කිරිපිටි යනු මෙරට ජනයාට අත්‍යවශ්‍ය ද්‍රව්‍යයකි. මේ වන විට ඩොලරයේ අගය කෙමෙන් කෙමෙන් පහත වැටෙමින් තිබෙන තත්ත්වයක් යටතේ කිරිපිටි මිලද පහළ යනු ඇතැයි ජනතාවගේ අපේක්ෂාව වී තිබේ. එහෙත් එවැන්නක් දැකිය නොහැකිය. ඩොලරය ඉහළ යන විට රොකට් වේගයෙන් බඩු මිල ඉහළ ගියද පහත වැටෙන විට එලෙස පහළ යන්නේ නැත.
ඩොලරගේ අගය අඩුවීම සැලකිල්ලට ගෙන නවසීලන්තයේ සිට ආනයනය කරන කිරිපිටි මිල අප්‍රේල් 25දා සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දැමීමට කටයුකු කරන බවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සමාජිකයෙක් වන ආචාර්ය ලක්ෂ්මන් වීරසූරිය මහතා පසුගිය 24දා ප්‍රකාශ කළේය. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 350ත්අතර මිලකින් පහළ දැමෙනු ඇති අතර ග්‍රෑම් 400ක මිලද රුපියල් 100ත් 140ත් අතර මිලකින් පහළ යනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. එවිට ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 910ත් 950ත් අතර අගයක් ගනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
ලක්ෂ්මන් වීරසූරිය මහතා එලෙස ප්‍රකාශ කළද තම සංසදය කිරිපිටි මිල අඩුකිරීමට මෙතෙක් තීරණය කර නොමැති යැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පසුදිනම ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල මට්ටමෙන් කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවද යළි මිල අඩු කිරීමක් සිදුකරන බවට වන ප්‍රවෘත්තිය සාවද්‍ය බවද ඔහු සඳහන් කළේය.
මෙම පරස්පර ප්‍රකාශ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දේශය ලක්ෂ්මන් වීරසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු මේ දිනවල විදේශගතව සිටින බැවින් සම්බන්ධ කරගත නොහැකි විය.
පසුගිය මාසයේදී ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 රුපියල් 60කින් සහ කිලෝග්‍රෑමය රුපියල් 150කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවෝ පියවර ගත්හ. සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා වෙළෙඳ අමාත්‍යංශය විසින් කළ ලද ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන්, සියලුම කිරිපිටිවල මිල 2024 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව දැනට ග්‍රෑම් 400 ඇසුරුමක උපරිම සිල්ලර මිල රු. 1,050/- ක් ලෙස පවතී.
මෙරටට ආනයනය කෙරෙන කිරිපිටි වර්ග රැසක් තිබේ. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොළෙන් අප කළ විමසුමකදී දැකගත හැකි වූයේ විවිධ මිල ගණන් යටතේ කිරිපිටි අලෙවි වන බවයි. මැලිබන් කිරි කිලෝව රු. 2770ක් වන අතර ග්‍රෑම් 400 රු. 1050කි. ලක් කව් කිලෝව රුපියල් 2640ක් වන අතර ග්‍රෑම් 400 රු.1030කි. පියෝඩේල් ග්‍රෑම් 400 රුපියල් 910කි. ඩානෝ ග්‍රෑම් 400 රුපියල් 1100කි. මිල්කා ග්‍රෑම් 400 රුපියල් 1050කි. සූරිය කිරි ග්‍රෑම් 400 රුපියල් 980කි. ඇන්කර් සහ රත්ති ග්‍රෑම් 400 ද රුපියල් 1050 බැගින් අලෙවි වේ. ලක්ස්ප්‍රේ කිලෝව 2675කි. මේ සියල්ල ආනයනික කිරිපිටිය. එහෙත් මෙරට නිෂ්පාදනය කරන පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400 ද රුපියල් 1100කි.
ආනයනික කිරිපිටි මිල වරින් වර ඉහළ දැමුණේ ඩොලරයේ අගය ඉහළ ගිය බව පවසමිනි. අවසන් වරට 2024 ජනවාරියේ ග්‍රෑම් 400 ක පැකට්ටුවක මිල රුපියල් 30 කින් සහ කිලෝග්‍රෑම් එක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 75 කින් ඉහළ දැමීමට ආනයනකරුවන් පියවර ගත්තේ ‘වැට්’ බද්ද ඉහළ දැමීම හේතුවක් ලෙස සඳහන් කරමිනි. ඒ අනුව රුපියල් 1,080 ක්ව පැවැති ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1,110 ක් දක්වා වැඩි විය.
2021 වසරේ ඔක්තෝබරයේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1,195කි. ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 480ක් විය. රට මුහුණ පෑ ආර්ථික අර්බුදය හමුවේ සියලු ආනයනික භාණ්ඩ මිල ඉහළ ගිය අතර, කිරිපිටි මිලද විශාල වශයෙන් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවෝ පියවර ගත්හ. එහෙත් ඩොලරය වැඩිවන විට වේගයෙන් ඉහළ ගිය කිරිපිටි මිල ඩොලරය පහත වැටෙන විට එම වේගයෙන්ම පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන් සූදානම් නොමැති බව පෙනෙන්නට තිබේ.
කිරිපිටි ආනයනකරුවන් විශාල ලාබයක් උපයන බවට අනාවරණ වූයේ පසුගියදා ඔවුන් හා පාරිභෝගික අධිකාරියේ නිලධාරින් සහ වෙළෙඳ අමාත්‍යංශයේ නිලධාරින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට කැඳවූ අවස්ථාවේය. ආනයනික කිරිපිටි සඳහා සකස් කළ මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක කර නොමැති බවද, මේ හේතුවෙන් ආනයන සමාගම් අධික ලාබයක් උපයා ඇති බවද එහිදී අනාවරණ විය. එම අනාවරණයෙන් පසු කිරිපිටි ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය මාර්තු මස 25 දින සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට ආනයනකරුවෝ එකඟ වූහ. අමාත්‍යවරයා ඉල්ලා සිටියේ රුපියල් 150ක අඩු කිරීමකි. එහෙත් ආනයනකරුවන් කියා සිටියේ තමන්ට උපරිම වශයෙන් අඩු කළ හැක්කේ රුපියල් 100ක් වැනි මිලක් බවයි. කෙසේ නමුදු අවසානයේ කිරිපිටි කිලෝවක් රුපියල් 150කින් හා ග්‍රෑම් 400ක පැකට්ටුවක් රුපියල් 60කින් පහළ දමන්නට ඔවුහු එකඟ වූහ.
මෙම ලිපිය ලියන අප්‍රේල් 30 වැනි දිනය වන විට ඩොලරය රුපියල් 297.47 දන්වා පහත වැටී ඇත. ඒ අනුව කිරිපිටි මිල තවදුරටත් පහත දැමිය හැකිය. වෙළෙඳ අමාත්‍යවරයා පසුගිය කාලයේ ප්‍රකාශ කළේ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල පහත වැටී ඇති බවයි. මේ හේතුවෙන් කිරිපිටි ආනයනකරුවන් අධික ලාබයක් උපයන හෙයින් ඔවුන් එම සහනය ජනතාවට ලබා නොදෙන්නේ නම් එය බද්දක් ලෙස ආණ්ඩුව අයකර ගත යුතු බවද ඔහු කීවේය. ඒ අනුව පසුගිය සැප්තැම්බරයේ සිට 10෴ක වරාය සහ ගුවන්තොටුපළ බද්දක් අයකිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. එම බද්ද අය කළද ආනයනරුවන්ට කිරිපිටි මිල වැඩි කිරීමට අවසර නොමැති බවද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරේ අගභාගය වන විට කිරිපිටි අලෙවිය පහත වැටිණි. මසකට ටොන් 8,000ක් අලෙවි වූ කිරිපිටි ප්‍රමාණය ටොන් 3,000 දක්වා පහත වැටිණි. දැන් යළිත් කිරිපිටි ඉල්ලුම වැඩිවෙමින් තිබේ.
කිරිපිටි ආනයනකරුවන් ප්‍රකාශ කරන්නේ කිරිපිටි සඳහා ගෙවන්නට සිදුව ඇති අධික බදු හා වරාය ගාස්තු හේතුවෙන් තවදුරටත් කිරිපිටි මිල පහත දැමිය නොහැකි බවටය. කිරිපිටි ආනයනය කිරීමේදී රුපියල් 600 පමණ මුදලක් බදු ලෙස ගෙවීමට සිදු වී ඇතැයි ඔවුහු පවසති. එහි සාමාජිකයකු ප්‍රකාශ කළේ, කොළඹ වරායට ගෙන්වන විට කිරිපිටි කිලෝවක මිල රුපියල් 1100ක් පමණ වන බවයි. ආණ්ඩුව විසින් පනවා ඇති අධික බදු ඉවත් කිරීමට කටයුතු කරන්නේ නම් කිරිපිටි පැකට්ටුවක් ජනතාවට රුපියල් 600-650 අතර මිලකට ලබා දිය හැකි බවද ඔහු පවසයි. කිරිපිටි කිලෝවක් මෙරටට ආනයනය කිරීමේදී රුපියල් 225ක් ආනයන බදු වශයෙන් අයකරන අතර වැට් බදු ලෙස රුපියල් 165ක්ද, සමාජ ආරක්ෂණ බද්ද ලෙස රුපියල් 55ක්ද, වරාය හා ගුවන්සේවා බද්ද වශයෙන් රුපියල් 122ක්ද අයකෙරෙන අතර ඒ අනුව කිරිපිටි කිලෝවක් සඳහා අයකෙරෙන සමස්ත බදු මුදල රුපියල් 600 කට ආසන්නය.
කෙසේ නමුදු සෑම ව්‍යාපාරිකයෙක්ම තමන් ලබන ලාබය වැඩි කර ගැනීමට කටයුතු කරයි. ඩොලරයට සාපේක්ෂව නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටි මිල තවත් අඩු කළ හැකිබවට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු ප්‍රකාශ කළද ඇතැම් ආනයනකරුවන් එයට එතරම් කැමැත්තක් නොපෙන්වන්නේ ඔවුන් ලබන ලාබය අඩු කර ගැනීමට අකමැති බැවිනි. ඔවුන් අධික ලෙස ලාබ උපයන විට ඉන් තැලෙන්නේ මෙරට පාරිභෝගිකයාය. තම දරුවාට කිරි වේලක් ලබා දෙන්නට නොහැකි මව්වරු විශාල පිරිසක් අද රටේ සිටිති. මෙරට බලධාරින්ට ඒ ගැන වගේවගක් නැත. එසේ හැඟීමක් තිබේ නම් දැඩි ලෙස ආර්ථික පීඩාවෙන් පෙළෙන ජනතාවට සහන ලබාදීමට ඔවුන් කටයුතු කළ යුතුය. කිරිපිටි මිල අඩු කරන්නේ නැතිනම් ඒ වෙනුවට බද්දක් අය කරන්නට පියවර ගැනීමෙන් ජනතාවට සැලසෙන සෙතක් නැත. බලධාරීන් කටයුතු කළ යුත්තේ කෙසේ හෝ මෙම වෙළෙඳ ඒකාධිකාරයට කිසියම් බලපෑමක් කොට ජනතාවට සහන මිලට කිරිපිටි ලබාදීමට කටයුතු කිරීමය. ආනයනික බදුවලින් තොර දේශීය කිරිපිටිද ආනයනික කිරිපිටිවලට වඩා මිල අධිකය. ආණ්ඩුව කියන්නේ දේශීය කිරිගොවියා ආරක්ෂා කිරීම සඳහා එම මිල ගණන් පවත්වාගෙන යන බවයි. එසේ නම් කිරිපිටි ආනයනකරුවන් උපයා ගන්නා අධික ලාබයෙන් සුළු සහනයක් හෝ ජනතාවට ලබාදෙන ලෙසට ආණ්ඩුව කිසියම් බලපෑමක් කළ යුතුය. එමෙන්ම ආණ්ඩුවටද මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් තිබිය යුතුය. කිරිපිටි සඳහා අධික බදු පැනවීමෙන් අසරණ වන්නේ ආනයනකරුවන් නොව රටේ ජනතාවයි.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සඳහන් කරන්නේ ''අත්‍යවශ්‍ය භාණ්ඩ හා සුඛෝපබෝගී භාණ්ඩ වෙන්කර පාරිභෝජන භාණ්ඩවල මිල තීරණය කිරීමේදීත් බදු අය කිරීමේදීත් විශේෂ ප්‍රතිපාදනයක් තිබිය යුතු බවටය. ලංකාවේ එවැනි ප්‍රතිපත්තියක් තවම සැකසී නොමැත. දේශීය කිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති බැවින් ආනයනික කිරිපිටි සඳහා ඉල්ලුම අධිකය. බලධාරීන් කියන්නේ'' දේශීය කර්මාන්ත රුකගන්න ආනයනික භාණ්ඩවල බදු වැඩි කරනවා'' යනුවෙනි. එහෙත් වෙළෙඳපොළේ ආනයනික හෝ දේශීය භාණ්ඩවල මිලේ කිසිදු වෙනසක් නොමැත. තවත් වසර අවුරුදු 10 කටවත් පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවද ඔහු සඳහන් කරයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා