“ගුරුතුමා සොයමි. වික්‍රමසිංහ ගුරුතුමා. 1968 දී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ සත්ව විද්‍යාව සහ රසායන විද්‍යාව ඉගැන්වීය. 1969 දී සම්භාණ්ඩ සංස්ථාවට මාරු වී ගිය අතර පදිංචිය මාතර දික්වැල්ල. විශේෂඥ වෛද්‍යවරයකු වන මම උපහාර දැක්වීමට කැමැත්තෙන් සොයමි. අමතන්න....”
මේ පසුගිය ඉරිදා දිනයක සතිඅන්ත පුවත්පතේ පළවූ දැන්වීමකි. මෙම දැන්වීම කියැවූ මම පුදුමයට පත්වීමි. ඔහු සොයන ගුරුතුමා මම නොහඳුනමි. එහෙත් දැන්වීමේ නොම්මරයට පසුදා මම ඇමතුමක් ගත්තේ ගුරුතුමා හමුවූවාදැයි විමසීමට සහ මේ ආදර්ශවත් මිනිසා කවුරුන්දැයි දැනගැනීමටය. එහිදී මාගේ පළමු ප්‍රශ්නයට ලැබුණු පිළිතුර වූයේ ගුරුතුමා හමුවූවා යනුවෙනි. මාගේ දෙවැනි ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර වූයේ තමා මේ දේ කළේ ගුරු උපහාරයකට මිස ප්‍රසිද්ධ වන්නට නොවන බවයි. ඔහු නමින් අක්ෂි වෛද්‍ය විශේෂඥ ගෙහාන් දිසානායක හේරත්ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුණුවැව කුන්නිමඩුවේ ඉපිද ගොවි රජ දෙපළකට දාව උපන් මේ දිසානායක කොලු ගැටයා සිය මෙතෙක් ආ ගමන් මග හෙළි කළේ ඉතා සීරුවට කදුළු පිරි දෑසිනි. ඔහු මේ ලෝකයේ දෑස් ලක්ෂ සංඛ්‍යාවක් පාදන්නට සමත් වූවකු ලෙස ඔහුගේ සංවේදී බව ඔහුගේ කඳුළු පිරි දෑසින් මම සියැසින් දුටුවෙමි. ඔහු පවසනුයේ මේ ආ ගමන් මග මල් යහනා මතින් පැමිණි ගමනක් නොව රළු බොරලු කටුක මගක පැමිණි ගමනක් බවත් තමන් ගුරුවරුන්ට දැඩි ගෞරවයක් දක්වනුයේ ඒ නිසා බවත්ය.
අකුරු කරන්නට සහජ හැකියාවකින් සපිරි පුංචි ගෙහාන් පහේ ශිෂ්‍යත්වය සමත් වී 1963 දී කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූයේය. ඔහු පාසලේ ගුරුවරුන්ට ඩී. දිසානායකය. යාළුවන්ට ඩී.ඩී. ය. පාසල් අධ්‍යාපනයේ ඉහළට යමින් සිටි දිසානායක තරුණයාට උසස් පෙළ ඉගෙන ගන්නට වන්නේ බාධක රුසක් මැදය. එයට හේතු වූයේ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයේ එවක විද්‍යා පන්තිය කුළුඳුල් වීමයි. ඉගැන්වූ ගුරුතුමා මාරුවක් ලබා යෑමෙන් සිසුහු දෙලොවක් අතර තනිවූහ.
මේ වකවානුවේදී මාතර දික්වැල්ලේ සිට ඉස්කෝලෙ මහත්තයෙක් පාසලට පැමිණියේය. ඔහු නමින් වෝල්ටර් වික්‍රමසිංහය. මේ කොලු ගැටවු පිරිසේ දෑස් පෑදීමේ බාරදූර වගකීම ඔහු දෙවුර මතට ගත්තේ සද්භාවයෙනි.
“වික්‍රමසිංහ ඉස්කෝලෙ මහත්තයා අපිට උගන්වන්න බාර ගත්තා. ඔහු දැඩි කැපවීමෙන් රසායන විද්‍යාව, සත්ව විද්‍යාව ඉගැන්නුවා. වික්‍රමසිංහ ගුරුතුමා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා පුතා ඔයා වෙන පාසලක් සොයාගන්න කියලා. ගලේ කෙටුවා වගේ ඒක මගේ මතකයේ හැමදාම තිබුණා. එයින් සුළු කාලයකට පසු ඔහු සම්භාණ්ඩ සංස්ථාවේ රස්සාවකට ගියා. පන්තියෙ ගොඩක් අය වෙනත් ඉස්කෝලවලට ගියා.”
දිසානායකගේ ජීවිතයේ එක් සංධිස්ථානයක් සනිටුහන් වූයේ ගුරු මවකගේ හමුවීමකිනි.
“මගෙ ගමේ හිටියා සෙනවිරත්න කියලා ඉංග්‍රීසි ගුරු මහත්මයෙක්. ඔහු ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු මවක වූ ලීලාවතී නම් ගුරු මෑණියන් ළඟට මා එක්ක ගියා. ලීලාවතී ගුරු මව මා එවක පාසලේ විදුහල්පති වූ කේ.ජී. රත්නායක මහතා ළඟට කැඳවාගෙන ගියා.”
දිසානායක නම් දරුවා පාසලට ඇතුළත් කරගැනීමට විදුහල්පතිවරයා ඒ අවස්ථාවේ තීරණය කළේය. ඒ වනවිට පාසලෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්ව සිට ඇත්තේ පාසල ආරම්භයෙන් වසර 12කට පසු එක් සිසුවකු පමණය. 1974 දී විද්‍යාලයෙන් බිහිවූ දෙවැනි වෛද්‍ය ශිෂ්‍යයා ලෙස පේරාදෙණිය වෛද්‍ය පීඨයට දිසානායක ඇතුළත් විය. ඔහු මෙරටත් බ්‍රිතාන්‍යයෙත් පශ්චාද් වෛද්‍ය උපාධි සමත් විය. වසර 14ක් උපන් මව්බිමට සේවය කළ ඔහු අක්ෂි වෛද්‍ය අංශයෙන් ලෝකයේ ප්‍රධානතම අක්ෂි රෝහලක් වන ලන්ඩන්වල මූවර්ෆීල්ඩ් ඇස් රෝහලේ මේ වනවිට සේවය කරයි.
දිසානායක දොස්තර මහතා ලොකු දොස්තර මහත්තයකු වූවාටත් පසු මේ ආ ගමන් මගේ සිප්කිරි පෙවූ සියලු ගුරු මව්වරුන්ටත් පියවරුන්ටත් උපහාර දක්වන්නට කිසිදා අමතක නොකළේය.
ඉබ්බාගමුව මැදි විදුහලට යාමට මාර්ගය පෑදූ ලීලාවතී ගුරු මෑණියන් සොයා ගම් දනව් පීරූ ඔහුට ඇය අලව්ව ප්‍රදේශයේ සිටින වග සොයා ගැනීමට හැකි විය. ඉන්පසු සෑම වසරකම ලංකාවට පැමිණි විගස ගුරු මව සොයා ගොස් දුක සැප විමසීම ප්‍රමුඛ රාජකාරියක් සේ කිරීමට දිසානායක අමතක නොකළේය.
“ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී භෞතික විද්‍යාව අමාරු විෂයක් වුණා. මගේ පන්තියට උගන්වන්නට ජේ.ඒ.ඩී. ජයසිංහ නමැති ගුරුතුමෙක් ආවා. අමතර පන්ති කියා නමක්වත් අසා නොතිබුණු යුගයක සැමදා සවස් වරුව කැප කරමින් නොමිලයේ මට භෞතික විද්‍යාව මාස 3ක් ඇතුළත කියා දුන්නා. මම මීට අවුරුදු 20කට කලින් මේ ගුරුතුමා මාතලේ ප්‍රදේශයේ සිටින වග සොයා ගත්තා. ලංකාවට පැමිණි සෑම වසරකම ගිහින් ඒ ගුරුතුමාත් මුණගැසුණා. දැනට වසර 15 කට පෙර ඉතා අපහසුවෙන් සොයාගත් ඉබ්බාගමුවේ මැඩම් සහ උද්භිද විද්‍යා ගුරුතුමිය ජීවත් වන තැන් සෙව්වා. මට සොයාගන්නට ඉතිරිව සිටියේ වික්‍රමසිංහ ගුරුතුමා පමණයි. ඒ නිසයි මම පත්තරේ දැන්වීමක් පළ කළේ. ඒකට මට ගොඩක් අය උදව් කළා. පැය 24ක් ඇතුළත වික්‍රමසිංහ ගුරුතුමා සොයාගන්නට මා වාසනාවන්ත වුණා. මම එතුමා සමඟ බොහෝ වෙලාවක් දුරකථනයෙන් කතා කළා. වසර 54කට පසු වික්‍රමසිංහ ගුරුතුමා හමුවන්න බලාපොරොත්තු වෙනවා මම ලංකාවට ආවාම. එයට මග පෑදුණේ දැන්වීම දුටු කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ දක්ෂිත වික්‍රමසිංහ මහතා නිසායි. ඔහු වික්‍රමසිංහ ගුරු පියාණන්ගේ පුත්‍රයායි.”
වෛද්‍ය සිසුන්ට උගන්වන ගුරුවරයෙක් ලෙස දිසානායක මහතා අප හමුවේ අවසානයේ ලස්සන කතාවක් පැවසුවේය.
“ගුරුවරයෙක් දරුවන්ට උගන්වද්දී සියලු ශාස්ත්‍රය දෙනවා, ඒ දරුවන්ගෙන් පිරිසක් ගුරුවරයා අභිබවා ඉහළට යන බව දැන දැනම. තමන් අභිබවා යන සිසුන්ට දැන දැනම සියලු දැනුම දන් දෙන ගුරු වෘත්තියේ උතුම් බව කිසිවකුට සම කළ නොහැකියි.” ඒ ඔහුගේ වචනයයි.
සිප්කිරි පෙවූ මූසිලයන් උඩු මාලේ සිටියදී තාමත් ඉස්කෝලෙ යන දෙවිවරුන් වන් ගුරු පිරිසක් මේ මිහිපිට වෙසෙති. වෙළෙඳ දැන්වීමක් මගින් ගුරුතුමකු සෙවූ පළමු අවස්ථාව මෙය වන්නට පුළුවන. නොවන්නටද පුළුවන. ගුරුවරුන් සොයා ගොස් උපහාර දක්වන දොස්තර මහතකු අපි ඔහුගෙන් දුටිමු. මෙයට ඉඩක් වෙන් කරන්නට අප සිතුවේ කතරක් වන් අධර්මිෂ්ඨ සමාජයකට දිය බිඳක් වන් ආදර්ශයක් නිසාවෙනි.
I සසංක චලන ගිම්හාන