මැයි පළමුවැනිදා සමාජ මාධ්‍ය තුළ ගුවන් තොටුපළේ සිදුවූ සිදුවීමක් ප්‍රචාරය වන්නට විය. එක්තරා තරුණයකු වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවටත්, තවත් පෞද්ගලික ආයතනයකටත් දැඩි කෝපයෙන් බැණ වදිනු දැකගත හැකි විය. එහිදී ඔහු ඇඟිල්ල දිගු කරමින් පැවසුවේ ලංකාවට පැමිණෙන මෙරට පුරවැසියන් නොවන පිරිසට වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දියානුවන්ට පවරා ඇති බවය. එසේම වීසා ගාස්තුව සම්බන්ධයෙන් ද ඔහු විවේචන එල්ල කළේය.
එම වීඩියෝව සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වීමත් සමඟ මෙම වීසා දෙන සිදුවීම සම්බන්ධයෙන් කතාබහක් ඇතිවිය. එනම් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්දියානු සමාගමක් වන වී.එෆ්.එස්. නැමති සමාගමට ලබාදීම ගැන බහුතරයකගේ විවේචන එල්ල විය. එයට හේතුව මෙතරම් කාලයක් වීසා නිකුත් කිරීම ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිසි පරිදි සිදු කරමින් තිබුණත් මෙම පෞද්ගලික ආයතනය එම ක්‍රියාවලිය ආරම්භ කිරීමත් සමඟම වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ප්‍රමාද වීමය. එපමණක් නොව මෙරට වීසා නිකුතුව ඩොලර් 60 කට පැවතියත් මෙම සමාගම බාරගත් සැණින් අදාළ මුදල ඩොලර් 100 දක්වා ඉහළ දැමීමද බොහෝ දෙනාට ප්‍රශ්නයක් විය. සංචාරක කර්මාන්තය වර්ධනය වෙමින් ඇති මොහොතක, ලෝකයේ දියුණු රටවල පවා වීසා ගාස්තුව සංචාරකයන් වෙනුවෙන් අවම වී ඇති මොහොතක අප වැනි රටක් වීසා නිකුත් කිරීම සඳහා ඩොලර් 100 ක්, එසේ නොමැති නම් රුපියල් 30,000 කට ආසන්න මුදලක් ලබාගැනීම බරපතළ අවුලක් බව බොහෝ දෙනාගේ මතය වී තිබිණි.
“හඳ පෙන්නුවම හඳ දිහා නොව ඇඟිල්ල දිහා බැලීම" අපේ කලාවය. "පණිවිඩකරුට පළමු ප්‍රහාරය එල්ල කිරීම අපේ විදිහය. ඒ බව සනාථ කරමින් මැයි පළමුවැනිදා ගුවන් තොටුපළේදී සිය විරෝධය පළ කළ තරුණයා කටුනායක ගුවන් තොටුපළ වෙත කැඳවා තිබුණි. ඒ ප්‍රශ්න කිරීම සඳහාය. ඔහු කැඳවන මොහොතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව භාර නීතිය හා සාමය අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය කැඳවීමක් සිදුකර තිබුණි. එහිදී ඔහු සඳහන් කර සිටියේ එදින කෑ ගැසූ තරුණයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවය. එසේම එම තරුණයාගේ දෙමව්පියන්ගේ දේශපාලන පසුබිම කියා පාමින් ඇතිවූ අවුල සම්බන්ධයෙන් ඔහුව සාධාරණීකරණය කිරීමේ උත්සාහයක නිරත විය. එය දුටු ඕනෑම කෙනකුට අමාත්‍යවරයා රටේ පුරවැසියන්ට වඩා විදෙස් සමාගම සම්බන්ධයෙන් පුදුම සෙනෙහසකින් කටයුතු කරන බව සිතෙනු ඇත.
කෙසේ වෙතත් ප්‍රකාශය ලබාදුන් සඳරු නැමැති තරුණයා ඉන් පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඔහු නීතිවේදියකු මෙන්ම සංචාරක ව්‍යාපාරයේ කටයුතු කරන අයෙකි. ඔහු සඳහන් කළේ තම විවාහ අපේක්ෂක රුසියානු පෙම්වතිය ලංකාවට පැමිණි අවස්ථාවේ වීසා ලබාගැනීම සඳහා අදාළ ආයතනයේ පෝලිමේ සිටි බවත්, එහෙත් ඒ වනවිටත් විශාල ප්‍රමාදයක් සිදුවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විමසන්නට ගිය අවස්ථාවේදී ඉන්දියානු ජාතිකයකු තමාට පසුපසට වී සිටින ලෙසට දැනුම් දුන් බවත්ය. වෙනදාට විනාඩි පහකින් සිදු කරන කටයුත්ත එදින ප්‍රමාද වූයේ මෙම ආයතනය හේතුවෙන් වීමත් ඔවුන් ඉන්දියානුවන් වීමත් නිසා තමන් කෝපයට පත්වූ බවත් ඒ හේතුවෙන් තමන් නොසන්සුකාරී ලෙස හැසිරුණු බවත් ඔහු සඳහන් කළේය.
මැයි 1 අවුලට හේතුව
එහෙත් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඉන්දියානු ජාතිකයා පසුපසට වී සිටින ලෙස දැනුම් දුන් පසුව අදාළ තරුණයා නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බවය. මෙම වී.එෆ්.එස්. සමාගම ඉන්දියානු සමාගමක් නොවන බවත් රටවල් ගණනාවක වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ එකම සහ ප්‍රධානම සමාගම මෙය බවත් අමාත්‍යවරයා ලොකු සහතිකයක් ලබා දුන්නේය. කෙසේ වෙතත් එදින එම සමාගම රාජකාරි ආරම්භ කළ පළමු දින හේතුවෙන් අන්තර්ජාල සම්බන්ධතා ලබාගෙන ඇත්තේ ‘ඩොංගල්’ හරහා වීම නිසා යම් අපහසුතාවයක් ඇතිවූ බව අමාත්‍යවරයා පැවසීය. එපමණක් නොව දවස් කිහිපයක් ආගමන විගමන පද්ධතිය සමඟ සමාන්තරව අදාළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යන ලෙසට දැනුම් දුන්නත් ආගමන විගමන දෙපාර්තමේන්තුව එදිනම පද්ධතිය වසා දමා තිබුණු නිසා එම ප්‍රමාදය සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් තමන් පරීක්ෂණයක් සිදුකරන බවත් අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා දිගින් දිගටම මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ආයතනයට ඇති පදමට සුදුහුණු ගාමින් කිසිදු වෙලාවක සමාගම ඉවත් කර නොගන්නා බවට සහතික විය. සැබැවින්ම අමාත්‍යවරයාත් සමාගමත් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් බැඳීමකි.
තුන්වැනි සමාගමක්
මෙහිදී මෙම ගිවිසුමට අදාළව මැදිහත්කාර සමාගමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබිණි. ඒ අයි.වී.එස් ආයතනය සම්බන්ධයෙනි. එම ආයතනය මෙම ගිවිසුමේ මැදිහත්කාර පාර්ශ්වයක් විය. සරලවම කිවහොත් ඒ මෙම ගිවිසුමේ මහ මොළකරුය. අමාත්‍යවරයා ඉන්දියානු විරෝධය ගැන අදහස් දක්වමින් කීවේ "අපි ඉන්දියාවට බැන්නට මේ සිද්ධියේදී අපේ ගෙදරත් ඔය හැමෝගෙම ගෙදරත් කන්නේ ඉන්දියන් බිත්තර" බවය. අමාත්‍යවරයකු එලෙස කීම විහිළු සපයන්නකි. ඉන්දියානු බිත්තර කෑවේ අපේ උවමනාවට නොව ආණ්ඩුවට හරියට බිත්තර මිල පාලනය කර ගැනීමට නොහැකි වූ බැවිනි. ඒ නිසා බිත්තර කැවීමත්, වීසා ලබාදීමත් ජනතාවගේ වැඩ නොව කළ උන්දැලාගේ වැඩය.
වී.එෆ්.එස් හට වීසා ලබාදිය හැකිද?
වී.එෆ්.එස් සමාගම සඳහා වීසා ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වූ කටයුත්ත ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබුණි. අමාත්‍යවරාය පැවසුවේ එසේ ටෙන්ඩර් කැඳවන්නට තරගකාරී ආයතන නොතිබුණු බවය. ඒ අනුව අදාළ සමාගම සඳහා අවසර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් 2023 දෙසැම්බර් 4 දා කැබිනට් මණ්ඩලය වෙත යවා ඇති අතර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇත්තේ දෙසැම්බර් 11 වැනිදාය. ඊට අවසරය ලැබුණු පසුව දෙසැම්බර් 21 වැනිදා ගිවිසුම් අත්සන් කර ඇත. මේ තරම් හදිසියකින් වැඩේ කිරීම පුදුම සහගතය. අමාත්‍යවරයකු මෙතරම් කැපවීමක් සිදුකිරීම අදහන්නට වටින්නේය. කෙසේ වෙතත් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා අවසර ගැනීමට තමන් දෙවතාවක් කැබිනට් මණ්ඩලයට ගිය බවය. ඒ නිසා කිසිදු අමාත්‍යවරයකුට මීට විරුද්ධ විය නොහැකි බවට අමාත්‍යවරයා නොකියා ප්‍රහාර එල්ල කළේය. කෙසේ වෙතත් ඒ වනවිටත් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙම වීසා මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් සිය විරෝධය එල්ල කර තිබුණි. ඒ ජනාධිපතිවරයා වෙතය. මේ හරහා සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුවන බව ඔහුගේ මතය විය. ඒ වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු කැබිනට් මණ්ඩලය තුළ සිය විරෝධය එල්ල කළේය. අවසානයේ කැබිනට් මණ්ඩලයේ තීන්දුව වූයේ ඩොලර් 100 ට ඉහළ දැමූ වීසා ලබාදීම නැවත ඩොලර් 60 ට අඩු කරන බවය. ඒ අනුව නැවතත් සුපුරුදු වීසා ගාස්තුව අය කිරීම සිදුවිය.
වී.එස්.එෆ් විසින් වීසා ලබාදෙන බවට සමාජ මතයක් ඇති වුවත් සැබැවින්ම ඔවුන් සිදුකරන්නේ ඊ වීසා සඳහා අවශ්‍ය ලිපි ගොනු පරීක්ෂා කිරීම පමණි. අදාළ ලිපි ගොනු බලා ඒ සියල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් පසුව වීසා ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබයි. එහෙත් පුදුමය වන්නේ මෙතරම් කාලයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ ක්‍රියාදාමය නිසි ලෙස සිදු කළා නම් මෙය පෞද්ගලික සමාගමකට ලබා දුන්නේ ඇයිද යන්නය. විදේශ විනිමය වෙනත් රටකට යැවීමට ඉඩ දුන්නේ ඇයිද යන්නය. අමාත්‍යවරයා සමාගම වෙනුවෙන් පෙනී ඉන්නේ ඇයිද යන්නය. ජනතාවට මේවා දැන් ප්‍රශ්නයක් වී තිබේ.
I ගයාන් ගාල්ලගේ