2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

නිදන කාමරයේදී මියගිය දුම්රිය ලොක්කා!

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 41

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා එම තනතුරේ රාජකාරි අරඹා තිබුණේ ඉකුත් නොවැම්බර් 04 වැනිදා සිටය. දෛනික සේවා කටයුතුවලට අමතරව දින කිහිපයක සිට ඔහුට විශේෂ රාජකාරි කිහිපයක් පැවරී තිබිණ.  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දුම්රිය මාර්ග සංවර්ධන කටයුතු නිරීක්ෂණ වැඩසටහන් මාලාව එහි ප්‍රධාන විය. මේ සඳහා සහභාගී වීමට ඒ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් කොළඹින් පිටත්ව අනුරාධපුර දුම්රිය සංචාරක බංගලාවේ නවාතැන් ගෙන සිට ඇත. එහිදී නින්දට ගිය සාමාන්‍යාධිකාරීවරයාගේ හදිසි මරණය තවමත් අභිරහසකි.

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුර දක්වා කොටස මේ දිනවල කඩිනමින් ඉදිකෙරෙමින් පවතී. ඉන්දියානු ණය ආධාර යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. දැනට තඹුත්තේගම දුම්රිය ස්ථානය ආශ්‍රිතව නවීකරණ කටයුතු සිදුකෙරෙන අතර දුම්රිය ස්ථානය අසල රක්ෂිත ඉඩම්වල අනවසර ඉදිකිරීම් ඊට බාධාවක් වී තිබේ. මේ රක්ෂිත කොටසේ දස සිල් මාතාවක විසින් ආරාමයක් සකසා බෝධියක් චෛත්‍යයක් හා කුඩා විහාර මන්දිරයක් ඉදිකර තිබීම දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට දැඩි බාධාවකි. මේ අතර ඇතැම් මැති ඇමැතිවරුන් දුම්රිය රක්ෂිත ඉඩම් ප්‍රදේශයේ සමහරුන්ට බෙදා දී තිබීම සංවර්ධන වැඩසටහනට ප්‍රධාන ගැටලුවක් වී තිබිණ. මෙකී ගැටලු පිළිබඳ සොයා බලා නිසි පිළියම් යෙදීම දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා ඇතුළු පිරිසගේ අරමුණ විය.

මේ වැඩසටහන සඳහා අමාත්‍යවරයා සහභාගී වීමට නියමිතව තිබුණේ 23 වැනිදාය. ඊට පෙර දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ඇතුළු පිරිස එහි ගොස් අදාළ රාජකාරිවල නිරත වී ඇත. ඒ අනුව තඹුත්තේගම දුම්රිය ස්ථානය ආශ්‍රිත පිරිස් හා සාකච්ඡා කරමින් ඇවැසි උපදෙස් හා පිළියම් ලබා දී තිබිණ. අනතුරුව පිටත් වූ නිලධාරීහු අනුරාධපුර ධර්මපාල මාවතේ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සංචාරක බංගලාවේ නවාතැන් ගත්හ. එහි එක් කාමරයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයාට වෙන් වූ අතර තවත් කාමරයක අනෙක් නිලධාරීන් තිදෙනා නවාතැන් ගත් බව කියැවේ.

නිලධාරීන් පිරිස පෙර දින කතා කරගෙන තිබුණේ පසුදින අලුයම අවදි වී අවශ්‍ය කටයුතු කරන්නටය. එම උපදෙස් මත  බංගලාවේ සේවකයකු උදෑසන 6ට පමණ කාමරයේ දොරට තට්ටු කොට තිබුණේ උදෑසන තේ ලබා දීමටය. එයට ප්‍රතිචාරයක් නොවූයෙන් මිනිත්තු 30කට පමණ පසුව නැවත දොරට ගසා කතා කර ඇත. එයටද කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් දොර කඩා විවෘත කර ඇත. ඒ අවස්ථාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා නිදන ඇඳ අසල බිම වැටී සිටිනවා දැක තිබේ. වහාම ඔහුව රෝහල්ගත කිරීමට බංගලාවේ කාර්ය මණ්ඩලය හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පියවර ගෙන තිබිණ. ඒ මහතා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසා තිබූ අතර හදිසි මරණය සම්බන්ධයෙන් වූයේ දැඩි සැකයකි.

පොලිසිය පැවසුවේද නිශ්චිත හේතුවක් නැති නිසා මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවකි. මරණය 22 රාත්‍රියේ හෝ 23 පාන්දර සිදුවන්නට ඇති බව පොලීසියේ සැකයයි. 58 හැවිරිදි වියේ පසු වූ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතාගේ මරණය අසනීප තත්ත්වයක් නිසා වූ ස්වභාවික මරණයක්ද නැතිනම් වෙනත් හේතුවක් නිසා සිදු වූවක්දැයි සෙවීමට අවශ්‍ය බව මරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු කී උප පොලිස් පරීක්ෂක නන්දසේන මහතා පවසා ඇත. මේ අතර මරණය වූ ස්ථානයේ තිබූ ලේ පැල්ලම් කිහිපයක්ද සැකයට බඳුන් විය. ඒ අනුව මරණය සම්බන්ධයෙන් පරීක්ෂණය හදිසි මරණ පරීක්ෂකවරයා විසින් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නොවන බවද කියා ඇත. මියගිය පුද්ගලයා හා ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් සහ අනුරාධපුර රෝහලේදී මළ සිරුර පරීක්ෂා කර බැලීමෙන් පසුව සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතුව නොපමාව අධිකරණයට දන්වන ලෙසද එම සාක්ෂි මැයි 14 වැනිදා විවෘත අධිකරණය හමුවේ කැඳවීමට කටයුතු කරන ලෙසද අනුරාධපුර මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඊයේ (23) නියෝග කරනු ලැබීය.

මරණය පිළිබඳ විවෘත තීන්දුවක් අධිකරණය විසින් ලබාදුන් පසුව මරණකරුගේ ලේ සහ මුත්‍රා හා ශරීර කොටස් සාම්පල කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත යවා මරණයට හේතුව සොයන බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා කීය. මියගිය අයගේ බාහිර හෝ අභ්‍යන්තර තුවාල කිසිවක් නොවීය. මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසුව දේහය ඥාතීන්ට බාර දී තිබිණි.

හදිසියේ මියගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා මාතලේ පදිංචිකරුවෙකි. මාතලේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු මෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරියකු වන ඔහු මොරටුව විශ්වවිද්‍යාලය වෙතින් පශ්චාද් උපාධිය ලබා ඇති අතර ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ වරලත් සාමාජිකයකු ලෙසද කටයුතු කළේය. 1996 වසරේ සිට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ බණ්ඩාර මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය දුම්රිය මූලස්ථානයේ තබා තිබූ අතර පසුගිය 25 වැනිදා බොරුල්ල කනත්තේදී අවසන් කටයුතු සිදු කෙරිණ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර