2024 මැයි 04 වන සෙනසුරාදා

සද්දෙ තරමට බහින්නෙ නැති තෙල් මිල

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 35

පසුගිය අප්‍රේල් මස 30 දින මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් මිල පහත දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් පමණක් ලීටරය රුපියල් 3 කින් අඩු කළද සෙසු ඉන්ධන වර්ග ඇඟට දැනෙන පරිදි මිල අඩුකර ඇති බව පෙනෙන්නට තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 20 කින් අඩුකර ඇති අතර, සුදු ඩීසල් රුපියල් 30 කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 9 කින්ද පහළ දමා ඇත. භූමිතෙල් ලීටරය ද රුපියල් 30 කින් අඩුකර තිබේ.

මෙයට පෙර අවසන් වරට පසුගිය මාර්තු 31දා ද ඉන්ධන මිල සංශෝධන කළද එහිදී ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්රල්වල මිල සංශෝධනය කළේ නැත. එහිදී ඔක්ටේන් 95 පෙට්රල් ලීටරය රුපියල් 7 කින්ද සුපිරි ඩීසල් රුපියල් 72 කින්ද අඩු කළ අතර භූමිතෙල් මිල ලීටරය රුපියල් 12 වැනි සුළු මුදලකින් පහළ හෙලුවේය. මෙම මිල සංශෝධනයේදී ධනපතියන් පමණක් භාවිත කරන ඉන්ධනවල මිල අඩු කළද පොදු ජනතාව භාවිත කරන ඉන්ධනවල මිල අඩු නොකළ බවට චෝදනා එල්ල විය. පසුගිය අප්‍රේල් 30 දින කළ මිල අඩු කිරීමේදී වැඩියෙන් භාවිත වන ඉන්ධනවලද මිල පහළ දැමුවේ එල්ල වූ චෝදනාවලට පිළිතුරක් වශයෙන් විය හැකිය. 

ඉන්ධන මිල අඩුවන විට ඉන්ධන නිෂ්පාදනයේ අතුරුඵලයක් වන ගෑස් මිලද අඩු වෙයි. අද හෙටම එම මිල සංශෝධනය කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය. මාර්තු මස 31 වැනිදා ඉන්ධන මිල අඩු කළ විට අප්‍රේල් 1දා සිට ගෑස් මිලද අඩු කෙරුණි. ලිට්රෝ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 135 කින් අඩු වූ අතර ලාෆ් ගෑස් කිලෝ 12.5 සිලින්ඩරය රුපියල් 625 කින් පහළ ගියේය. මෙහිදී ලිට්රෝ සහ ලාෆ් ගෑස් මිල සම වූ අතර සෙසු ගෑස් සිලින්ඩරවල මිලද එයට සමානුපාතිකව අඩු විය.
ආණ්ඩුව ඉන්ධන මිල අඩු කළේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීම මෙන්ම ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සෑහෙන තරමට අඩු වූ නිසා බව පැවසේ. එහෙත් මෙම අඩුවීම්වලට සාපේක්ෂව ඉන්ධන මිල අඩු කළාද යන්න පිළිබඳ ජනතාව අතර කුකුසක් මතු වී තිබේ. රුපියල අවප්‍රමාණ වූවා යැයි එකවරම දෙතුන් ගුණයකින් ඉන්ධන මිල ඉහළ දැම්මද අඩු කිරීමේදී මන්දගාමී ස්වරෑපයක් දක්වන බවට ජනතාව නගන චෝදනාව සාධාරණ බව පෙනී යයි. පසුගිය දිනවල සුළු වශයෙන් ඉන්ධන මිල අඩු කළ අන්දම කැපී පෙනෙයි. මෙලෙස කර ඇත්තේ අඩු නොකර ඉන්නට බැරිම තැනට පත්වූ පසුව යැයි ජනතාව අදහස් පළ කරති.

මෙසේ විටින් විට ස්වල්ප වශයෙන් මිල අඩු කළ විට සිදුවන විපත වන්නේ ඉන්ධන මිල වැඩි කළා යැයි මහ ඝෝෂාවක් නගමින් ඉහළ නැංවූ භාණ්ඩ හා සේවා මිල පහළ නොහෙලීමය. එසේ අඩු වුවද එය සිදුවන්නේ ස්වල්ප වශයෙනි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල, සේවාවල සහ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල පහළ යාමක් සිදුව නොමැති තරම්ය. ආසන්නතම උදාහරණයක් ගෙන සාකච්ඡා කළ විට අපට පෙනී යන්නේ ඉන්ධන මිල වැඩි වූවා යැයි රුපියල් 3000 ට ආසන්න ලෙස ඉහළ ගිය සිමෙන්ති මිල අඩුව ඇත්තේ රුපියල් 50 ක් වැනි සුළු මුදලකින් බවයි. ඊයේ පෙරේදා රුපියල් 50 කින් අඩුවූ අතර එයට පෙරද රුපියල් 50 – 100 වැනි සුළු මුදලකින් අඩු කෙරුණි. යකඩ, තීන්ත ආදී ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල විශාල ලෙස වැඩි වුවද තවමත් පහළ යන බවක් පෙනෙන්නට නැත.

ආහාර ද්‍රව්‍යවල මිල ගැනද කිව යුත්තේ මෙයමය. තෙල් සහ ගෑස් මිල වැඩි වූවා යැයි කෑකොස්සන් ගසමින් ඉහළ දැමූ ආහාර ද්‍රව්‍යවල මිල අඩු කෙරෙන්නේ ඉබි ගමනෙනි. තේ එකේ සිට සියලුම කෙටි කෑම වර්ගවල මිලද අඩු වී නැත. අඩු වූවා නම් එය ඉතාම ස්වල්ප වශයෙනි. මේ සෑම ද්‍රව්‍යයකම මිල නියාමනය කිරීමට රජයට හැකියාවක් නොමැති බව සත්‍යයකි. එහෙත් රජය ජනතාවට සහන සැලසීමේ අපේක්ෂාවෙන් සිදු කරන විවිධ මිල පහළ දැමීම්වල ප්‍රතිඵල ජනතාවට කාන්දු විය යුතුය. එසේ නොමැතිව අතරමැදියන් හෝ ව්‍යාපාරිකයන් ඒවා උදුරා ගන්නේ නම් පොදු ජනතාවට දෙවියන්ගේම පිහිටය. මෙවර ඇඟට දැනෙන පරිදි ඉන්ධන මිල අඩු කළද ඒ හේතුවෙන් බස් ගාස්තු හෝ ප්‍රවාහන ගාස්තු පහළ හෙලිය නොහැකි බව ධාවකයෝ පවසති. ඒ සඳහා ඔවුන් විවිධ හේතු ඉදිරිපත් කරනු පෙනෙන්නට තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් ගාස්තු අඩුකිරීම පිළිබඳ නියෝගයක් නිකුත් කල බව පැවසුවද මේ ලියන මොහොත දක්වා එවැන්නක් සිදුව නැත. එවැනි උපදෙස් පිළිපැදීමට බස් ව්‍යාපාරිකයන් එකඟ නොවන බවද දැනගන්නට තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නගෙන් බස් ගාස්තු අඩු කළ හැකිදැයි විමසූ විට ඔහු එකහෙලා පැවසුවේ මේ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ සලකා බැලිය නොහැකි බවය. ජාතික ගමනාගමන ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මාසයේ බස් ගාස්තු වෙනස් කිරීම පිළිබඳ තීරණ ගැනීමට නියමිත අතර ඒ පිළිබඳ යම් තීරණයක් ගත හැක්කේ ජූලි මාසයේදී වන බව ඔහු පැවසීය. ඔහු තවදුරටත් පැවසුවේ අද පවතින තත්ත්වය හමුවේ ජූලි මාසයේදී වුවද බස් ගාස්තු අඩුවේ යැයි තමා නොසිතන බවය.

''අපි පසුගිය මාස දෙක තුළ බස් ධාවනය කළේ ඩීසල් ලීටරයකට රුපියල් 27ක් පාඩුවටයි. දැන් පවතින ඉන්ධන මිල අනුව සැලකුවද තවමත් දුවන්නේ ලීටරයකට රුපියල් 3ක පාඩුපිට බව පැවසිය යුතුයි. ඒ නිසා බස් ගාස්තු අඩුවේ යැයි සිතන්න බැහැ. කොහොම වුණත් අපි බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා. එය උල්ලංඝනය කරන්නේ නැහැ. පසුගිය වසරේ ජූලිවල ඩීසල් ලීටරය රුපියල් 336 යි. නව සංශෝධනය අනුව රුපියල් 333 වෙලා තියෙනවා. රුපියල් 3ක අඩුවක් තමා වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව ගාස්තු අඩු කරන්නේ කෙසේද?''

යම් විදියකින් ගමනාගමන ඇමැතිවරයා බස් ගාස්තු අඩු කළ යුතු බවට තරයේ උපදෙස් දුනහොත් සිදුවන්නේ කුමක්දැයි විමසූවිට සභාපතිවරයා මෙසේ පැවසුවේය.

''අපි නම් හිතන්නෙ නැහැ ඇමැතිතුමා එහෙම අමනෝඥ තීරණයක් ගනීවි කියලා. එතුමා එහෙම ඒකපාර්ශ්වික තීරණ ගන්නේ නැති බවට විශ්වාසයි. පසුගිය කොවිඩ් සමයේ අපේ කර්මාන්තය බිඳ වැටුණා. එහෙත් අපි ජනතාව ගැන කල්පනා කරලා ගාස්තු වැඩිවීමකට ගියේ නැහැ. ඊටපස්සෙ රටේ ආර්ථිකය බිඳවැටී රට බංකොලොත් වූ පසුත් අපි පාඩුවට බස් දිව්වා මිස ගාස්තු වැඩිකර ගන්න බලපෑම් කළේ නැහැ. අපි විශ්වාස කරනවා ඇමැති බන්දුල ගුණවර්ධන ඒ පිළිබඳ වටහාගෙන ඇතිය කියලා. ඒ නිසා එතුමා ඒකපාර්ශ්වික තීරණවලට යන එකක් නැහැ.''

සුදිල් ජයරුක් සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සහ රියැදුරන්ගේ සංගමයේ සභාපති

''2020 දි රුපියල් 165 ට තිබුණු පෙට්රල් ලීටරය තමා මේ වනවිට තුන් ගුණයකින් මිල වැඩි කරලා තියෙන්නේ. එහෙම කරලා රුපියල් 3-5 ආදී වශයෙන් සුළු ගණනක් අඩු කරලා ත්‍රීරෝද රථ ගාස්තු අඩුකරගන්න බලාපොරොත්තු වෙනවා නම් එය විශාල අසාධාරණයක්. මේ කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කොතරම් වැඩි වුණාද? එසේම ත්‍රීරෝද රථවල උපාංග, ටයර්, තෙල් ආදිය විශාල ලෙස මිල ඉහළ ගියා. මේ රස්සාව කරන්නේ පුංචි මිනිස්සු. ඒ අය සහ පවුලේ අය ජීවත් කරවීමට තමයි ත්‍රීරෝද රථයක් පාරට දාන්නෙ. ඉතින් අය කරන ගාස්තු අඩු කළොත් ඒ අය ජීවත් වෙන්නේ කොහොමද?

ප්‍රථම කිලෝමීටරයට රුපියල් 100ක් අය කරන අතර කඳුකර ප්‍රදේශවල රුපියල් 120ක් වෙනවා. නාගරික ප්‍රදේශවල රුපියල් 100 දිගටම පවතින අතර පිටිසර පමණක් දෙවැනි කිලෝමීටරය රුපියල් 80ක් වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මීටර් සවිකර නැති රථවලට නගින්න එපා කියලයි.''

සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා පවසන්නේ ඩීසල් රුපියල් 30ක් අඩුවූවා යැයි තම සාමාජිකයන්ට ප්‍රවාහන ගාස්තු අඩු කළ නොහැකි බවය. ලීටරයක් රුපියල් 250 කට හෝ බැස්සුවහොත් යම් සහනයක් දීමට හැකිවේ යැයි ඔහු කියයි. ආණ්ඩුව ඉන්ධන මිල එකවර අඩු නොකර ටිකෙන් ටික ස්වල්ප වශයෙන් අඩු කිරීම නිසා ගාස්තු අඩු කිරීමක් පිළිබඳ සලකා බැලීමක් සිදු කිරීම දුෂ්කරව ඇතැයි ඔහු අවධාරණය කරයි.
''ටයර්, බැටරි ආදිය මෙන්ම වාහන කොටස්වල මිල විශාල ලෙස වැඩි කළා. ඒත් රුපියල ශක්තිමත් වූවා යැයි ඒ වැඩි කළ කොටස්වල මිල රුපියලක්වත් අඩු කළේ නැහැ. තවමත් තියෙන්නේ පරණ මිල ගණන්. ග්‍රීස් නිපල් එකක් අලුත් කරන්න රුපියල් 150ක් පමණ වැය වෙනවා. බස් එකකට ග්‍රීස් නිපල් 28ක් පමණද වෑන් එකක නිපල් 23ක්ද තියෙනවා. ඉතින් මේ සඳහා විශාල මුදලක් යට කරන්න වෙනවා. ඔයිල් ෆිල්ටර්, ඩීසල් ෆිල්ටර් මිල බොහෝ ඉහළ ගියත් ඒවා තවම අඩුවෙලා නැහැ. තෙල් මාරු කරලා සර්විස් එකක් කරන්නට රුපියල් 25,000ක් විතර වැය වෙනවා.

මීට පෙර කිහිප වතාවක් ඩීසල් මිල ඉහළ දැම්මත් අපි ඒ අවස්ථාවල ගාස්තු ඉහළ දැම්මේ නැහැ. එයට හේතුව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ගෙවන්න නොහැකි වීමයි. මෙම කර්මාන්තය රුඳී තිබෙන්නේ ඔවුන් මතයි. බොහෝ දරුවන්ගේ දෙමාපියන් මාසික ස්ථිර වැටුප් ලබන අයයි. ඉතින් ගාස්තු වැඩි කළොත් ඒ අයට ගෙවන්න අමාරුයි. අපි බොහෝ විට නිවාඩු කාලයට මුදල් අය කරන්නේ නැහැ. සමහර වෙලාවට අඩ ගාස්තුයි ගන්නේ. ඉතින් එම තත්ත්වය මත ඩීසල් ලීටරය රුපියල් 30 කින් අඩු කළාට සමගාමීව ගාස්තු වෙනස් කරන්න බැහැ. ඒ නිසා දැන් අය කළ ගාස්තු අඩු නොකර ඒ මිලටම පවත්වාගෙන යන්නයි අපි තීරණය කරලා තියෙන්නෙ.''

I යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05