2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා

උසාවියටම ගිය ශ්‍රීලනිපයේ අයිතිය

 2024 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 23

ශ්‍රී ලාංකේය පක්ෂ දේශපාලනයේ බලය හුවමාරු ක්‍රමවේදය තුළ එක් පාර්ශ්වයක් නියෝජනය කළ පක්ෂයක් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරුණුම විනාශය මේ වනවිට පක්ෂ සාමාජිකයන් ඉදිරිපිට සිදුවෙමින් පවතී. බණ්ඩාරනායක ප්‍රතිපත්තිය මත ආරම්භ කළ එකී පක්ෂය අද නන්නත්තාර වී ඇත. උතුරු දකුණ මාරු වී ඇත. නඩු ගොඩක ගොදුරක් වී ඇත. සරලවම අද අතට හතේ හත වැදී ගොස් අවසන්ය.

එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගෙන් ඇරඹි ශ්‍රීලනිපය සිරිමාවෝ මැතිනිය, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ දක්වා ඉදිරියට ගමන් කළද මහින්ද පක්ෂය අත්හැර මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂය හුවමාරු වීමත් සමඟ ශ්‍රීලනිපයේ මළගම ආරම්භ වූවා යැයි ඇතැමකුට කිව හැක. ඒ මේ වනවිට දකින සිදුවීම් අනුවය. එහෙත් පක්ෂයේ මළගම සිදු කළේ කවුද යන්න ඉතිහාසයේ සලකුණු වනු ඇත.

ශ්‍රීලනිපයේ සෝදා යාම් ඉතිහාසය පුරාම පැවතිණි. මැතිනියගේ සමයේදී පක්ෂයේ මන්ත්‍රී ධුර ගණන අටකට බැස්සේය. එහෙත් පක්ෂය වැටුණේ නැත. නායකත්වය සැලුණේ නැත. කොටින්ම නායකත්වය පීචං වුණේ නැත. ඉන් අනතුරුව 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට බලය හිමිවීමත් සමඟ එක් අවස්ථාවකදී එස්.බී. ඇතුළු පිරිසක් එජාපයට ගියහ. එහෙත් පක්ෂය කඩා වැටුණේ නැත. එසේම එය පක්ෂයට අභියෝගයක් වූයේද නැත.

යුද ජයග්‍රහණය හමුවේ ශ්‍රීලනිපයේ ජනප්‍රිය නායකයා බවට මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ ජනතාවගේ කැමැත්ත මහින්ද වටා එක්වූවා මිස පක්ෂය වටා එකතු වුණේ නැත. ඊට හේතු වූයේ පක්ෂ ප්‍රතිපත්තියට වඩා මහින්ද ප්‍රතිපත්තිය ප්‍රබල වීමය. අවසානයේදී මහින්ද පරාජය වී ශ්‍රීලනිපයේ සභාපතිත්වය මෛත්‍රීපාල සිරිසේනට ලබාදීමත් සමඟ පාක්ෂිකයන් බහුතරයකගේ ප්‍රශ්නය වූයේ "මහින්ද නැතුව දිනන්න පුළුවන්ද?" යන්නයි. මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය මත අවසානයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බහුතර ශ්‍රීලනිප ලෝලීන්ගේ නවාතැන්පොළ බවට පත් විය.  

එදා ශ්‍රීලනිපයට අභියෝගය වූයේ අන්ත දක්ෂිණාංශික එජාපයයි. එහෙත් මෙදා ශ්‍රීලනිපයට අභියෝගය වූයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තියෙන් පසුව ජනතාවගේ ඇස් බැන්දුමට ලක්වූ මහින්ද ප්‍රතිපත්තියයි. ඒ අනුව ශ්‍රීලනිපයේ බහුතරය මහින්ද වටා පෙළ ගැසුණහ. ඒ අතර මෛත්‍රීපාල සිරිසේන විසින් චන්ද්‍රිකා කුමාරතුංග ද පක්ෂයෙන් ඉවත් කළේ පක්ෂයම තමා වෙත නතුකර ගැනීමේ අරමුණ ඇතිවය.

මෛත්‍රීපාල යුගයේ පාස්කු  ප්‍රහාරය සිදුවීමත්, යහපාලන යුගය විහිළුවක් වීමත් නිසා මෛත්‍රීපාල සිරිසේන අසාර්ථක නායකයෙක් ලෙස හංවඩු ගැසුණේය. එපමණක් නොව, ඔහුගේ ඇතැම් දෙබිඩි පිළිවෙත් නිසා පක්ෂ සාමාජිකයන්ගේ විශ්වාසයද බිඳ වැටිණි. එලෙස දිනෙන් දින ශ්‍රීලනිපය පිරිහී ගියේය.

එහි දරුණුම මොහොත උදා වූයේ 2020 අගෝස්තු මහ මැතිවරණයත් සමඟිනි. ශ්‍රීලනිපය පොහොට්ටුව සමඟ අත්වැල් බැඳගත්තද ඇතැම් පැරණි ශ්‍රීලනිප සාමාජිකයන්ට නාමයෝජනා පවා අහිමි විය. මේ නිසා පිරිසක් පක්ෂයෙන් ඉවත් වී ගියහ. පසුව ගෝඨාභය ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රීලනිපයට දුන් පොරොන්දු ඉෂ්ඨ කළේද නැත. මේ හේතුවෙන්ද ඇතැම් මැති ඇමැතිවරු කලකිරීමෙන් සිටියහ. එහෙත් මෛත්‍රීපාල ශ්‍රීලනිප අයිතිය වෙනුවෙන් සටන් කළේ නැත. ඒවා සාකච්ඡාවලට පමණක් සීමා විය. මේ නිසා ශ්‍රීලනිපය විහිළුවක් විය. රාජපක්ෂවරු ශ්‍රීලනිපය තඹයකට මායිම් නොකළහ.

පක්ෂයේ විනාශය ඒ වනවිට ආරම්භ වී තිබුණි. ජන අරගලයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන සර්වපාක්ෂික ආණ්ඩුවකට යෝජනාවක් ගෙනාවේය. එහෙත් අනෙකුත් පක්ෂ එකඟ නොවූ නිසා ශ්‍රීලනිපය අවසානයේ එම යෝජනාව හකුල ගත්තේය. අනතුරුව ශ්‍රීලනිපයේ පිරිසක් ගොස් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට එක්වූහ. ඒ මොහොතේ ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර එම පිරිසට එරෙහිව විනය පියවර ගත්තේය. ඒ ඔවුන් පක්ෂයේ ප්‍රතිපත්ති කඩා දමමින් ආණ්ඩුවට එකතු වීම හේතුවෙනි. මෛත්‍රීපාලද ඊට එකඟත්වයක් පෙන්වීය.

අනතුරුව නඩු පිට නඩු වැටී මෛත්‍රීපාල සිරිසේන පඹ ගාලක පැටලෙන විට, තමන් ළඟින්ම සිටි දයාසිරි ජයසේකරට ප්‍රහාර එල්ල කළේය. එසේ සිදු කළේ ආණ්ඩුවට ගිය පිරිස සමඟ එක්වෙමිනි. මෛත්‍රීපාල සිරිසේනට ඒ මොහොතේ ආණ්ඩුවට එක්වූ පිරිස සමඟ සිටීම ප්‍රශ්නයක් වූයේ නැත. එහෙත් එම දීගය වැඩි කල් පැවතුණේ නැත. මෛත්‍රීපාල රේල් පීල්ල මාරු කළේය. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කතාවත් සමඟිනි.  

රහසිගතව කිහිප වතාවක් මෛත්‍රීපාල ඇතුළු පිරිස චම්පික රණවක හමුවෙමින් පක්ෂයේ අපේක්ෂකයා බවට පත්කිරීමට උත්සාහ කළේය. එහෙත් එය සාර්ථක වූයේ නැත. චම්පික වැඩේ මග හැරියේය.

ආණ්ඩුවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිප විධායක කමිටුව ඉදිරියේ මතුවූයේ එවන් මොහොතකය. ඒ කිසිදු සාමාජිකයකුගේ අනුදැනුමකින් තොරවය. ඒ මොහොතේ මෛත්‍රීපාලගේ ගැලවුම්කරුවන් ලෙසට කාලයක සිට පෙනී සිටි මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන තිදෙනාට ප්‍රහාරය එල්ල කළේ පක්ෂයේ සියලු තනතුරුවලින් නෙරපා හරිමිනි. මෛත්‍රීපාල සිරිසේන කාගේ අනුදැනුම මත කා වෙනුවෙන් එම තීන්දු ගන්නවාද යන්න ප්‍රශ්නයකි. එහෙත් දුමින්ද දිසානායක පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන නඩු හබ රුසක් හමුවේ පවතින මානසික පීඩනය මත මෙලෙස හැසිරෙන බවය. කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂ සභාපතිත්වය වාරණය වනවිට මෛත්‍රීපාල විසින් ඉවත් කළ පිරිස වෙනම එකතු වී ශ්‍රීලනිපය ආරක්ෂා කරගැනීම සඳහා දේශපාලන මණ්ඩලය රුස් කළහ. එම රුස්වීමේදී වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්විය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙනි.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ මෛත්‍රී පාර්ශ්වය කීවේ වැඩබලන ලේකම් දුෂ්‍මන්ත මිත්‍රපාල විසින් එසේ දේශපාලන මණ්ඩලයට කැඳවීමක් කර නොමැති බවයි. එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සභාපතිවරයකු ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතාට එවැනි කැඳවීමක් කළ හැකි බව එම පිරිසේ මතය විය. කෙසේ වෙතත් මෙය අවසානයේ ගැටුමක් බවට පත් විය.

මේ සියලු සිදුවීම් මැද මෛත්‍රීපාල සිරිසේන මහතා විජයදාස රාජපක්ෂ මහතා වෙත වැඩබලන සභාපතිත්වය පැවරීම සඳහා කටයුතු කළේය. ඒ එක්තරා අපේක්ෂක එකඟතාවයක් අනුවය. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ චෝදනාවලට මෙන්ම වරදකරුවකු ලෙස දඩ පවා ගෙවීමට සිදුවූ මෛත්‍රීපාල සමඟ අධිකරණ අමාත්‍යවරයා එකට සිටගැනීම කෙතරම් සදාචාර සම්පන්නද යන්න ගැටලුවකි. මෛත්‍රීපාල සිරිසේන, විජයදාස මහතා සමඟ එක්වීම බොහෝ දෙනා විවේචනය කළේ ඒ හේතුවෙනි.

අවසානයේදී අධිකරණය විසින් මෛත්‍රීපාල සිරිසේනගේ සභාපති ධුරය පමණක් නොව, විජයදාස රාජපක්ෂ මහතාගේ වැඩබලන සභාපතිත්වයද මිත්‍රපාලගේ වැඩබලන ලේකම් ධුරයද තාවකාලිකව අහෝසි කරනු ලැබීය. ඒ අනුව මේ වනවිට ශ්‍රීලනිපය තනතුරු අහිමි පක්ෂයක් බවට පත්ව ඇත. මේ සියල්ල මැද නැවතත් දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම පක්ෂයේ සභාපතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා සහ වැඩබලන ලේකම් ලෙස දුමින්ද දිසානායක පත් කළේ ශ්‍රීලනිපය ඔවුන් වෙතට නතු කර ගනිමිනි. එහෙත් මේ මොහොතේ සැබෑ ශ්‍රීලනිපය කොහිදැයි පාක්ෂිකයෝ නොදනිති. අඩුම තරමින් ලොකු ලොක්කෝද නොදනිති. කිසිදා ශ්‍රීලනිපයේ සාමාජිකයකු නොවුණු හදිසියේම පක්ෂයට පැමිණි විජයදාසලා පක්ෂ නායකයන් බවට පත්වන තැනට අද ශ්‍රීලනිපය ඇද වැටී ඇත. අද පක්ෂය සම්බන්ධයෙන් අවුල් පමණක් නොව නඩු ගොඩකි. ඒ අනුව අද ශ්‍රීලනිපය අවසන් හුස්ම අදිමින් සිටින කුඩා පක්ෂයක් බවට පත්ව ඇත. මේ දෙස බණ්ඩාරනායක මහතා බලා සිටිනවා නම් ඔවුන්ට මොනවා සිතෙනු ඇතිද?

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05