එරබදු මල් මොට්ටු මොට්ටු - අවුරුද්දත් කිට්ටු කිට්ටු කියා රබන් ගසන හඬ ගම්වලින් ඇසුණේ කලකට පෙරය. අවුරුද්දට කොහා කෑ ගසන අතරම ගමේ තැන් තැන්වල බඩවැටිවල තිබෙන එරබදු ගස්වල රතු පාට මල් පිපීමත් අවුරුදු ළංවීමේ සංකේත ලෙස සැලකුණි. දැන් කොහා බොහෝ පළාත්වලින් ඈත්වී සිටින අතරම එරබදු ගස් දැකගත හැකි වන්නේද කලාතුරකිනි.
ආයුර්වේදයට අනුව එරබදු වටිනා ඖෂධීය ශාකයකි. එරබදු කොළ මැල්ලුම රසවත් පෝෂණීය ආහාරයකි. මේ ශාකයට එල්ල වන තවත් කෘමි අනතුරක් ගැන අපේ උද්භිද විද්‍යාඥයෝ පවසති. ඒ Erythrina Gall Wasp ලෙස හඳුන්වන බිඟු කෘමි සතකු හේතුවෙන් මේ වන විට අප රටේ එරබදු ශාකය දැඩි තර්ජනයකට ලක්ව තිබීමයි. මෙම කෘමියා චීනය, ගුවාම්, හොංකොං, ඉන්දියාව, ජපානය, මොරිෂස්, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පසුගිය කාලයේ වාර්තා වූ අතර ඌ පළමුවරට ලංකාවෙන් හමුවන බවට වාර්තා වන්නේ, 2006 වසරේදීය. කෘමියාගෙන් දරුණු හානියක් සිදුවන අතර මේ නිසා ගස මැරී යයි. හවායි දූපත්වල එරබදු කාණ්ඩයට අයත් ගස්වලින් සියයට 95ක් විනාශ කළේ මේ කෘමියා විසින් බව පර් යේෂණ වාර්තාවල සඳහන්ය.
මෙම බිඟුවා එරබදු ශාකයේ ළපටි පත්‍ර සහ ළපටි කඳ සිදුරු කර බිත්තර විශාල වශයෙන් දමා සුහුඹුලකු ලෙස එම ශාකයේම ජීවත්වීම සිදුවේ. ටික කලක් ගතවන විට මෙම සතා නිසා එම ශාකය විනාශයට පත් වේ. කෘමි හානිය නිසා මේ වන විට තෙත් කලාපයේ බොහෝ ස්ථානවල තිබූ එරබදු ශාක විනාශයට පත්ව තිබෙන බව උද්භිද විද්‍යාඥයෝ පවසති. ඇත්තටම මේ සතා ලෝකයටත් අලුත් සතෙකි. ඌ වර්ගීකරණය කර නාමය ලබාදුන්නේ 2004 දී ඔස්ට්‍රේලියානු සහ ප්‍රංශ උද්භිද විද්‍යාඥයන් පිරිසකි.
ලංකාවේ එරබදු විශේෂ කිහිපයක් තිබුණත් ‘අපේ එරබදු’ ලෙස පැරුණි ගැමියා හඳුනාගත් ශාක විශේෂ දෙකක් තිබෙන අතර ඒ ‘එරබදු’ (Erythrina variegate) සහ ‘යක් එරබදු’ (Erythrina fusca) බව උද්භිද විද්‍යා මහාචාර්ය සිරිල් විජේසුන්දර අප සමඟ පැවසුවේය.
ඉන් අවුරුදු සමයේදී මල් පිපෙන, අවුරුද්ද හා බැඳුණු එරබදු විශේෂය වන්නේ Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු ශාකය වේ. පෙබරවාරි මාසයේදී එරබදු ගසේ කොළ හැලෙන අතර මාර්තු අග හා අප්‍රේල් මුල වන විට ගස පුරා රක්ත වර්ණ දීප්තිමත් මල් පොකුරු පිපීම අරඹයි. අප්‍රේල් මාසයේදී මේ මල් රක්ත වර්ණයට හැරී ගම්මාන අලංකාර කරවයි.
''අපි සාමාන්‍යයෙන් එරබදු කියලා හඳුන්වන ගස දැන් ගොඩක් තැන්වල දකින එක අමාරුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේදී වඳවීමට ආසන්න ශාකයක් ලෙස මේ ගස නම්කර තිබෙනවා. දශක කිහිපයකට පෙර මේවා ගම්වල වැටවල්වලට වවලා තිබුණේ. ඒ ජීව වැටක් ලෙසයි. වතුර කිට්ටුව, වෙල් අයිනේ එරබදු ගස් තිබුණා ගම්වල. සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව Erythrina Gall Wasp කියන කෘමියගෙන් වෙන හානිය වෙන්න ඉඩ තිබෙනවා.'' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර වැඩිදුරටත් පැවසුවේය. එරබදු ශාකය නැවත මෙරට රෝපණය කිරීමට පියවර ගත යුතු බවත් ඔහු පවසයි.
කෙසේ වුවත් අපට පෙනී ගියේ මේ ගැන අදාළ බලධාරීන් විධිමත් පර්යේෂණයක් කර නැති බවයි. කේරළ විද්‍යාඥයා ඒ ගැන අනතුරු අඟවා අවුරුදු 18ක් ගෙවී ගියද කෘෂිකර්ම බලධාරීන් හෝ විශ්වවිද්‍යාල වියතුන් හෝ ඒ ගැන අවධානය යොමුකළ බවක් වාර්තා නොවේ.
දින 20ක ජීවිත කාලයකින් යුත් මේ කෘමියා නිසා මෙරට එරබදු ශාකවලට තර්ජනයක් ඇතිවිය හැකි බවට මුල්වරට සඳහන් කර ඇත්තේ කේරළ කෘෂි විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය කේ.ඩී. ප්‍රතාපන් ඉදිරිපත් කළ
පර් යේෂණ පත්‍රිකාවකිනි. ''ප්‍රතාපන් ලංකාවට ඇවිත් සංචාරය කරද්දී කොළඹ, රත්නපුර, කලවාන වැනි පැතිවලදී එරබදු ගස්වලට සිදුව ඇති කෘමි හානි ගැන දැක තිබෙනවා. ඔහු එහිදී අවධානය යොමුකර පැවසුවේ කෘමියා තවදුරටත් පැතිරුණහොත් මහනුවර, මාතලේ සහ නුවරඑළිය වැනි තේ ව්‍යාප්ත කඳුකරයටත් පැතිරීමට ඉඩ තිබෙන බවයි. විශේෂයෙන් තේ වතුවල සෙවණ ශාකයක් ලෙස එරබදු වර්ගයක් වවනවා. ඔහු අවධානය යොමු කළේ ඒ ගැනයි.'' මහාචාර්ය සිරිල් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පහතරට වියළි කලාපයේත් අතරමැදි කලාපයේත්, තෙත් කලාපයේත් සුලබව දැකිය හැකි වූ එරබදු ගැමි නිවෙස්හි වැටවල්වලට වවන ශාකයක් බව අපි කලින් සඳහන් කළෙමු. අද වනවිට එරබදු ගස් සහිත වැටවල් දකින්න නැත. නිවෙස් හෝ වතු වටා වැටක් වෙනුවට තාප්පයක් ඉදිවීම හෝ කොන්ක්‍රීට් කණු සිටුවීම එරබදු ශාකය සමුගැනීමට තවත් හේතුවක් වී ඇත. මෙම ගසේ වටිනාකම නොදන්නා පිරිස් ගස් කපා ඉවත් කරති. බංගලිදේශය, පකිස්ථානය, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, චීනය වැනි විවිධ රටවල මේ ගස දක්නට ලැබේ.
එරබදු කොළ මැල්ලුම මිනිස් සිරුරට වද දෙන කිරිපණු රෝගයට ඔසුවක් විය. ඒ නිසා සංස්කෘත බසින් මෙය කෘමිස්න, කෘමිශත්‍රං යන නම්වලින්ද හැඳින්වේ. අඩි 10-20 ක් පමණ උසකට වැවෙන එරබදු ශාකයේ කඳ අළු පැහැයක් ගනී. එහි පත්‍රය බෝ කොළයකට සමාන හැඩයක් ගන්නා පත්‍ර තුනක් එකට සම්බන්ධ වීමෙන් තැනී තිබේ.
එරබදු දල්ල දද, කුෂ්ඨ හා කිරිපණුගාය රෝගවලට ගුණදායකය. දලු මැල්ලුම කිරි රසයෙන් යුක්තය. එරබදු දලුවල අඩංගු “එරිත්‍රීන්” නම් අල්කොලයිඩය නිසා එය කුඩා දරුවන්ගේ පණු රෝග නැසීමට ඉතා ගුණදායකය. එරබදු ගසේ පංචාංගය වන මුල්, කොළ, පොතු, ගෙඩි, මල් දේශීය වෙදකමේ ඖෂධ ලෙස භාවිතයට ගැනේ.
මේ මල රතු, දම්, රෝස පාට, දුඹුරු පැහැති වන්නට පුළුවන. මාර්තු, අප්‍රේල්, මැයිකාලය තුළ මල් හටගනී. එනම් සිංහල අලුත් අවුරුදු මාසයේදී පමණ සිදුවන බව පෙනේ. කරල් මෝරන්නේ මැයි, ජුනි, ජූලි යන කාලසීමාවේය. බුලත්, සමන්පිච්ච, මිදි, ගම්මිරිස් වැනි වැල් ශාකවලට හොඳ ආධාරක ශාකයක් ලෙසත් එරබදු ජනප්‍රියය.
එරබදු නැවුම් පොතු සමඟ කොළ කොටා සමේ ආබාධ හා ඉදිමීම්වලට ප්‍රතිකාරයක් ලෙස ආලේප කෙරේ. කන් කැක්කුමට හා දත් කැක්කුම සඳහාත් මේ ශාක කොටස් යොදා ගැනේ. එරඬු තෙල් සමඟ මිශ්‍ර කොට උග්‍ර අතීසාරය සඳහා යොදා ගැනේ. මැලේසියාවේ, ඉන්දුනීසියාවේ, එරබදු පොතු සියුම් ලෙස කොටා දත් කැක්කුමට ප්‍රතිකාර කිරීම සඳහාද යොදාගනී.
වනාන්තර කපා දැමීම නිසා සිදුවන ශාක විනාශය ගැන අපට නිතර අසන්නට ලැබේ. ඒ අතරට ස්වභාවික කෘමි හානිය නිසාත් දැන් ශාක වඳවෙන්නට පටන්ගෙන ඇති බව මේ සිද්ධියෙන් පැහැදිලි වේ. මේ ගැන අවධානය යොමුකිරීම රටේ කෘෂි සහ උද්භිද විද්‍යාඥයන්ට බාරය. නැත්නම් එරබදු ගසත් පින්තූර පොත්වලින් ළමයින්ට පෙන්වීමට සිදුවන දිනය එතරම් ඈත නොවනු ඇත.
I කුසුම්සිරි විජයවර්ධන