විවාහ ජීවිතයේ කාලය වසර දහයකට වැඩිය. එහි හොඳම සාක්ෂිය නම් වැඩිමල් දියණියට අවුරුදු දහයක් පිරී තිබීමය. නමුත් අඹු සැමි යුවළ අතර නොහොඳ නෝක්කඩු අඬදබරවල තරම නම් නිමක් නොවීය. ඒ නිසා බොහෝ විට බිරිඳ සැමියාගෙන් වෙන්ව සිටියාය. අවසන් වරට සැමියා ඩුබායිහි සේවය කරමින් සිට තෙමසකට පසු නැවත පැමිණියේය. ඒ වන විටත් බිරිය හා දරු දෙදෙනා ආ ගිය අතක් ඔහු දැන සිටියේ නැත. කාලයක් පැවති කේන්තිය අලුතින් වැඩෙන්නට ඇත්තේ එවිටය. බෝම්බයක් අතැතිව සිය ලෙයින් උපන් දරු දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන බිරිය නොපැමිණියහොත් දරුවන් මරා දමන බවට තර්ජනය කොට රටක් කැළඹූ ඒ නරුම පියාගේ පවුලේ යටගියාව මේ ආකාරයෙනි.
පැවසෙන අයුරින් දරුවන්ගේ පියා රට රුකියාවක සිට කිහිප දිනකට පෙර මෙරටට පැමිණ ඇත. ඒ වන විට බිරිය හා දරු දෙදෙනා ආ ගිය අතක් ඔහු දැන සිටියේ නැත. පැවති ආරවුල් එතරම් නිසා බිරිඳ දරු දෙදෙනා සමඟ රැඳී සිට තිබුණේ ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී නිවෙසකය.
නරුම සැමියාට සිතී තිබුණේ සිය මතයට පිටින් යන බිරිය මරා දමන්නටය. ඒ සඳහා ඔහු දවස් ගණනක් ඇය සිටින ඉසව්වක් සොයන්නට වෙහෙසුණේය. අවසානයේ ආරංචියක් ලැබී තිබුණේ බිරිය ජල්තර ප්‍රදේශයේ ගැවසෙන බවටය. ඒ අනුව උපායක් සිතා ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ සැරිසරා තිබුණේ නිවෙස්වලට භාණ්ඩ සපයන කුරියර් ආයතනයක නියෝජිතයකු ලෙසය. එවැනි මොහොතක සිය දියණිය නෙත ගැටුණු නරුමයා ඇය සමඟ ගෙදරට ගොස් තිබුණි. කෙසේ හෝ මේ බව දුරක තියා දුටු බිරිය වහා එතැනින් පලා යන්නට වූවාය. සැමියා අත බෝම්බයක් වැනි යමක්ද තිබෙනවා දුටු බිරිය සිතා තිබුණේ අද ඇගේ අවසානය වන්නට ඇතැයි යනුවෙනි. ඒ නිසාම පලා යමින් සිටි ඇය දරුවන්ගේ ආරක්ෂාව තකා පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතුවාය.
ක්ෂණයකින් පණිවිඩය ලද හංවැල්ල පොලීසියේ පොලිස් පරීක්ෂක සුජිත් ඕල්ටර් මහතා ඇතුළු පිරිසක් නිවාස සංකීර්ණය වෙත පැමිණියහ. එහිදී අත්බෝම්බයක් සහිතව සිටි සැකකරුවකු නිසාත් දරු දෙදෙනකු ප්‍රාණ ඇපයේ තබාගෙන තර්ජනය කළ නිසා තත්ත්වය භයානක බැවින්ද ඉහළ නිලධාරීන්ට කරුණු දන්වා තිබුණි. වැඩි වෙලාවක් නොගොස් බෝම්බ නිශ්ක්‍රීය අංශය හා විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් එහි කැඳවීමට කටයුතු කෙරිණ.
එම අවස්ථාවේදී තිබූ තත්ත්වය ඉතා බැරෑරුම් බවට තේරුම් ගත් පොලිස් නිලධාරීහු මෙය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවත් එක වරදකින් ජීවිත තුනක් හෝ ඊට වැඩි ගණනකට හානි විය හැකි බවත් සිතා බෝම්බ නිෂ්ක්‍රීය කටයුතු සඳහා වර්තමානයේ මෙරට සිටින දක්ෂතම නිලධාරියකු වන බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා සහ ගලවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව හසල අත්දැකීම් ඇත්තකු වන පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා මෙම මෙහෙයුම සඳහා යොමු කළහ.
එම අවස්ථාවේ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් පවා ඉවත් කිරීමට නිලධාරීහු කටයුතු කළහ. ඒ වන විටත් නිවාස සංකීර්ණයේ පැවතියේ දැඩි කලබලකාරී වටපිටාවකි. තම බිරිය නොලැබුණහොත් ප්‍රාණ ඇපයේ සිටින දරුවන් දෙදෙනා සමඟ තමුන්ද බෝම්බය පුපුරවාගෙන මිය යන බවට එම නිලධාරීන් හමුවේද ඔහු තර්ජනය කළේය. ඊට මැදිහත් වූ විශේෂ කාර්ය බළකා නිලධාරීන් පැය නවයක පමණ බිහිසුණු මෙහෙයුමක නිරත වෙමින් දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ අතර සැකකාර පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබීය.
පවුල් ආරවුල් නිසා බිරිය වයස අවුරුදු 10 සහ 2ක් පමණ වන දැරිය හා පුතු සමඟ හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත රැදී සිටි බව කියයි. ඒ බව සැමියා නොදැන සිටි බව කියැවේ. බෝම්බය සහිතව දරුවන් සමඟ සිටි නරුම පියා රැදී සිටි කාමරයේ යකඩ කූරුවලින් දොරක් හා එයටම සම්බන්ධ ලෑලි දොරක් තිබී ඇත. ඊට පිටින් සිටි නිලධාරීන් පැය ගණනක් සාකච්ඡා කළද සැකකරුගේ නම්‍යශීලී බවක් තිබී නැත.
මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් පැමිණෙන විටත් සැකකරු දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත්බෝම්බයේ අගුළු ඉවත් කර තිබූ බව පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා කීවේය. ඔහු කාරුණිකව සැකකරු සමඟ අදහස් හුවමාරු කර ගනිමින් අගුළු ඉවත් කර තිබූ අත්බෝම්බයෙහි යළි අගුළු දැමීමක් සැකකරු ලවාම සිදුකර ගන්නට සමත් විය. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමඟ සාකච්ඡා කර තිබූ අතර දැඩි ලෙස ආයාචනා කරමින් දැනුවත් කරමින් සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවෙසින් පිටතට පැමිණෙන ලෙස ඉල්ලීම් කර තිබිණි.
මේ අතර කිසිදු ඉල්ලීමකට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන තමන්ට එම ස්ථානයෙන් ඉවතට යා නොහැකි බවත් බිරිඳ ගෙනැවිත් දෙන ලෙසත් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම ඉටු කිරීමද නිලධාරීහු ප්‍රතික්ෂේප කළහ. තමන්ට එම ස්ථානයෙන් තනිව ඉවත්ව යාමට බයක් දැනෙන බැවින් තම නීතිඥයා සමඟ ඉවත්ව යා හැකි බවත් ඔහු රුගෙන එන ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි අතර එම අවස්ථාවේදීම නිලධාරීන් විසින් දුරකථනය හරහා අදාළ නීතිඥයා සම්බන්ධ කර දීමට කටයුතු කළද ඔහු පැමිණීමට නොහැකි බවට දැනුවත් කළ බව පොලිස් නිලධාරීහු සැකකරු වෙත දැනුම් දුන්හ.
වරෙක සැකකරු ලෑලි දොර වසා තිබුණේ නොසිතුව ලෙසය. ඒ අවස්ථාවේ සැකකරු බෝම්බය පුපුරා හරීද යන්න ගැන සැකයක් නිලධාරීන්ට මතුව ඇත. කෙසේ හෝ ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නිලධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී දොර කඩාගෙන ඇතුළු වී තිබුණේ දැඩි අවදානමක් මැදය. එසැණින් දරු දෙදෙනා මුදාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමටද විශේෂ කාර්ය බළකා නිලධාරීහු සමත් වූහ.
එම අවස්ථාවේ දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටියදී සැකකාර පියා විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බවට සැක සිතීම හේතුවෙන් දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කෙරිණ. එසේ එන්නත් කරන්නට ඇතැයි සැක කරන සිරිංජරයක්ද කාමරයේ තිබී ඇත. එම සිරිංජරය වැඩිදුර පරීක්ෂාව සඳහා රෝහලට බාර දී ඇත. රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේ වැඩිමහල් දස හැවිරිදි දියණියට පමණක් කිසියම් එන්නතක් ශරීරගත කර ඇතැයි අනාවරණය වූ බවකි. ඒ කුමන ඖෂධයක්දැයි විමර්ශනය කරන බවද පැවසේ. මේ අතර කුඩා දරුවා පොලීසිය විසින් මවගේ භාරයට ලබාදීමට පියවර ගෙන තිබිණි.
සැකකරු බිරිඳ හා අමනාපව වරින් වර වෙනත් තැන්වලට යාම සහ විදෙස්ගත වීම පුරුද්දක් ලෙස සිදුකර තිබිණි. පවතින ආරවුල් නිසාම බිරිය දරුවන් සමඟ හංවැල්ල ජල්තර ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ කුලී පදනම මත ලබාගත් නිවෙසක පදිංචිව සිටි බව පොලිසියට පවසා තිබේ. මෙවර සැකකරු විදේශයක සිට පැමිණි පසුව බිරිඳ නිවෙසේ නොමැති බව දැන ඇයව ඝාතනය කිරීමට සැලසුම් කොට ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව සොයා බලන විට ජල්තර නිවාස සංකීර්ණයේ සිටින බවට ලද තොරතුරක් ලැබී ඇත. ඉන් පසුව නිවාසවලට භාණ්ඩ සපයන කුරියර් ආයතනයක නියෝජිතයකු ලෙස ගොස් නිවාස සංකීර්ණයේ නිවාස රුසකටම ගොස් ඇත්තේ බිරිඳව සොයා ගැනීමට බවද එලෙස සොයා යන අවස්ථාවේදී තම දියණිය දැක ඇය සමඟින් නිවාස සංකීර්ණයේ බිරිඳ පදිංචි නිවාස වෙත ගොස් ඇති බව පොලීසිය සිදුකළ මූලික සාක්ෂි විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි හංවැල්ල පොලිසිය වාර්තා කළේය. මේ අතර සැකකරු අන්තර්ජාලය හරහා බෝම්බය පිළිබඳව හදාරා ඇතැයිද එම බෝම්බය මිතුරකු හරහා මිලදී ගත් බවද කියා ඇතැයිද පොලිසීය පවසයි.
පසුව සැකකරු සතුව තිබූ අත්බෝම්බය බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කළ අතර සැකකරු හංවැල්ල පොලිසිය භාරයට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත චෝදනා හතරක් යටතේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණ.
I ප්‍රදීප් වික්‍රම