2024 මැයි 04 වන සෙනසුරාදා

පළාත් සභාවෙන් ආණ්ඩුකාර ධූරයට පැමිණි ලක්ෂමන් යාපා අබේවර්ධන

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 131

දකුණු පළාතේ 12 වැනි ආණ්ඩුකාරවරයා ලෙස මෙරට කෘතහස්ත දේශපාලනඥයකු වූ හිටපු ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කෙරිණි.

එලෙස දකුණු පළාතේ නව ආණ්ඩුකාරවයා ලෙස පත් කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීම ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී සිදු කෙරිණි. 

පළාත් සභා ක්‍රමය ස්ථාපිත කරමින් පැවැති පළමු මැතිවරණයෙන්ම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වූ ඒ මහතා පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස පත්වූ දකුණු පළාතේම ආණ්ඩුකාරවරයා ලෙසපත්වන පළමු තැනැත්තා ලෙසටද ඉතිහාසයට එක්ව තිබේ.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, 1982 වසරේ දී ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා බැලට් එක වෙනුවට බුලට් එක පෙරමුණ ගත් දැඩි භීෂණය පැවැති සමයේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභාවට ඉදිරිපත් විය. විවිධ තර්ජන ගර්ජන එල්ල වුවද ඊට නොබියව මුහුණ දෙමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන ගිය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා 1988 පළාත් සභා මැතිවරණයේ දී විශිෂ්ට ලෙස ජය ගැනීමට සමත් විය. එතැන් සිට මාතර දිස්ත්‍රික්කයට පමණක් නොව දකුණු පළාත වෙනුවෙන් ජනතා සේවයේ යෙදෙමින් කෙටි කලක් ඇතුළත ජනතාව අතර කීර්තිමත්, සුපිරිසිදු දේශපාලනඥයෙක් ලෙස නමක් දිනා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව 1993 වසරේ පැවැති පළාත් සභා මැතිවරණයේ දී නැවතත් දකුණු පළාත් සභාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන්ද විශිෂ්ට ලෙස ජය ගත්තේය.

1994 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට පළමු වතාවට ඉදිරිපත් වෙමින් එම මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන ඒ මහතා ඉන් අනතුරුව පැවැති මැතිවරණද ජයග්‍රහණය කරමින් 2002 වසරේ දී එවකට පැවැති ආණ්ඩුවේ විදේශ රුකියා සුබසාධන ඇමැතිවරයා ලෙස පත් විය. සිය ඇමැති ධූරය තුළින් ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉමහත් සේවාවක් කරමින් ජනතා ප්‍රසාදය දිනාගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2005 වසරේ පැවැති මහ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කරමින් 2007 වසරේ දී ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. තිස් අවුරුද්දක් පුරා දිව ගිය යුද්ධයේ තීරණාත්මක අවදියක ජනමාධ්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වෙමින් ත්‍රස්තවාදීන්ට එරෙහිව ආණ්ඩුවේ මතය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන්ද ගෙන යමින් යුද ජයග්‍රහණය වෙනුවෙන් මතවාදී ජයග්‍රහණයක් ලබා දෙන්නට සමත් විය. 

නැවතත් 2010 වසරේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරය, 2013 වසරේ ආයෝජන ප්‍රවර්ධන කැබිනට් ඇමැති ධූරය, සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ධූරය සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ධූරයේ වගකීම් රුසක් දැරීය. ආයෝජන ප්‍රවර්ධන ඇමැතිවරයා ලෙස කටයුතු කරන සමයේ මෙරට ආයෝජන අවස්ථා ඇති කරමින් විදෙස් ආයෝජන රුසක් ගෙන ඒමට සමත් විය. යළි 2015 වසරේ මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2018 වසරේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙසත්, 2020 වසරේ නැවතත් ජනමාධ්‍ය ඇමැති ධූරයට පත් විය. ජනමාධ්‍ය ධූරය හෙබවූ කාලයේ සියලු ජනමාධ්‍යවේදීන් සමඟ ඉතා සුහදව හා කුලුපගුව කටයුතු කරමින් ජනමාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කළේය. 

දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වන තෙක් වසරකට ආසන්න කාලයක් එතුමා වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සුවිශේෂී කාර්යභාර්යක් ඉටු කළේය. වයඹ පළාතේ ආගමික නායකයන්, නිලධාරීන් හා ජනතාව සමඟ සුහදව කටයුතු කරමින් එම පළාතේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කිරීමට සමත් විය. වයඹ පළාතට ආවේණික ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් ලබාදෙමින් ජනතාවගේ ජන ජීවිතය නගා සිටුවීමට ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විශාල සේවාවක් කළේය. එම නිසාම එතුමා එම පළාතේ සියලු දෙනාගේම ආදරය හා ගෞරවයට පාත්‍ර විය. එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර ධූරයට පත්වීම ලබන බව සැලවීමත් සමඟ වයඹ පළාතේ මහා සංඝරත්නය, දේශපාලන අධිකාරිය හා පළාතේ ජනතාව දැඩි ලෙස විරෝධය පළ කළේය. එමෙන්ම දකු‍ණු පළාතේ දේශපාලන අධිකාරියේ හා ජනතාවගේ දැඩි ඉල්ලීමක් එතුමා දකුණු පළාත් ආණ්ඩුකාර වශයෙන් පත්කර ගැනීමට තිබුණි.

I දිමුතු විදානගමාච්චි