2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

මැතිවරණ වසරේ මැයි රැලිත් උණුසුම්

2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:0038

මැයි පළමු වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය කම්කරුවන්ට කෙසේ වෙතත් මෙරට දේශපාලන පක්ෂවලට අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව පෙනෙන්නට තිබේ. තීරණාත්මක මැතිවරණ වසරේ සිය දේශපාලන පක්ෂවල බලය ජවය ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් මැයි රැලි යොදා ගැනීමට සියලු දේශපාලන පක්ෂ කඩිමුඩියේ සූදානම් වෙමින් සිටියි. මෙම සූදානම පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මෙවර පොහොට්ටුවේ මැයි රැලිය බොරුල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර රැලිය සඳහා තේමාව ලෙස යොදාගෙන ඇත්තේ "දිනන රටක් එක ගමනක්‍" යන්නයි. 

මෙවර මැයි රැලිය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගෙන් අප කළ විමසීමකදී, ඔහු සඳහන් කර සිටියේ කැම්බල් පිටිය පමණක් නොව මාර්ගද පිරී ඉතිරී යන තරමේ සෙනගක් මෙවර මැයි රැලියට පැමිණෙනු ඇති බවයි. කොළඹ දැවැන්තම මැයි රැලිය පොහොට්ටුවේ වන බව නිසැක බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජන බලවේගය

මෙවර සමගි ජන බලවේගය සිය මැයි රැලිය පැවැත්වීම සඳහා තෝරාගෙන ඇත්තේ චැතැම් වීදීය කේන්ද්‍ර කර ගනිමිනි. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මැයි දින රැලිය පැවැත්වෙන අතර, සමගි ජන සන්ධානයේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරම් මන්ත්‍රීවරයාගේ සංවිධායකත්වයෙන් වතුකරයේ හැටන් නගරය කේන්ද්‍ර කර ගනිමින්ද මැයි රැලියක් පැවැත්වීමට සමගි ජන බලවේගය සූදානමින් පසුවෙයි.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ මෙවර මැයි රැලිය සජබය විපක්ෂයේ සිට පවත්වන අවසන් මැයි රැලිය වනු ඇති බවයි. මෙම රැලිය සැබෑවටම කම්කරුවන් ඉලක්ක කරන රැලියක් බවත්, මැයි රැලිය සඳහා විශාල ජනතා සහභාගිත්වයක් අපේක්‍ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය

එක්සත් ජාතික පක්ෂය සිය ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළේ කඩයිමක් ලෙස මෙවර මැයි දින රැලිය සලකන බව දැනගැනීමට ලැබේ. ඒ අනුව කොළඹ මරදානේදී මෙවර මැයි දින රැලිය පැවැත්වීමට එජාප නායකත්වය සූදානමින් සිටියි. මැයි දින රැලිය සඳහා සහභාගිත්වය තහවුරු කර ගැනීමට ආසන මට්ටමේ රැස්වීම් මාලාවක්ද එජාපය සංවිධානය කොට තිබුණි.

මේ අතර එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාද ඉකුත්දා පවසා තිබුණේ මෙවර මැයි දිනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසයේ දැවැන්තම මැයි රැලිය පවත්වන බවයි. එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ලක්ෂයකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයක් ඔවුහු අපේක්ෂා කරති.

ජාතික ජන බලවේගය

ජාතික ජන බලවේගයද මෙවර මැයි දිනය ඉතා සුවිශේෂී කොට සලකන බව පෙනී යන්නේ ඔවුන් මැයි දින රැලි කිහිපයක්ම සංවිධානය කිරීම සඳහා කටයුතු කොට ඇති බැවිනි. ඒ අනුව යාපනය, අනුරාධපුරය, කොළඹ, මාතර යන ප්‍රධාන නගර හතරක මැයි සැමරුම් හතරක් සංවිධානය කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කොට තිබේ. සිය දේශපාලන බලය රට වටා ප්‍රදර්ශනය කිරීම ඔවුන්ගේ අරමුණ බව පෙනී යයි.

මැයි දින රැලි සංවිධානය පිළිබඳ ඉකුත්දා මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළේය. යාපනයේ මැයි රැලිය උදෑසනත් ඉතිරි මැයි රැලි හවස් වරුවේත් පැවැත්වීමට ඔවුන් කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.

“‘රට හදන විසඳුමට – ජන බලය එක පෙළට’ යන තේමාව සහිතව මෙවර මැයි දිනය පැවැත්වෙනවා. ජාතික ජන බලවේගය ගොඩනැගුවාට පසුව පවත්වන පළමුවැනි මැයි දිනය මෙයයි. මේ මැයි දිනය පවත්වන්නේ ඉදිරියේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාවකයි. මේ මැයි දිනය ජනාධිපතිවරණයට ශක්තියක් වෙන යෝධ පියවරක් තබාවි යැයි අපි විශ්වාස කරනවා."

ශ්‍රීලනිපය

මීට අමතරව මේ දිනවල දැඩි අර්බුදයකට මැදිව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිය මැයි දිනය සංවිධානය කිරීම සඳහා කටයුතු කරමින් සිටියි. ඒ අනුව අර්බුදය හමුවේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැලිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රීලනිප වැඩ බලන මහ ලේකම්  දුෂ්මන්ත මිත්‍රපාල මහතා පසුගියදා පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනිත් පාර්ශ්වයද මැයි දිනය වෙනුවෙන් යම් වැඩසටහනක් දියත් කරනු ඇතැයි කියැවේ.

මෙම ප්‍රධාන මැයි රැලිවලට අමතරව  උතුරේ සහ දකුණේ තවත් දේශපාලන පක්ෂ විවිධ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් මැයි දින වැඩසටහන් දියත් කරමින් සිටියි. කෙසේ වෙතත් නිර්මාණය වී ඇති මැතිවරණ උණුසුම හමුවේ ප්‍රධාන පක්ෂවල මැයි රැලි පිළිබඳව ඉහළ අවධානයක් යොමුව ඇති බව පැහැදිලිය. 

I චමිඳු නිසල් ද සිල්වා

2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02