ලෝක කම්කරු දිනය මැයි දිනයක් බවට පත්වී අවසානයේ දේශපාලන පක්ෂවල බලය පෙන්වන දිනයක් බවට පත්ව ඇත්තේ ලෝකයෙන්ම අපේ රටේ පමණි. මේ නිසාම පක්ෂ විපක්ෂ බොහෝ දෙනා වෙහෙස මහන්සි වෙමින් ලෝක කම්කරු දිනය වෙනුවට මැයි දිනය සැමරීම සඳහා කටයුතු කරති. කතාවට කියන්නේ රුපියල් 2000 යි බත් පැකට් එකයි, ගල් කාලයි යනුවෙනි. ඇත්ත නැත්ත කෙසේ වෙතත් සමහර පක්ෂවල මැයි දින සැමරුම් එසේය. ජනාධිපති, විපක්ෂ නායක ඇතුළු පක්ෂ විපක්ෂ හැමෝම වේදිකාවල රඟති. ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව නම් කරපු කියපු දේවල් වැඩිපුර කියවති. විපක්ෂය පොරොන්දු දෙමින් බලය ඉල්ලති. ඔවුන්ගේ කටේම ඇත්තේ "අපේ ආණ්ඩුවකදී" යන වචනයයි. මේ රටේ ගොඩක් පක්ෂ බලය ලබාගන්නත්, බලය තහවුරු කරගන්නත් කම්කරු දිනය මැයි දිනයක් කරගෙන ඇත්තේ එසේය.
මෙවර මැයි දිනයද අපේ රටේ පැවැත්වුණේ එලෙසය. කෙසේ වෙතත් මෙවර මැයි දිනය වෙනදාට වඩා සුවිශේෂීය. එනම් මේ වසරේ එන ජනාධිපතිවරණය වෙනුවෙන් එම අපේක්ෂකයන්ගේ සහ පක්ෂවල හයිය පෙන්වීම මේ මැයි දිනයේ මූලික අරමුණ වී තිබිණි. ඒ අනුව බොහොමයක් පක්ෂ තම තමන්ගේ වේදිකා, මැතිවරණ සටනේ ආරම්භක වේදිකා බවට පත් කරගෙන තිබිණි. ඒවා තමන්ගේ මැතිවරණ හයිය පෙන්වන වේදිකා බවට පත්වී තිබිණි.
මේ අතර බොහෝ දෙනකු බලා සිටි මැයි දින වේදිකා බවට පත්වූයේ පොහොට්ටුව සහ එජාප වේදිකාය. ආණ්ඩුව සම්බන්ධයෙන් ජන මතය කෙසේද යන්න බැලීම මෙම වේදිකා හරහා අපේක්ෂා කෙරිණි.
පොහොට්ටුව කැම්බල් පිටියේත් එක්සත් ජාතික පක්ෂය මාලිගාවත්ත ප්‍රදේශයෙත් තමන්ගේ මැයි දින රුස්වීම් පවත්වනු ලැබීය. බොහෝ දෙනකු පොහොට්ටුව සඳහා ජනතාව අඩු වෙතැයි අපේක්ෂා කළත් සැලකිය යුතු පිරිසක් ඒ සඳහා සහභාගි වී සිටියහ. පසුගිය කාලයේ යම් යම් මත ගැටුම් එම පක්ෂය අභ්‍යන්තරයේ දැකගත හැකි වුවත් ඒ ගැටුම්වලට හේතු වූ පිරිස්ද මැයි දින රුස්වීම සඳහා තම සහාය උපරිමයෙන් ලබා දී තිබුණි. එම වේදිකාවේ දැකගත හැකිවූ සුවිශේෂී සිදුවීමක් වූයේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට රාජපක්ෂවරුන් මැද ඉඩක් වෙන්කර තිබීමයි. ධම්මික යනු පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයා බව නිල නොලත් ලෙස කතාබහ යන අතරතුර ඔහු වෙනුවෙන් මෙලෙස ඉඩකඩ ලැබීම එම කසුකුසුව බොහෝ දෙනාට සත්‍යයක් බවට තහවුරු වන තැනට පත්විය. එහෙත් ඔවුන් අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉඟියක් පළ කළේ නැත.
මේ අතර මාලිගාවත්තේ පැවති එජාප රුස්වීම කාගෙත් අවධානය යොමුවුණු රුස්වීමක් විය. ඒ ඇතැම් පක්ෂවල අය එදින එම වේදිකාවට නගින බවට එජාපයේ පිරිස් පුරසාරම් දෙඩූ බැවිනි. එහෙත් අවසානයේ එම වේදිකාවට එක්වූයේ පොහොට්ටුවේ මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී ගයාෂාන් පමණි. කෙසේ වෙතත් එජාප රුස්වීමටත් බලාපොරොත්තු වූ සංඛ්‍යාවට වඩා යම් පිරිසක් පැමිණ සිටියහ. වජිර අබේවර්ධන මහතා දුම්රියෙන්ද පිරිසක් රුගෙන ආවේය. ඒ මොන දේ සිදුවුවද පක්ෂ මාරුවීමක් සිදුවුණේ නැත. කෙසේ වෙතත් සවස මහා සංගීත රාත්‍රියක් පැවැත්වුණේ ඉන්දියානු ගායක ගායිකාවන්ගේ ප්‍රධානත්වයෙනි. එය මැයි දින වේදිකාවක වෙනස්ම අත්දැකීමක් විය.
මැයි දින රැලි අතරින් හැමදෙනාගේම වැඩි අවධානය යොමුව තිබුණේ මාලිමාව සහ සජබ රැලි වෙතය. එම දෙපාර්ශ්වයම ජනතාවගේ වැඩිම කැමැත්ත තමන් බව ප්‍රසිද්ධියේ කියන බැවින් ජනතාව කෙසේ ඒ සඳහා ප්‍රතිචාර දක්වන්නේද යන්න බොහෝ දෙනා බලා සිටියහ. මාලිමාව තම තරම පෙන්වීම සඳහා මැයි දින රැලි හතරක් රට පුරා සංවිධානය කර තිබිණි. ඒ යාපනය, අනුරාධපුර, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවලය. කෙසේ වෙතත් විශාල ජන ගඟක් අනුරාධපුර, කොළඹ සහ මාතර දැකගැනීමට හැකිවිය. ඔවුන් මෙලෙස රැලි හතරක් සංවිධානය කිරීමේ අරමුණ ලෙස සඳහන් කර තිබුණේ රට වටෙන්ම ජනතාව රුගෙනවිත් පිරවීමට තරම් ස්ථානයක් කොළඹ නොමැති බවය. එමෙන්ම තමන්ගේ මැයි රැලිය ගැන ඔවුහු මහත් ආඩම්බරයෙන් කතා කළහ.
මේ අතර සජබය තම වේදිකාව සකසා තිබුණේ පහළ චැතැම් වීදිය ප්‍රදේශයේය ඔවුන්ගේ රුස්වීමටද විශාල සෙනගක් පැමිණ සිටියහ. ඔවුන් පැවසුවේ කොළඹ පැවැති මැයි රැලිවලින් අති සාර්ථකම මැයි රැලිය තමන්ගේ රැලිය බවය. ඔවුන්ගේ මැයි රැලියේ තිබූ ලොකුම විශේෂත්වය වූයේ ආණ්ඩුවට යන බවට ඉඟි පළ කළ පිරිස එම වේදිකාවේ රුඳී සිටීමය. කෙසේ වෙතත් මාලිමාව සහ එජාපය තමන්ගේ ජනාධිපති අපේක්ෂකයන් ගැන ජනතාව ඉදිරියේදී ප්‍රසිද්ධියේ කතා කළේය. එහෙත් පොහොට්ටුව තම ජනාධිපති අපේක්ෂකයා ගැන ඉඟි පළ කළේ නැත. ඒ අනුව මෙම මැයි රැලිය කාගෙ කාගෙත් කැරුට්ටුව එළිදැක්වූ අවස්ථාවක් විය.
I ගයාන් ගාල්ලගේ