“අපෝ එයා කුකුල් කේන්තිකාරයෙක් නේ..."
“එයාට හොස්ස ළඟින් මැස්සෙක්වත් යන්න බෑ..."
ඉහත දැක්වෙන කියමන් අප එදිනෙදා ජීවිතයේ පුද්ගලයන් ඇසුරු කිරීමේදී පමණටත් වඩා අසා තිබේ. එපමණක් නොව එවැනි අධික ලෙස කෝපයට පත්වන පුද්ගලයන්ද අපට අපගේ ජීවිතය තුළ විවිධ අවස්ථාවලදී හමු වී තිබේ.
‘හදිසි කෝපය’ ඉතා සරල දෙයක් ලෙස මතුපිටින් පෙනුණද එය පාලනය කර නොගැනීම නිසා සිදුවන අවාසනාවන්ත සිදුවීම් විටෙක මරණයකින් පවා කෙළවර වන අවස්ථා අපි දැක ඇත්තෙමු.
මෙරට සිවිල් සමාජය තුළ දෛනිකව වාර්තා වන, සංවිධානාත්මක අපරාධ හෝ පාතාල ක්‍රියා නොවන පුද්ගල ඝාතන සම්බන්ධයෙන් විමසා බැලීමේදීද හදිසි කෝපය ඒ සඳහා ඉවහල් වී ඇති ආකාරය ඇතැම් අවස්ථාවලදී පැහැදිලි වෙයි.
පුද්ගලයකු තුළ කෝපයක් හටගන්නේ ඇයි?
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් බී.බී.සී සිංහල සමඟ අදහස් දක්වමින් සඳහන් කළේ, කෝපය ඇතිවීමට බොහෝ අවස්ථාවලදී කලකිරීම හේතු වන බවය.
ඊට අමතරව පුද්ගලානුබද්ධ අත්දැකීම්ද ඊට හේතු වන බව ඔහු පෙන්වා දුන්නේය.
“ඒ කියන්නේ ළමා කාලයේ ඇතිවන මානසික සහ කායික පීඩා නිසා. එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වය සාමාන්‍ය දෙයක් ලෙස සලකන සමාජයක එම පුද්ගලයා ජීවත් වීම නිසා. මෙන්න මේ වගේ හේතු නිසා සමහර පුද්ගලයෝ අනෙක් අයට වඩා ප්‍රචණ්ඩකාරී වෙනවා, දරුණු වෙනවා. තරහ ගිය වෙලාවට ඒ අය පහසුවෙන් තව කෙනකුට හානි කරන්න පෙළඹෙන්න පුළුවන්."
එවැනි පුද්ගලයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී, “ඔවුන් තම ක්‍රියාව නිසා අනෙක් පුද්ගලයාට සිදුවන හානිය පිළිබඳව සංවේදී බවකින් තොරවීම" වැනි පොදු රටාවක් හඳුනාගෙන ඇති බව විශේෂඥ මනෝවෛද්‍යවරයා සඳහන් කළේය.
“ඒ වෙලාවට ඒ අය දෙපාරක් හිතන්නේ නැහැ, තමන් කරන දෙයින් තව කෙනකුට හානියක් වෙනවා කියලා. සමහර වෙලාවට ඒකෙන් තමන්ට පසුවිපාක විඳින්න සිද්ධ වෙනවා කියලවත් හිතන්නේ නැහැ."
ආවේග පාලනය කර ගැනීමට ඇති නොහැකියාවද ඊට තවත් හේතුවක් බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවලදී තමන් තුළ ඇතිවන කෝපයෙන් සිදුවන හානිය පිළිබඳව අවබෝධයක් තිබුණද තම ආවේගය නතර කර ගැනීමට ඔවුන්ට අපහසු බව විශේෂඥ මනෝවෛද්‍යවරයා පැහැදිලි කළේය.
“ආවේගයක් හටගෙන යම්කිසි ක්‍රියාවක් පටන් ගත්තට පස්සේ, නැවත සිතා බලා ඒක වෙනස් කිරීමට හෝ නවතා දැමීමට ඒ අයට බැහැ."
ඒවා එම පුද්ගලයන්ගේ පෞරුෂත්වය සම්බන්ධ ගැටලු බව ඔහු සඳහන් කළේය.
ඔහු පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය සහ මත්පැන්ද කෝපය ඇති කිරීමටත් ඉන් පුද්ගලයන් බිහිසුණු අපරාධ කිරීමටත් පෙළඹිය හැකි බවය. මත්ද්‍රව්‍ය සහ මත්පැන් කෙටි කාලීනව සහ දීර්ඝ කාලීනව මොළයට බලපෑම් ඇති කරන අතර එමගින් ආවේග පාලනය දුර්වල කරන බවත් ඒ ඔස්සේ දරුණු තීරණ ගැනීමට පෙළඹවීම් ඇති කරන බවත් ඔහු සඳහන් කළේය.
“මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩු කරනවා, හොඳ නරක අවබෝධ කර ගැනීමට නොහැකි වෙනවා."
භින්නෝන්මාදය, විශාදය, මේනියා මානසික රෝගී තත්ත්වලින් පෙළෙන විටද හදිසි කෝපය ඇතිවීමට ඉඩ ඇති බව පෙන්වා දුන් විශේෂඥ මනෝවෛද්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, එවැනි තත්ත්ව අපරාධ සඳහා හේතු වීම ඉතා කලාතුරකින් සිදුවන බවය.
මනුෂ්‍ය ඝාතන කිරීම නිසා වරදකරුවන් වී මේ වන විට බන්ධනාගාරගතව පසුවන සිරකරුවන් සම්බන්ධයෙන් බී.බී.සී සිංහල, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායකගෙන් විමසීමක් කළේය.
එහිදී ඔහු සඳහන් කළේ, මිනීමැරුම් චෝදනාවලට සිරගතව සිටින ගම්බද ප්‍රදේශවල බොහෝ දෙනකු හදිසි කෝපය පාලන කර නොගැනීම හේතුවෙන් එම වරදෙහි යෙදී ඇති බවය.
ඔවුන් බොහෝ අවස්ථාවලදී තම ක්‍රියාව සම්බන්ධයෙන් පසුතැවෙන බව ඔහු පැවසුවේ, තම බන්ධාගාර වෘත්තීය ජීවිතයේ අත්දැකීම් ඇසුරෙනි.
“ගම්බද මිනිස්සු ගොඩක් වෙලාවට මිනීමැරුම්වලට එන්නේ ඔය වගේ හේතු (හදිසි කෝපය) හින්දා. ඒ අය පසුතැවෙනවා. එක මිනීමැරුමකට වගේ ආව කට්ටිය. ඒකත් එක්ක එයාලට අහිමිවෙන ගොඩක් දේවල් තියෙනවානේ. පවුල් පසුබිම. එයා හිටපු සමාජය. ගෙවල්වල අයට ප්‍රශ්න ඇතිවෙනවා. ඒ අය මේ වැරදිවලට පසුතැවෙනවා."
මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, ගතවුණු උත්සව සමයේ දින කිහිපය තුළ සංවිධානාත්මක හෝ අපරාධ කල්ලි අතර නොවන මනුෂ්‍ය ඝාතන සිදුවීම් 10ක් පමණ වාර්තා වුණු බවය.
“අවුරුදු දවස්වල මීනීමැරුම් 10ක් විතර වාර්තා වුණා. ඒ හැම එකම බීලා එක එක ආරවුල් තමයි. ඒ කියන්නේ ක්ෂණික කේන්තිය. අවුරුද්දේ බොනවා, එකට බීලා ගහගන්නවා. මනුෂ්‍ය ඝාතන සිද්ධවෙන එක හේතුවක් තමයි හදිසි කෝපය.” ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
වත්මන් සමාජයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීමට හේතුව කුමක්ද යන්න විමසූ විට විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පළ කළේ මෙවන් අදහසකි:
“සමාජයේ අද ප්‍රචණ්ඩත්වය කියන දේ සාමාන්‍යකරණය වෙලා තියෙනවා. ඒකට බොහෝ වෙලාවට හේතුවෙලා තියෙනවා, සමාජ මාධ්‍යවල තිබෙන දේවල්. ඒවා මිනිස්සු එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න විසඳගන්න ක්‍රමවේද හැටියට හඳුනා ගන්නවා. ඒක නිසා ඒ ක්‍රමවේද අත්හදා බලනවා තමන්ට ගැටලුවක් ආවට පස්සේ. අනෙක් පැත්තට මිනිස්සු පීඩනයකින් ඉන්නකොට අවේග පාලනය කර ගැනීමේ හැකියාව ගිලිහී යන්න පුළුවන්. සමස්ත සමාජයේම තියෙන, සමාජ, ආර්ථික පීඩනයත් බලපාලා තියෙනවා මිනිස්සුන්ට තරහා යන්න."
හදිසි කෝපය වළක්වා ගන්නේ කෙසේද?
විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් පවසන්නේ, හදිසි කෝපය ඇතිවීම වැනි තත්ත්ව වළක්වා ගැනීමට පෞරුෂත්ව සංවර්ධනයට ළමා කාලයේ සිටම වැඩි ඉඩක් ලබා දිය යුතු බවය.
ඒ සඳහා විධිමත් සහ අවිධිමත් ක්‍රම ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
විධිමත් ක්‍රම ලෙස: ගැටලු විසඳා ගැනීමේ උපක්‍රම, අවේග පාලනය කර ගැනීමේ උපක්‍රම ආදිය සමාජ කුසලතා ලෙස දරුවන්ට කුඩා කල සිටම ප්‍රයෝගික වශයෙන් කියා දීම සිදු කළ යුතු බව ඔහු පැවසීය.
අවිධිමත් ක්‍රම ලෙස: දරුවන් ක්‍රීඩා, කලාව, සාමූහික ක්‍රියා ආදී බාහිර ක්‍රියාකාරකම් සඳහා යොමු කළ යුතු බව වෛද්‍යවරයා පැවසීය. ඒ හරහා දරුවන්ට ගැටුම් ඇතිවීම තුළින් ගැටලු විසඳා ගැනීමේ පුහුණුවක් ලැබෙන බවත් ඉන් දරා ගැනීමේ හැකියාව වර්ධනය වන බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, පසුකාලීනවද දිගින් දිගටම ඇතැම් පුද්ගලයන්ට කෝපය පාලනය කර ගැනීමේ ගැටලු පවතිනවා නම්, අවේග පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන මනෝසෞඛ්‍ය සේවා සායනයක් සඳහා යොමුවිය යුතු බව ඔහුගේ මතය විය.
වැඩිහිටි පුද්ගලයකු නිතර කෝපයට පත්වෙනවා නම් ඒ සඳහා මුල් වන හේතුව හඳුනාගෙන, ඒ අනුව ඊට ගත යුතු උපක්‍රම මොනවාද යන්න තීරණය කළ යුතු බව ඔහු පැවසීය.
“කෝපයට පත්වන්නේ ආතතිය නිසා නම්, ආතතිය අඩු කර ගැනීමට අවශ්‍ය මනස සැහැල්ලු කිරීමේ ක්‍රියා පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. සංගීතයට සවන් දීම, හොඳ විවේකයක් ලබා ගැනීම, විනෝදාස්වාද කටයුතුවල යෙදීම, ස්වභාව සෞන්දර්යත් සමඟ සිටීම වැනි දේවල් කරන්න පුළුවන්."
ඊට අමතරව කෝපයට පත්වන අවස්ථාවක, එම අවස්ථාව මගහැර සිටීමට පියවර ගැනීම හරහාත් ඊට ප්‍රතික්‍රියා දැක්වීමෙන් වැළකී සිටීම හරහාත් අවාසනාවන්ත තත්ත්ව ඇතිවීම වළක්වා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
“එවැනි අවස්ථා මගහැරලා ඉඳලා තරහා අඩු වුණාට පස්සේ තමයි සුදුසු පියවරක් ගන්න ඕනේ. අපි තරහ ගිහිල්ලා ක්‍රියා කරන හැම අවස්ථාවකදීම වැරදි දෙයක් සිද්ධ වෙනවා. තව කෙනකුට හානියක් වෙනවා. ඒ වගේම නිවැරදිව අපිට ඒකට පිළිතුරු සපයන්නත් බැහැ."
කෝපයක් හටගත් අවස්ථාවක පුද්ගලයන් ගැඹුරු හුස්මක් ගැනීම, සටහන් තැබීම, යහපත් නින්දක් ලබා ගැනීම, ව්‍යායාම කිරීම, පරිසරය වෙනස් කිරීම සහ ගණනය කිරීම ආදී සරල උපක්‍රමවලද නිරත වීමද බොහෝ විට දැකගත හැකි වේ.
I BBC අනුග්‍රහයෙනි