යාව සහ ශික්ෂණ විද්‍යාව පිළිබඳ නිපුණතාවකුත් තිබෙනවා. මෙම දැනුම උපාධියක් ලෙස හෝ වෙනත් ආකාරයකින් හෝ ලබා දෙනවා නම් එය ඉතා වැදගත්. අධ්‍යාපනයේ වර්ධනය සඳහා එය කළ යුතු දෙයක්. ඒ වගේම සේවස්ථ පුහුණුව කියන එකත් ඔවුන්ට ලබා දිය යුතුයි. ගුරුවරුන්ගේ වෘත්තීමය පැත්තෙන් ගත්තොත් ඔවුන්ට උපාධියක් හිමිවන එක වැදගත්. උපාධියෙන් පසු පශ්චාද් උපාධියක් හෝ ඉන් ඔබ්බට දැනුම ලබන්නත් එමගින් දොරටු විවෘත වෙනවා.
ලංකාවේ ගුරුවරුන්ට සේවස්ථ පුහුණුව සඳහා තියෙන අවස්ථා අඩුයි. ගුරුවරු දීර්ඝ කාලයක් තම වෘත්තියේ නියැලීම නිසා ඔවුන්ට තිබෙන අවබෝධය අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනයේදී යොදා ගන්නේ නැහැ. විෂය නිර්දේශ සකස් කරන විට, පෙළ පොත් සකස් කරන විට සහ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ගුරුවරුන් දායක කර ගැනීම ඉතා අල්පයි. අධ්‍යාපනය සම්බන්ධ ඇතැම් ක්‍රමවේද දිහා බලන විට පැහැදිලියි, මේවා සකස් කළ අය පාසලක උගන්වා ඇති ඇති නොවන බවට. මෙම ගැටලු ගුරුවරුන්ට උපාධියක් ලබා දීමෙන් පමණක් විසඳෙන ගැටලු නොවෙයි. එහෙත් පොදුවේ ගත් කළ මෙලෙස අධ්‍යාපන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා දීම හා වැඩිදුර අධ්‍යාපනයට අවස්ථාවක් ලබා දීම අපි ධනාත්මක කටයුත්තක් ලෙස දකිනවා. විෂය දැන සිටියාට එය ඉගැන්වීමේ කලාවත් දැනගත යුතුයි. ඒ නිසා විෂයයන් පිළිබඳ උපාධියක් තිබෙන ගුරුවරුන්ටත් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ හැදෑරීමක් අවශ්‍යයි.'' යනුවෙන් සඳහන් කළේය.
අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වන මෙම විශ්වවිද්‍යාලය සඳහා අවශ්‍ය ගොඩනැගිලි අලුතින් ඉදි නොකෙරෙන අතර දැනට අධ්‍යාපන අමාත්‍යංශය සතු ගොඩනැගිලි යොදා ගැනීමට නියමිතය. මේ සඳහා දැනට රුපියල් බිලියනයක් වෙන් කර ඇතැයි වාර්තා වේ.
ගුරු වෘත්තීය සමිති සඳහන් කරන ආකාරයට මේ වන විට 45,000ක පමණ ගුරු හිඟයක් පවතී. ඉදිරියේදී තවත් පිරිසක් විශ්‍රාම යාමටද නියමිත වන අතර එවිට සමස්ත ගුරු හිඟය 70,000 ඉක්මවනු ඇතැයි යන්න ඔවුන් අදහසයි. එකී ගුරු හිඟයට විසඳුමක් ලෙස විද්‍යා, ගණිත, ඉංග්‍රීසි, තාක්ෂණ වැනි විෂයයන් ඉගැන්වීම සඳහා උපාධිධාරී ගුරුවරුන් 5450ක් බඳවා ගැනීමට නියමිත බව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය. ජාතික පාසල්වලට ගුරුවරුන් 1700ක්ද, පළාත් මට්ටමින් විශ්‍රාමික, සේවය හැර ගිය, ගුරුවරුන් නිසා පුරප්පාඩු වූ තනතුරු පිරවීමටද අවසර ලබා දී ඇතැයිද ඔහු සඳහන් කර තිබිණි. එවිට පවතින ගුරු හිඟය යම් ප්‍රමාණයකින් කළමනාකරණය කළ හැකි බවද ඔහු සඳහන් කළේය.
මේ වන විට වර්ෂයකට රජයේ පාසල් පද්ධතියට අලුතින් ගුරුවරුන් 8000ක් පමණ එකතු වන අතර ඉදිරියේදී එම සියලු ගුරුවරුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ අධ්‍යාපන විද්‍යාව පිළිබඳ දැනුමක් ඇති උපාධිධාරියකු ලෙස පාසල් පද්ධතියට එක් කිරීමට නියමිතය. මෙම විශ්වවිද්‍යාලය පාර්ලිමේන්තු පනතක් ලෙස සම්මත වූ පසු ජූනි මස අග වන විට ආරම්භ කිරීමට නියමිතය.
ව්‍යවස්ථාව අනුව දැනට ගුරුවරුන් ලෙස බඳවා ගැනීම සිදුවන්නේ ක්‍රම දෙකකටය. එනම් උපාධිධාරී ගුරුවරුන් සහ විද්‍යා පීඨ ගුරුවරුන් ගුරු සේවයට බඳවා ගැනීමය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ ප්‍රධාන ලේකම් මොහාන් වීරසිංහ දේශයට ප්‍රකාශ කළේ දරුවකුට අධ්‍යාපනය ලබා දිය යුත්තේ පුහුණු ගුරුවරයකු විසින් බවයි. ''එවිට අධ්‍යාපන සිද්ධාන්තවලට අනුකූලව දරුවාට අධ්‍යාපනය ලැබෙනවා. ආණ්ඩුව ගුරුවරුන්ට උපාධියක් ලබා දීමට කටයුතු කරන්නේ නම් එය හොඳ වැඩක් ලෙස අපි දකිනවා. එවැනි ක්‍රමවේදයක් තුළින් දැනට පවතින වැටුප් විෂමතාද නැති කළ හැකියි. වැටුප් වැඩිකර ගැනීමට ගිය විට වැටුප් කොමිසම නඟන තර්කය වන්නේ රාජ්‍ය සේවයේ වෙනත් සේවා සඳහා පුහුණු උපාධිධාරීන් බඳවා ගන්නා අතර අධ්‍යාපනයට විවිධ ක්‍රම මගින් බඳවාගත් විවිධ මට්ටම්වල අය සිටින හෙයින් වෙනත් සේවා හා සමානව වැටුප් වැඩි කළ නොහැකි බවටයි. මේ තත්ත්වය හේතුවෙන් 1998 සිට වැටුප් විෂමතා පවතිනවා. රජයේ පාසල්වල සියලු ගුරුවරුන් පුහුණුවලත් උපාධිධාරී ගුරුවරුන් බවට පත් කළහොත් අනාගතයේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය උසස් තත්ත්වයකට ගෙන ඒමට හැකිවන අතර වැටුප් විෂමතා අර්බුද ද විසදා ගත හැකි වේවි. ඒ නිසා රජය දැනට සිටින ගුරුවරුන්ට පමණක් නොවෙයි, අලුතින් බඳවා ගන්නා සියලු ගුරුවරුන්ටත් මෙම විශ්වවිද්‍යාලෙන් උපාධිය ලබා දී ඔවුන් ගුරු සේවයට යොමු කළ යුතු යැයි මා සිතනවා.'' යනුවෙන් පැවසීය.
ඉදිරි ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ ඇතැම්විට දේශපාලන වාසියක් ලබාගැනීමේ අරමුණකින්ද යන සැකය තමන්ට මතුවන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි. ''මේ ආණ්ඩුවට තව මාස පහකට වඩා බලයේ සිටින්නට හැකියාවක් නැහැ. කෙසේ වෙතත් අවංක චේතනාවෙන් එවැන්නක් කිරීමට කටයුතු කරනවා නම් එය හොඳ වැඩක් ලෙස අපි දකිනවා. මෙවැනි වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට මුලින්ම පියවර ගත්තේ රිචඩ් පතිරණ අධ්‍යාපන අමාත්‍යවරයාගේ කාලයේ. 1994 වර්ෂයේ ඔහු ගුරු සේවා ව්‍යවස්ථාව ගෙන ආවා. මේ වන විට එයට වසර 30කුත් ගතවෙලා. එම අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කළා උසස් පෙළ සමතුන් සහ ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම අහෝසි කොට උපාධිධාරීන් පමණක් ගුරු සේවයට බඳවා ගන්නා බවට. ඒ වුණාට තවමත් උසස් පෙළින් ගුරුවරු බඳවා ගන්නවා. ඉතින් මේ කඩිමුඩියේ අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ඇති කරලා සියලු ගුරුවරුන්ට උපාධියක් ලබා දෙනවා කියන එක ගැන අපිට කියන්න තියෙන්නේ නිකම් කයිවාරුවක් කියලයි. අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක ලෙස ඉහළ නැංවිය යුතු යැයි අපි පිළිගන්නවා. එසේ ඉහළ නැංවීමට නම් ගුරු සේවයට එකතු වන ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවිය යුතුයි. ඒ නිසා මින් ඉදිරියට බඳවා ගන්නා සියලු ගුරුවරු උපාධිධාරින් වෙනවා නම් එය හොඳ ක්‍රියාවක් ලෙස අපි දකිනවා. දැනට සිටින ගුරුවරුන් අතුරින් අඩක් පමණ උපාධිධාරී ගුරුවරුන් බවයි මගේ අදහස. දැනට ලංකාවේ විද්‍යා පීඨ 19ක් තිබෙනවා. කලින් කිව්වේ මෙම විද්‍යා පීඨ උපාධි ලබා දෙන ආයතන බවට පත් කරන බවටයි. දැන් ඔවුන් වෙනත් කතාවක් කියනවා. ඒ නිසා අපට නම් හැඟෙන්නේ ඉදිරි මැතිවරණ සඳහා සිදු කරන කිසියම් ප්‍රචාරකවාදී ක්‍රියාවක් ලෙසයි.'' යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා