මාර්ගගත මූල්‍ය ගනුදෙනුවලදී සිදුවන වංචා මේ වන විට මුළු මහත් ලොවටම හිසරදයක් වී පවතී. එහි බලපෑමෙන් මිදීමට අප රටටද නොහැකි බව හැඟවෙන පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ජංගම ගිණුම් සහ ඉතිරිකිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම්වලින් මුදල් අදින ජාවාරමක තොරතුරු අනාවරණය කළේ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා මහතාය.
ඔහු පාර්ලිමේන්තුවේ සිදු කරනු ලැබූ අනාවරණය පිළිබඳව වැඩිදුරට තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහු සම්බන්ධ කර ගතිමු. මෙම ජාවාරම් පිළිබඳව සුවිශේෂී කරුණු රුසක් මෙහිදී අනාවරණය කරගත හැකි විය.
“ඔන්ලයින් ක්‍රමයට ගනුදෙනු කරන ඉතිරිකිරීමේ ගිණුම් සහ ජංගම ගිණුම්වලින් වෙනත් ගිණුම්වලට මුදල් මාරු කරලා ඒවා ඉවත් කර ගැනීමේ ජාවාරමක් සිදු වෙනවා. අපිට මේ තොරතුරු ලබා දෙන්නේ බලන්ගොඩ ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ නමක්. මම ඒ ඔස්සේ කළ සොයා බැලීමේදී දැනගත්තා මේ වංචාවට හසුවෙච්ච බොහෝ දෙනාගේ ජංගම ගිණුමට තමා ස්කෑම් එකට සම්බන්ධ අය ඇතුළුවෙලා තියෙන්නේ."
මන්ත්‍රීවරයා සඳහන් කර පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ භික්ෂූන් වහන්සේලා දහ නමකට වඩා වැඩි පිරිසක් මෙම වංචාවට ගොදුරු වී සිටිති. තවත් රට පුරා මෙම වංචාවට ගොදුරු වූ පිරිස් වාර්තා වෙමින් පවතින බව ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම වංචාවේ විවිධ ස්වරෑප පිළිබඳ එකිනෙකට වෙනස් තොරතුරු පවතී. ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදි ජංගම දුරකථන හැක් කිරීම්ද වාර්තා වේ. “එක් පුද්ගලයෙක්ගේ ජංගම දුරකථනය සම්පූර්ණයෙන්ම ඔහුගේ පාලනයෙන් ගිලිහී ගිහිල්ලා තියෙනවා. දුරකථනය හදන්න ගියාම අදාළ ආයතනයේ අය ඔහුගෙන් අහලා තියෙනවා දුරකථනයට ගිණුම් සම්බන්ධ කරලා තියෙනවද කියල. ඒ අනුව ලැබුණු උපදෙස් මත ඔහු බැංකුවට ගිහින් අදාළ සම්බන්ධතා ඉවත් කර ගන්න සූදානම් වෙනකොටත් රුපියල් ලක්ෂ එකොළහක මුදලක් ඒ ගිණුමෙන් වෙනත් ගිණුමකට මාරු කරලා තියෙනවා."
මන්ත්‍රීවරයා සඳහන් කරන ආකාරයට මෙය හා සම්බන්ධ විමර්ශනවලදී ඇඹිලිපිටිය ප්‍රදේශයට එම මුදල් මාරු වී ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙම වංචාවට මාර්ගගත ක්‍රමයට වැඩි මුදල් ඉපැයීම සඳහා පුහුණුව ලබා දෙන බව කියන ආයතනයක් සම්බන්ධ බවට සැක මතුව තිබේ.
මෙම ආයතනයම තමන්ගේ පුහුණුව ලබන සිසුන්ට අදාළ ගිණුම් සකසා දී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල්ද ලබා දී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් එම ගිණුම්වල සහ කාඩ්පත්වල තොරතුරු එම ආයතනය සතුව තබාගෙන ඇති බවද ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා සඳහන් කරයි.
මෙම ගිණුම් මාර්ගයෙන් වංචා කරනු ලැබූ මුදල් රට පුරා විවිධ ප්‍රදේශවලට සංසරණය වී ඇති බව ඒ අනුව අනාවරණය වේ. එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම්වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවද මන්ත්‍රීවරයා හෙළි කර සිටියේය.
“ඒ සඳහා නවීන තාක්ෂණය (AI තාක්ෂණය) භාවිත වෙලා තියෙන බව කියැවෙනවා. මේක බරපතළ තත්ත්වයක්. පරිගණක තාක්ෂණය පිළිබඳ ඉතාම හොඳ දැනුමක් තියෙන පිරිසක් තමා මේ වංචාව සිදු කරන්නේ.
මෙම වංචාව පිළිබඳ පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී ගාමිණී වලේබොඩ මන්ත්‍රීවරයා විසින් හෙළිදරව්වක් සිදු කළේය. “පාර්ලිමේන්තුවේදී කතා කළ පසුව, මම මුදල් අමාත්‍යාංශයත්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවත්, මහ බැංකුවත් මේ සම්බන්ධව දැනුවත් කළා."
කෙසේ වෙතත් පොලීසියට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසවලට මෙවන් ප්‍රබල වංචාවක් නවතාලීමට අවශ්‍ය තාක්ෂණය සහ දැනුම ප්‍රමාණවත් පරිදි තිබෙන්නේද යන්න ගැටලු සහගත බව මන්ත්‍රීවරයා අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර රාජ්‍ය බැංකු කිහිපයකද ගිණුම් මෙලෙස වංචනිකයකු විසින් භාවිත කර ඇති බව මන්ත්‍රීවරයා සිදු කළ අනාවරණයේදී හෙළි විය. කෙසේ වෙතත් මෙම ගිණුම් හා සම්බන්ධ තොරතුරු මෙම ජාවාරම්කරුවන් අතට පත්වන්නේ කෙසේද යන්න තවමත් අනාවරණය වී නොමැත.
“වංචාවට හසුවුණු බොහෝ දෙනෙක් කියන්නේ එස්.එම්.එස් එකක්වත් කෝල් එකක්වත් ආවේ නැහැ කියලා. ඒ නිසාම මේ ගිණුම්වල තොරතුරු පිටතට යාම පිළිබඳව ගැටලුවක් තියෙනවා. බැලූ බැල්මට පෙනී යන්නේ ගිණුමට කලින් හැක් වෙන්නෙ ජංගම දුරකථනය බවයි."
කෙසේ වෙතත් මේ හා සම්බන්ධ තොරතුරු ඉතා කඩිනමින් අනාවරණය වෙතැයි අපි අපේක්ෂා කරමු.
නුදුරේදීම ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව විසින් මෙම වංචාව පිළිබඳ පැහැදිලි තොරතුරු ජනගත කරනු ඇත. ඒ කෙසේ වෙතත් අප සියලු දෙනා මතක තබාගත යුත්තේ මාර්ගගත ගනුදෙනුවලදී තම තමන්ගේ ආරක්ෂාව සපයාගත යුතු බවයි. මාර්ගගත ගනුදෙනු සඳහා පිවිසියද බොහෝ දෙනකුට ඒ හා සම්බන්ධ නිසි සාක්ෂරතාවයක් නොමැති බව අකැමැත්තෙන් වුවද සඳහන් කළ යුතුමය. එම නිසාවෙන්ම රටේ මූල්‍ය පද්ධතිය විසින් ජනතාව මේ පිළිබඳ දැනුවත් කිරීම සිය ප්‍රමුඛ වගකීම කොට සැලකිය යුතුමය.
I චමිඳු නිසල් ද සිල්වා