2024 මැයි 04 වන සෙනසුරාදා

මහ බැංකු වාර්තාවේ අනතුරු ඇඟවීම

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 64

2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධ මහ බැංකු වාර්ෂික විවරණය නොබෝදා නිකුත් කෙරිණ. 2023 වසරේ සිට වාර්තාවක් පිළියෙළ කිරීම අත්හිටුවන මහ බැංකුව ඒ වෙනුවට විවරණයක් ප්‍රකාශයට පත් කරන බව දක්වයි. 2023 වසරේ දී සියයට 2.3 කින් සංකෝචනය වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසර තුළ සියයට තුනකින් වර්ධනය වනු ඇතැයි වාර්ෂික විවරණය දක්වයි. සංචාරක අංශය කෙරෙහි අධික බලාපොරොත්තු තබා තිබේ. ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් කිරීම, ණය පොලී අනුපාත අඩුවීම සහ අමුද්‍රව්‍ය මිල පහත වැටීම වැනි කරුණු හේතුවෙන් කර්මාන්ත අංශය ප්‍රතිලාභ ලබනු ඇතැයි එහි දක්වා තිබේ. මුදල් හිඟය හේතු කොටගෙන නතර කර තිබුණු රජයේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් අංශය දියුණු කරන්නට බලපෑමක් කරනු ඇති බව දක්වයි. 

ආර්ථික ගැලපුම් ක්‍රියාවලිය 2023 වසර තුළදීම යහපත් ප්‍රතිඵල අත් කරගෙන ඇති අතර 2022 වසරේ දී වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම්වල සිට, 2023 වසර අවසානය වනවිට උද්ධමනය තනි ඉලක්කමක මට්ටමට පාලනය වී ඇති බවද වාර්ෂික විවරණය දක්වයි. කාර්තු හයක් මුළුල්ලේ අඛණ්ඩව පැවති දීර්ඝතම ආර්ථික සංකෝචනයෙන් අනතුරුව, 2023 වසරේ දෙවැනි භාගය තුළ දී ආර්ථිකය ප්‍රසාරණයක් වාර්තා කරන ලද අතර  ආර්ථික අර්බුදයෙහි මූලය වූ දිගු කාලයක් මුළුල්ලේ පවතින සමස්ත රාජ්‍ය අයවැය හිඟය සහ විදේශීය ජංගම ගිණුමේ හිඟය යන ද්විත්ව හිඟය 2023 වසරේ දී නිවැරදි වීමේ ලක්ෂණ පෙන්නුම් කළ බවද එහි සඳහන් වේ.

♦ අනතුරු ඇඟවීම 

ඉදිරි මැතිවරණයට පෙර හෝ පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන අඩාල කළහොත් අපහසුවෙන් අත්පත් කරගත් රාජ්‍ය මූල්‍ය අංශයේ ජයග්‍රහණ ආපසු හරවනු ඇති අතර ආර්ථිකය අස්ථාවර කර 2022 වසරේ දී හටගත් තත්ත්වයට වඩා දරුණු අර්බුදයක් ඇතිවිය හැකි බවට වාර්ෂික විවරණය කරන අනතුරු ඇඟවීම සුළු කොට තැකිය යුතු නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතිය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගෙන බව රහසක් නොවේ. මූලික නිවැරදි කිරීම්වලට පසු ස්ථාවරත්වය ළඟා කරගෙන ඇති බව නිරීක්ෂකයෝ දක්වති. ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍යය. එකී කර්තව්‍යය වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ආයෝජන වර්ධනය කරන අරමුණ පෙරදැරි කරගෙන රජයට අයත් ව්‍යවසාය ගණනාවක් පෞද්ගලික අංශයට පවරන්නට සූදානමක් ඇත. මත්තල ගුවන් තොටුපොළ පවරා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට සැලසුමක් තිබේ. ටෙලිකොම්, මිල්කෝ, ලංකා හොස්පිටල් වැනි ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කෙරෙන බව දැක්වේ. මෙකී අදහස් සම්බන්ධයෙන් විරුද්ධ දේශපාලන පක්ෂ වෙනම මතයක ඇත. වෘත්තීය සමිති විශාල විරෝධයක් මතු කරමින් සිටී. ඉදිරි මැතිවරණ වේදිකාවට මෙම අදහස් බරපතළ ලෙස එකතු වනු ඇත. ඇතැම් දේශපාලන නායකයන් දැනටමත් කරුණු දක්වන පරිදි ඔවුන්ගේ ආණ්ඩුවකින් මූල්‍ය අරමුදලේ කොන්දේසි වෙනස් කරනු ඇත.
 බදු බර ගැන දක්වන තොරතුරු

දහසය වතාවක් මූල්‍ය අරමුදලේ ණය සංචිත ලබාගෙන ඇති ශ්‍රී ලංකාව අවසානයේ දී මෙරට ඉතිහාසයේ දරුණුම අර්බුදය කරා ගමන් කරන ලද බව සිහිපත් කළ යුතුය. එකල ලබාගත් ආධාර වැඩසටහන්වල පැවැති රාමුව අවසන් නොකළ ශ්‍රී ලංකාව සෑම අවස්ථාවකම ප්‍රතිසංස්කරණ අත්හැර දමා තිබේ. ආණ්ඩුවක් ගන්නා තීරණ ඊළඟ ආණ්ඩුව වෙනස් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් බැහැර වුවහොත් ඇතිවිය හැකි තත්ත්වය ගැන කරන අනතුරු ඇඟවීම මෙරට දේශපාලන නායකයන්ගේ සැලකිල්ලට යොමුවිය යුතු වේ.

මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි සංශෝධනය කරන බදු හේතු කොටගෙන 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙහි ප්‍රතිශතයක් ලෙස සියයට 54.0 ක වර්ධනයක් වාර්තා කර ඇත. 2022 වසරේ දෙවැනි භාගයේ සිට ක්‍රියාත්මක කරන ලද බදු ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවේ ආදායම නංවන ප්‍රධාන සාධකයකි. ආදායම් බදු, එකතු කළ අගය මත බද්ද, නිෂ්පාදන හා සුරා බදු, ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඒ අතර තිබේ. 2022 වසරේ ඔක්තෝබර් මාසයේ දී හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ද රජයේ ආදායම ඉහළ යෑමට දායක වී ඇත. මෙම බදු ශ්‍රී ලාංකික ජනතාව ගෙවන බව අමතක කළ යුතු නැත. දරුණු ආර්ථික අර්බුදයකින් පීඩා විඳින, ආදායම් බිඳ වැටී රුකී රක්ෂා අවහිර වී සිටින ජන කොටසකට මෙම බදු සැලකිය යුතු ප්‍රශ්නයකි. ආර්ථික වර්ධනය සඳහා නිෂ්පාදනය වැඩි නොකරන හෝ අලුත් ආයෝජන සඳහා ආණ්ඩුවට බල නොකරන මහ බැංකුව 2025 වසරේ සිට දේපළ මත බදු අලුතින් හඳුන්වා දෙනු ඇති බවට මහ බැංකුව ඔවුන්ගේ විවරණයෙහි කරුණු දක්වයි. 

♦ කෘෂිකර්ම අංශ වර්ධනය

මහ බැංකුවේ දත්ත අනුව කෘෂිකාර්මික කටයුතු සියයට 2.6ක වර්ධනයක් 2023 වසරේ දී වාර්තා කර ඇත. පොහොර, වෙනත් කෘෂි රසායනික යෙදවුම් සහ ඉන්ධන ආදී සැපයුම් මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව කියයි. වී අස්වැන්නෙන් ලැබෙන වාසිය සියයට විස්සකින් ඉහළ නැග ඇත. පළතුරු, එළවළු සහ ධීවර කටයුතු යන උප අංශවලද සැලකිය යුතු වර්ධනයක් පවතී. කෙසේ නමුත් මෙම අංශ දේශීය පරිභෝජනය සඳහා වේ. රටට ගැටලුව මතු කළේ විනිමය බව මතක තබාගත යුතුය. කෘෂි අංශය දියුණු කරන අතර අපනයන සඳහා විශේෂ සැලැස්මක් අවශ්‍යය. අපනයන ආදායමට හේතු වන තේ, රබර්, පොල් හා කුළුබඩු අංශය සලකා බලන වසර තුළ දී පහත වැටී ඇත. 

2023 වසර තුළ දී ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහත වැටී ඇත. සැපයුම් තත්ත්වයන්ගේ ක්‍රමික වර්ධනයක් පැවැති නමුත් ඉල්ලුම් පසුබෑම එයට හේතු වී ඇති බව වාර්ෂික විවරණය දක්වයි. මෙම දුබලතාවයට හේතු වූ සංකීර්ණ තත්ත්ව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානයට ලක්විය යුතු වේ. ඉදිකිරීම් කර්මාන්තයේ ප්‍රගතියට හේතු වූ ඇතැම් ව්‍යාපෘති අත්හිටුවීම මෙම දුබලතාවට බොහෝදුරට දායක වී ඇති බව මෙහි සඳහන් කරයි. ඉදිකිරීම් අංශයේ පමණක් පිරිහීම සියයට 20.8 කි. රෙදිපිළි, නිමිඇඳුම් හා සම් භාණ්ඩ නිෂ්පාදන සඳහා වන ගෝලීය ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ යෑම හේතු කොටගෙන එහි කටයුතු සියයට 3.2 කින් 2023 වසර තුළ දී පහත වැටී ඇත. 

සේවා කටයුතුවල සමස්ත සංකෝචනය සියයට 0.2ක් වන අතර සංචාරක අංශයේ ප්‍රගතිය මෙම අංශයේ දරුණු පිරිහීම වළක්වන්නට බලපා තිබේ. වසරේ පළමු භාගය තුළ පැවති ඉහළ පොලී අනුපාතික හේතුවෙන්, මූල්‍ය සහ මූල්‍ය අතරමැදි සේවා සියයට 10 කින් හා තොරතුරු තාක්ෂණ සේවා අංශය සියයට 21.4 කින් පසුබැස ඇත. පිබිදෙමින් පැවැති තොරතුරු තාක්ෂණ අංශයට අහිතකර තත්ත්ව ඇතිවූයේ කෙසේද යන්න ප්‍රතිපත්ති සම්පාදකයන් සොයා බැලීම සුදුසුය.  

♦ විවරණය කරන මූලික නිර්දේශ 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සපයන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ වන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යෑමෙහි සහාය ඇතිව, 2023 වසරේ අවසාන භාගය තුළ දී දක්නට ලද ආර්ථික ප්‍රගතිය ඉදිරි වසරවල දී ද අඛණ්ඩව පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සිය විවරණයෙන් අපේක්ෂා කරයි. එමගින් ආර්ථිකයේ සියලුම ක්ෂේත්‍ර තුළ පුළුල් ආර්ථික වර්ධනයක් සිදුවනු ඇති බවද කියා තිබේ. මුදල් ප්‍රතිපත්ති සම්පාදනයේ ඉහළ ස්වාධීනත්වය හා වගවීම මෙන්ම මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය සඳහා ණය ගැනීම පාලනය කිරීම හරහා දේශීය මිල ස්ථායීතාව ආරක්ෂා වනු ඇතැයි ද මෙහි දක්වා ඇත. මෙම ඉලක්ක වඩාත් සූක්ෂම ලෙස පවත්වාගෙන යන වගකීම මහ බැංකුව මගින් බාරගෙන ඇති බව විවරණය පෙන්වන ප්‍රධාන කරුණකි. 

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු විදේශීය අංශය ශක්තිමත් වනු ඇති අතර බදු නීති සංශෝධන සහ ආයතන අතර තාක්ෂණික ඒකාබද්ධකරණය මගින් බලගැන්වුණු මූල්‍ය අංශය ශක්තිමත්ව පවතිනු ඇතැයි ද දක්වයි. ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් යුතුව අත්‍යවශ්‍ය ආයතනික සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාවට නංවන අවශ්‍යතාවය ද පෙන්වා දී තිබේ. දැනටමත් සනාථ වී ඇති පරිදි රාජ්‍ය අංශය අකාර්යක්ෂම වන අතර අධික රජයේ සේවය නඩත්තු කිරීම සඳහා අයවැය මගින් සැලකිය යුතු වියදමක් දරන බව මෙහිදී දැක්විය යුතුය. මෙම අංශ නිවැරදි කරගැනීම හා ඵලදායීතාව හා කාර්යක්ෂමතාව ගැන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විශේෂ අවධානයක් දැක්විය යුතු වේ. 

තවමත් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින්, මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව දැනට ගෙන යන මාවතෙන් ඉවත් වීම සඳහා කිසිදු අවකාශයක් නොපවතින බව මහ බැංකුවේ අදහසය. සැලසුම් නොකළ ප්‍රතිපත්ති අත්හදා බැලීම්වල ව්‍යසනකාරී සමාජ ආර්ථික බලපෑම් මෑත කාලීන අත්දැකීම් මගින් සනාථ කර ඇති බව සිහිපත් කර තිබේ. රසායනික පොහොර තහනම, පාම් ඔයිල් වැනි වගා අත්හිටුවීම, දේශීය තරගකාරී නොවන නිෂ්පාදන ක්‍රියාවලිය වැනි අංශ මෙම දක්වන අත්හදා බැලීම් බව අවබෝධ කරගත හැකිය. මාස හතළිස් අටක් දක්වා දීර්ඝව පැවතිය යුතු මෙතෙක් ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම ආර්ථිකය නැවතත් අස්ථායී තත්ත්වයකට ඇද දැමීමට හේතු වනු ඇති බවද මහ බැංකු විවරණය කියා සිටී. එහෙයින්, ප්‍රතිපත්ති ආපසු හැරවීම හා ඒ හේතුවෙන් ඇතිවන ආර්ථික පසුබෑම් වළක්වා ගැනීම සඳහා පුළුල් දේශපාලනික සහ සමාජයීය එකඟතාවක් මත ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අතිශයින් තීරණාත්මක බවද අවධාරණය කරයි.

I සාරා කන්දෙගොඩ