2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

විදුලිබල මණ්ඩලයේ ෆියුස් ගලවන අලුත් පනත

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 108

පසුගිය වසරක කාලය තුළ විටින් විට ආන්දෝලනයට තුඩු දුන් නව විදුලිබල පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. විදුලිබල පනත් කෙටුම්පත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඉකුත් බ්‍රහස්පතින්දාය.

මේ වනවිට පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කිරීමට සති දෙකක කාලයක් හිමිව තිබේ. එසේම මෙම පනත සම්මත කරගැනීමට පෙර පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමටද නියමිතය. සමස්තයක් ලෙස මෙම පනත පිළිබඳව ඇති කැළඹිලි සහගත තත්ත්වය තවදුරටත් පහව ගොස් නොමැති අතර වෘත්තීය සමිති විවිධ ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වෙමින් සිටියි.

මෙම පනත් කෙටුම්පතින් විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇතැයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ උපදේශක කාරක සභාවේදී මෙම පනත පිළිබඳ සංශෝධන කතා කළ හැකි බවකි.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධව බාලගිරි දෝෂයක් පසුගිය අවස්ථා කිහිපයකදීම නිරීක්ෂණය විය. විදුලි බුබුලක් මෙන් නිවි නිවී පත්තුවුණු මෙම පනත 2023 දෙසැම්බර් 12 වැනිදා සහ 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කළහ. එහෙත් එලෙස ඉදිරිපත් වීම හරහා පනත අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව වර්ෂ අවසාන නිවාඩුව හේතුවෙන් මගහැරෙන බවටද එම වකවානුවේ චෝදනා එල්ල විය. ඒ අනුව පනත ජනවාරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බලධාරීන් ප්‍රකාශ කොට තිබුණි.

මේ වන විටත් ගැසට් කර ඇති පනත පිළිබඳ බරපතළ සංවාද රැසක් නිර්මාණය වී ඇති බවද සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් මේ අන්තර්ගතය පිළිබඳ දළ අදහසක් පොදු මහජනයා සතු වීම අතිශය වැදගත් බව පෙනී යයි. මන්ද යත් විදුලි බලය යනු ජන ජීවිතය කෙරෙහි තීරණාත්මක සාධකයකි. එම විෂය පරාසය තුළ සිදුවන වෙනස්කම් පිළිබඳව පුරවැසියන් අවදියෙන් සිටිය යුතුමය.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වන විධිවිධාන මෙම පනත් කෙටුම්පත හරහා සම්පාදනය කොට තිබේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම සහ සැපයීමට අදාළ මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබීම ඉදිරියේදී සිදුවනු ඇත. තවද සැලැස්ම සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට අවශේෂ සමාගම් එකක් හෝ කිහිපයක් සංස්ථාගත කිරීම අවශ්‍ය බව පෙනී යන්නේ නම් ඒ සඳහා අවශ්‍ය වන අවශේෂ සඳහා සමාගම් පනතේ විධිවිධාන සලස්වා ඇත.

කෙසේ වෙතත් අදාළ නව විදුලි පනත සම්මත කරගත් පසු ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් කිහිපයකට විකුණා දමා බිලියන ගණනින් ලාබ ලැබීමේ අරමුණින් ජනතාවගේ විදුලි බිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මේ වනවිට දියත් වෙමින් පවතින බවටද විදුලි වෘත්තීයවේදීන් චෝදනා කරනු ලබන්නේ මෙම ප්‍රතිපාදන සලකා බලමිනි.

මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක වන දින සිට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයේ නියාමක ලෙස සලකන බවද මෙම පනත් කෙටුම්පතේ සඳහන් කොට තිබේ. එසේම ජාතික පද්ධති ක්‍රියාකරුගේ කටයුතු පරිපාලනය සහ කළමනාකරණය සඳහා අමාත්‍යවරයා විසින් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනු ලැබිය යුතු බවද එහි දක්වා ඇත.

මෙම තත්ත්වය යටතේ අමාත්‍යවරයාගේ බලය වැඩිවන බවට විදුලි ඉංජිනේරු සංගම් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්ම අවධාරණය කර සිටියි. ඒ අනුව ඇමැතිවරුන්ට සිය පත්කිරීම් හරහා ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතිය සඳහා දැඩි බලපෑමක් එල්ල කිරීමට හැකියාවක් මේ හරහා නිර්මාණය වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර ඉකුත්දා පවසා තිබුණේ මේ හරහා අමාත්‍යවරයාගේ බලය වැඩි නොවන අතර දේශපාලන මැදිහත්වීමෙන් තොරව ආයතන ක්‍රියාත්මක වීමට අවකාශය සැලසෙන බවයි.

වෘත්තීය සමිතිවලට අමතරව රටේ ප්‍රධාන විපක්ෂය වෙතින්ද මෙම පනත සම්බන්ධව දැඩි මට්ටමේ චෝදනා එල්ල කොට තිබේ. මේ පනත කඩිමුඩියේ සකස් කර ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්නට සූදානම් වන්නේ බලාගාර විකිණීමේ අරමුණ පෙරදැරිව බව සමගි ජන බලවේගය කියා සිටියි. බලාගාර විකිණීමට ආණ්ඩුවේ යම් පිරිසක් සූදානමින් සිටින බවත් බලාගාර තරගකාරීත්වයකින් තොරව මිලදී ගැනීමට දේශීය විදේශීය ජාවාරම්කරුවන් පිරිසක් සූදානමින් සිටින බවත් ඔවුහු සඳහන් කරති. මෙම පනත සම්මත වී මාස කිහිපයක් ඇතුළත මන්නාරම සුළං බලාගාරය ආණ්ඩුව විසින් විකුණා දමනු ඇති බවටද ඔවුහු අනාවැකි පළ කරති.

කෙසේ වෙතත් ආණ්ඩුව පාර්ශ්වයෙන් කියා සිටින්නේ  ජනනය, බෙදාහැරීම සහ සම්ප්‍රේෂණය යන කොටස් තුන අතිශය වැදගත් බවයි. ලෝකයේ 90% කට වැඩි රටවල්වල විදුලිබල කර්මාන්තයේ කටයුතු සිදුවන්නේ මේ ආකාරයට බව අමාත්‍යවරයා ඉකුත්දා පැහැදිලි කොට තිබුණි. එසේම ආණ්ඩුව කියා සිටියේ ජලවිදුලි බලාගාර 100% ක්ම රජය සතුව පවත්වාගෙන යෑමටද මේ හරහා යෝජනා කර ඇති බවයි. ගල්අඟුරු බලාගාර, ඩීසල් සහ පුනර්ජනනීය බලාගාර යන මේවාට අනිවාර්යයෙන්ම පෞද්ගලික ආයෝජන සඳහා අවස්ථාව ලබාදිය යුතු බවද අමාත්‍යවරයා ඉකුත්දා සඳහන් කර තිබුණි.

මේ අතර විදුලිබල මණ්ඩල සේවකයන් තමන් හට සිදුවන අලාබ තක්සේරු කර මෙම පනතට විරෝධය පාමින් සිටින බවද තවත් පසෙකින් පෙනී යයි. එසේම මෙම පනත හරහා ඇතැම් පාර්ශ්වවල බල අධිකාරීන් බිඳී යෑම අර්බුදය වර්ධනය වීමට හේතු කාරණා සපයා තිබේ. මෙම ඉදිරි සති දෙකක කාලය තුළදී වෘත්තීය අරගලයක් නිර්මාණය වීමේ අවදානමද බැහැර කළ නොහැකිය. එසේම පනත අධිකරණය හමුවේ අභියෝගයට ලක්වීමටද විශාල ඉඩකඩක් තිබේ.

එහෙත් මෙම අර්බුදය බොහෝ කාලයක් පුරා දික් ඇදුණු බැවින් තරමක් මෙහි සැර බාල වී ඇති බවද සඳහන් කළ යුතුය. සියල්ල නිසි ලෙස කිරා මැන බලා විදුලි පාරිභෝගිකයන් හට යහපතක් සිදුවන පරිදි අවසන් විසඳුමක් කරා සියල්ලන්ම එළැඹිය යුතුය. එසේම එම විසඳුම තිරසාර විසඳුමක් විය යුතුමය.

I චමිඳු නිසල් ද සිල්වා 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05