ජනගනය වැඩිවීම ද අඩුවීම ද ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන ගැටලුවකි. ඇතැම් රටක අධික ජනගහනය හේතුවෙන් ප්‍රශ්න මතුවන විට තවත් රටක, ජනගහනය අවම වීම හේතුවෙන් අර්බුද පැන නගී. මෑතකදී ශ්‍රී ලංකාවේ ජනගහනය සම්බන්ධවද තරමක විශේෂ පුවතක් වාර්තා විය. එයින් කියැවුණේ ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහකින් පමණ පහළ ගොස් ඇති බවයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තා අනුව යමින් මෙම තොරතුරු හෙළිදරව් කොට තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාය. ඒ මහතා අනාවරණය කර තිබූ පරිදි වසර දහයකට පසු ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය ඍණ අගයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය විය.
මෙම පුවත පාදක කරගනිමින් මෙරට ජනගහනය පිළිබඳ වර්තමාන තොරතුරු විශ්ලේෂණයක් සඳහා අපි මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතාව සම්බන්ධ කර ගතිමු.
“2023 වන විට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22.037ක් ලෙස වාර්තා වෙනවා. මෙම තත්ත්වය 2022 ත් සමඟ සංසන්දනය කරන විට පෙනෙන්නට තිබෙන්නේ එක් ලක්ෂ හතළිස් හතර දාහකින් පමණ පහළ යෑමක්. 2012 න් පසුව පළමු වතාවට තමයි ශ්‍රී ලංකාවේ ජනගහනය මේ විදිහට අඩු වෙන්නේ. 2023 දී ජනගහන වර්ධන වේගය ඍණ අගයක් අරගෙන තිබෙනවා. එය වාර්තා වෙන්නෙ -0.6 ක් ලෙසයි."
මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද, පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇතැයි වාර්තා වේ.
සාමාන්‍ය තත්ත්වයන් යටතේ ජනගහන වර්ධන අනුපාතිකය තීරණය කරන සාධක දෙකකි. ඉන් පළමුවැන්න ස්වභාවික වර්ධන අනුපාතිකය වන අතර දෙවැන්න ශුද්ධ සංක්‍රමණයි. ස්වභාවික වර්ධන අනුපාතය තීරණය වන්නේ උපත් සහ මරණ අනුපාත මතය. කෙසේ වෙතත් 2019 වසරේ සිටම මෙරට උපත් අනුපාතිකයේ පහළ යාමක් පෙන්නුම් කරයි.
මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන ආකාරයට මෙරට උපත් ප්‍රමාණය අප දක්වා ඇති පරිදි පහත වැටී තිබේ.
2019 - තුන් ලක්ෂ දහනම දහස් දහයක්
2020 - තුන් ලක්ෂ එක්දහස් හත්සිය හයක්
2021 - දෙලක්ෂ අසූහතර දහස් අටසිය හතළිස් අටක්
2022 - දෙලක්ෂ හැත්තෑපන් දහස් තුන්සිය විසි එකක්
2023 වසරේදී උපත් ප්‍රමාණය 2022 කලින් වසරට සාපේක්ෂව විසිහත් දහස් හාරසිය විසි එකකින් පහළ ගොස් ඇතැයි පසුගියදා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා අනාවරණය කළේය. ඒ අනුව 2023 වසරේ උපත් ප්‍රමාණය දෙලක්ෂ හතළිස් තුන්දහස් නවසියයකි.
ඔහුට අනුව මීට සාපේක්ෂව මරණ සංඛ්‍යාවද ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. 2023 වසරට සාපේක්ෂව 2022 වසරේ 1,447කින් මරණ ප්‍රමාණය වැඩි වී තිබේ. එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි. මේ අනුව පැහැදිලි වන්නේ උපත් අඩුවී මරණ සංඛ්‍යාව වැඩිවීමෙන් ශුද්ධ වශයෙන් ජනගහනයට එකතුවන ප්‍රමාණයේ අඩුවීමක් ඇති බව බවකි.
උපත් සංඛ්‍යාව අඩුවීමත් සමඟම විවාහ වීම් පිළිබඳව ද අවධානය යොමු වේ.
“පසුගිය වසරේ ලංකාවේ විවාහවීම්වලත් යම් පහළ යාමක් පෙන්නුම් කරනවා. 2022 දී එක් ලක්ෂ හැත්තෑ එක්දහස් එකසිය හතළිහක් වූ විවාහ වීම් ප්‍රමාණය 2023 වසරේ දී එක්ලක්ෂ පනස් එක්දහස් තුන්සිය පනස් හයක් දක්වා අඩු වී තිබෙනවා. සමස්තයක් ලෙස මෙම සිද්ධිය අරගෙන බලන විට පෙනී යන්නේ විවාහ අඩුවීම හරහා තවදුරටත් අනාගතයේදී උපත් ප්‍රමාණය පහළ යන බවයි."
කෙසේ වෙතත් පසුගිය වසංගත තත්ත්වය, ආර්ථික අර්බුදය ඇතුළු සාධක අපට අමතක කළ නොහැකිය. එහෙත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ජන සංක්‍රාන්තියේ සිදුවූ වෙනස්කම් මෙලෙස ජනගහනය අඩුවීම සඳහා ප්‍රමුඛ සාධකය වී ඇති බවකි. කාලයත් සමඟම ජනගහනයේ සිදුවන වෙනස්කම් ජන සංක්‍රාන්තියේදී සලකා බලයි. මෙරට ජනගහනය අඩුවීමද කාලය සමඟ බද්ධ වූවකි.
“ළමයි ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුවෙලා වැඩිහිටියන් ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවෙන තත්ත්වයක් තමයි මේ වෙනකොට ලංකාවෙ තියෙන්නේ."
ඒ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ අනාගතයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය ක්‍රමක්‍රමයෙන් අඩුවිය හැකි බවකි.
මෙම තත්ත්වය ලෝකය සහ වෙනත් රටවල්වලට සාපේක්ෂව ද යම් පමණකට අප පැහැදිලි කරගත යුතුය.
“එක් එක් රටවල ජන සංක්‍රාන්තියේ මෙවන් අදියර විවිධ කාලවලදී තමා සිදුවෙන්නේ. මෙම තත්ත්වය ලංකාව තුළ වාර්තා වන්නට පටන්ගෙන තිබෙන්නේ දැන්. අපි දන්නවා හැත්තෑ ගණන්වල අසූ ගණන්වල ලංකාවේ ඉහළ උපත් අනුපාතිකයක් තිබුණා. ඒ තුළින් විශාල පිරිසක් ජනගහනයට එකතු වුණා. ඉන් අනතුරුව රජයන් අනුගමනය කරන්නට පටන් ගත්තා පුංචි පවුල රත්තරන් වගේ වැඩපිළිවෙළවල්."
මෙවන් වැඩසටහන්වල අරමුණ වූයේ ජනගහනයේ යම් පාලනයක් ඇති කිරීමයි. වර්තමානයේ ජනගහන වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් අඩුවී ඍණ අගයක් දක්වා පහළ වැටී ඇත්තේ මෙවන් වටපිටාවක් තුළය. කෙසේ වෙතත් පසුගිය වසරවලදී ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිසත් ජනගහනය අඩුවීම කෙරෙහි බලපෑ බව යම් පමණක සත්‍යයකි.
“දියුණු රටවල් සංක්‍රමණ නීතිය යටතේ තම රටවල පුරවැසිභාවය වෙනත් රටවල පිරිස් වෙත ලබා දෙන්නේ ඒ අයගේ රටවල්වල ජනගහනය තුලනය කර ගන්න. මරණ ප්‍රමාණය වැඩිවීම, උපත් ප්‍රමාණය අඩුවීම, විවාහ අඩුවීම ආදිය නිසා ඒ රටවල් බොහොමයක ජනගහන වර්ධනය ඍණ අගයක් අරගෙන තියෙනවා."
සිය රටවල්වල ජනගහනය කළමනාකරණය කර ගැනීමට බොහෝ රාජ්‍ය විවිධ ප්‍රතිපත්තීන් අනුගමනය කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ජනගහනය කළමනාකරණය කිරීම සඳහා නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවෙන්නේද යන්න ගැටලුවකි. එසේම රට තුළ සැකසෙන ඕනෑම ආර්ථික, සංවර්ධන, සමාජීය, දේශපාලන ප්‍රතිපත්තින්හිදී ජනගහනය අත්‍යන්තයෙන්ම සලකා බැලිය යුතු සාධකයකි. එහෙත් ජනගහන සාධකය කොපමණ දුරකට ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සලකා බලන්නේද යන්නද ගැටලුවකි.
“පළමුවෙන්ම අපේ රටේ දරණීය (දැරිය හැකි) ජනගහනය කොපමණද කියල ප්‍රතිපත්ති සම්පාදකයන් තීරණය කරන්න ඕනෑ. එම ජනගහන මට්ටම පවත්වාගෙන යාම සඳහා වැඩපිළිවෙළක්, ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් අවශ්‍යයි. ජනගහනය වැඩිද අඩුද කියන එක දැන් අපිට කියන්නට බෑ."
මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පෙන්වා දෙන පරිදි ජනගහනයේ වැඩි අඩු බව හෝ එහි වාසි අවාසි විග්‍රහ කර ගැනීමට පෙර රටක් ලෙස අප කළ යුතු දෑ බොහෝය. සියල්ලටම පෙර රටට දැරිය හැකි ජනගහනය තීරණය කොටගත යුතුය. ජනගහනය කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තීන්ද සකස් කරගත යුතුය. වෙනස් වන ජන සංක්‍රාන්තියට අනුව කඩිනමින් රටේ ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම ද අතිශය වැදගත් වේ.
I චමිඳු නිසල් ද සිල්වා