2024 මැයි 11 වන සෙනසුරාදා

පාරටම බැස්ස විධායක නිලධාරීන්ගේ වර්ජනය

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ විධායක නිලධාරිහු පසුගිය මැයි 2 සහ 3 යන දිනවල අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූහ. මේ හේතුවෙන් බොහෝ ආයතනවල වැඩ කටයුතු අඩපණ විය. ඉන් රජයේ සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි පීඩාවට පත්වූහ.

''රාජ්‍ය අංශයේ වෘත්තිකයන් වර්තමානයේ මුහුණ දී ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම” යන ශීර්ෂයෙන් යුතු ලිපියක් 2024 අප්‍රේල් මස 29 වැනිදා රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර තිබිණි.

පවතින වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නොසලකා හරිමින් ගනු ලබන තීන්දු තීරණ නිසා අසාධාරණයට පත් නිලධාරීන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් කියා තිබිණි. පවතින ගැටලු නිසා සේවා 18ක නිලධාරින් දහඅට දහසකට අධික ප්‍රමාණයකට දැඩි අසාධාරණ සිදුවෙමින් තිබෙන බවත්, පසුගිය කාලය පුරාම විධායක සේවා නොසලකා හරිමින් සෑම ආණ්ඩුවක්ම තීන්දු තීරණ ගැනීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, තමන් මුහුණ දී ඇති ගැටලු විසඳා ගැනීමට බලධාරින් සමඟ පසුගිය කාලයේදී සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම දෙදින වැඩවර්ජනය සිදුකිරීමට තීරණය කළ අතර මෙම ක්‍රියාමාර්ගයට සමගාමීව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔවුහු ප්‍රකාශ කර තිබිණි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට රාජ්‍ය ඉංජිනේරු සේවය, ආයුර්වේද වෛද්‍ය සේවාව, ක්‍රමසම්පාදන සේවාව, රජයේ පශු වෛද්‍ය සේවාව, අධ්‍යාපන පරිපාලන සේවය, මිනින්දෝරු සේවාව, විද්‍යාත්මක සේවාව, ගුරු අධ්‍යාපනඥ සේවය, වාස්තු විද්‍යාඥ සේවාව, තොරතුරු හා සන්නිවේදන සේවය, කෘෂිකාර්මික සේවය, දේශීය ආදායම් සේවාව, සංඛ්‍යාලේඛනවරුන්ගේ සේවාව, ධීවර හා ජලජ සම්පත් සේවය, කම්කරු කොමසාරිස් සේවාව, ගණකාධිකාරී සේවාව, තැපැල් සේවාව, වැනි සේවා 18කට අයත් විධායක හා මාණ්ඩලික සේවාවල නිරත පිරිස් එක්ව සිටියහ. 

රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති කේ.එල්. උදයසිරි මහතා වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රජයේ බොහෝ ආයතනවල වැඩ කටයුතු සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවටය. ආයුර්වේද රෝහල් සහ බෙහෙත් ශාලා සම්පූර්ණයෙන්ම වසා දැමූ බවත්, බේස්ලයින් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් ව්‍යාපෘති සියල්ලම පාහේ නැවතී ඇති බවත්, පාලකයන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වන නමුදු තම ගැටලුවලට පිළිතුරු සෙවීමට උත්සාහ නොකරන බවත්ය. 

''ආණ්ඩුව පහුගිය කාලෙ තෝරාගත් ක්ෂේත්‍ර ගණනාවකට වැටුප් හා දීමනා වැඩි කිරීමට කටයුතු කළා. මේ හේතුවෙන් නිලධාරින් බරපතළ වැටුප් විෂමතාවකට ලක්වී තිබෙනවා. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ ප්‍රශ්න ටික කඩිනමින් විසඳන ලෙසටයි.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.

රජයේ විධායක නිලධාරීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විවිධ ආයතනවලින් සේවා ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ. දෛනික රාජකාරිවලට බාධා එල්ල විය. අධ්‍යාපන සහතික ලබාගැනීම, අධ්‍යාපන සහතිකවල සංශෝධන සිදුකර ගැනීම, විභාග අයැදුම්පත් බාරදීම, විභාගවලට මුදල් ලබාදීම වැනි විවිධ රාජකාරි ඉටුකර ගැනීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණි ජනතාවට සිදුවූයේ යළි හැරී යන්නටය. විශේෂයෙන් දුර බැහැර සිටි පැමිණි ජනතාවට කරකියාගත හැකි දෙයක් නොවීය. ඇතැමුන් පැමිණියේ විභාග සහතිකයේ නමෙහි අකුරක් වැරදී තිබූ හෙයින් එය නිවැරදි කර ගන්නටය. තවත් අය ගුරු විභාගයකට පෙනී සිටීම සඳහා විභාග සහතිකයක් ලබා ගැනීමටය. තවත් අය විදෙස්ගත වීම සඳහා තම විභාග සහතික ලබාගැනීමට පැමිණ සිටියහ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිරත නිලධාරින් 2000ක් පමණ සහභාගී වී සිටියහ. ඒ විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, කලාප අධ්‍යාපන කාර්යාල සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වශයෙනි. 

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සමිති ලේකම් සම්පත් දේශප්‍රිය පැවසුවේ රජය තම ඉල්ලීම් සඳහා අවධානය යොමු නොකරන පසුබිමක මහජනතාව පීඩාවට පත්වුවද වැඩවර්ජනයේ නිරත වීමට සිදුව ඇති බවයි. මෙම වැඩවර්ජනය දෙදින වැඩවර්ජනයක් වන අතර ඊට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලන නිලධාරීන් 2000ක් පමණ සහභාගී වූ බවද ඔහු සඳහන් කළේය. ''මෙම වැඩවර්ජනය හේතුවෙන් මහජනතාවට පීඩාවක් ඇතිවන අතර ඒ බව රජය අවබෝධ කරගත යුතුයි.'' යනුවෙන් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුදු  පසුදින අත්‍යවශ්‍ය සේවා පමණක් ලබාදීමට ඔවුහු කටයුතු කළහ. වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටින රජයේ විධායක නිලධාරින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අතර, පසුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිපියක් ලබාදීමටද ඔවුහු කටයුතු කළහ. පැය තුනකට ආසන්න කාලයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිටද උද්ඝෝෂණයක නිරත අතර, එම විරෝධතාව අවසන් වූයේ විසඳුමකින් තොරවය. තම ගැටලුවලට ආණ්ඩුව නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන තෙක් තම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ විධායක නිලධාරින්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති සිසිර පියසිරි සඳහන් කළේ මෙවැන්නකි. ''අපිට ලැබෙන වැටුපෙන් සතියක්වත් ජීවත් වෙන්න බැහැ. ඇඳුමක්, සපත්තු දෙකක් ගන්න පඩියෙන් බාගයක් ඕනෙ. ඇයි ආණ්ඩුව විධායක ශ්‍රේණියේ නිලධාරින් පාරට ඇදල දාල ඔවුන්ගේ ඉල්ලීම් ගැන නොසලකා ඉන්නේ.''

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරින්ද මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීම හේතුවෙන් නඩු භාණ්ඩ රුගෙන එම දෙපාර්තමේන්තුවට පැමිණි නිලධාරින්ටද හැරී යාමට සිදුව තිබිණි. ඇතැම් ප්‍රදේශවල දිස්ත්‍රික් සංවර්ධන කමිටු කටයුතු ද නිලධාරීන් නොමැතිකමින් පවත්වාගෙන යෑමට නොහැකි විය. 

විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ වැටුප  වසර 6කට අධික කාලයක් තිස්සේ වැඩිවීමක් ලැබී නොමැති අතර එම ගැටලු විසඳීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇතැයි පසුගිය 8 දා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා