2024 මැයි 11 වන සෙනසුරාදා

කන්කසන්තුරේ සිට නැවෙන් ඉන්දියාවට යන්න

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

යාපනය, කන්කසන්තුරය සිට දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය දක්වා වන මගී ප්‍රවාහන නැව් සේවාව මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කන්කසන්තුරය වරාය මෙහෙයුම් භාර නිලධාරී සමන් පෙරේරා පැවසුවේ කන්කසන්තුරය සිට නාගපට්ටිනම් දක්වා වන නැව් ගමන් සේවාව ආරම්භ කිරීමට නියමිත අතර, ඒ සඳහා වන ප්‍රවේශපත් ලබාදීම මේ වන විට ප්‍රවේශපත් අලෙවි නියෝජිත ආයතන විසින් ආරම්භ කොට ඇති බවය.

ඉන්දු ලංකා මගී නැව් ගමන් සේවාව 2023 ඔක්තෝබර් මස 14 වැනිදා සිට ඔක්තෝබර් මස 23 වැනිදා දක්වා පළමු අදියරේදී ක්‍රියාත්මක කළ අතර, ඊසාන දිග මෝසම් වර්ෂාව හේතුවෙන් නෞකා ගමන් සේවාව තාවකාලිකව නතර කර තිබුණි.
ඉන්දු - ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවාව වසර 41 කට පසුව 2023 ඔක්තෝබර් මස 14 වැනිදා ආරම්භ කිරීමත් සමඟ මෙරට බොහෝ දෙනෙක් නැවෙන් ඉන්දියාවට යෑමේ අපේක්ෂාවෙන් පසුවූහ.

මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක වන්නේ දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් වරාය සිට යාපනය, කන්කසන්තුරය වරාය දක්වාය.

නැවෙන් ඉන්දියාවට යාමට පෙර පළමුවෙන් කළ යුතු දේ

යාපනය සිට ඉන්දියාවට නැවෙන් ගමන් ගැනීමට අපේක්ෂා කරන ඔබ පළමුව කළ යුත්තේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉන්දියාවට ඇතුළු වීම සඳහා වීසා ලබා ගැනීමයි. නාවික ගමන් සේවාව සඳහා වන වීසා අයැදුම්පත සම්පූර්ණ ලියැවිලි සමඟ ලබාදුනහොත් දින තුනක් ඇතුළත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් වීසා පහසුකම් ලබා ගැනීමට හැකියාව පවතින බව යාපනයේ පිහිටි ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

වීසා ලබාගන්නා අයකු මෙම මගී යාත්‍රා සේවයෙන් ඉන්දියාවට යෑම සඳහා ටිකට් ලබාගත යුතු අතර, ඉන්දියාවට යෑමට හා නැවත මෙරට ඒමට රුපියල් 53500ක ප්‍රවේශපත්‍ ගාස්තුවක් අය කෙරේ.

ඉන්දියාවට යෑමට පමණක් රුපියල් 27000 ක මුදලක් වැය වන බව ටිකට්පත් අලෙවි නියෝජිතායතන සඳහන් කළ අතර, මගියකුට කිලෝග්‍රෑම් 50 ක උපරිමයකට යටත්ව ගමන්මළු රුගෙන යාමට හැකියාව ලැබෙයි.

මගී යාත්‍රාව පිටත්වන වේලාව හා වරායට පැමිණිය යුතු වේලාව

මගී නෞකාව ඉන්දියාවේ, නාගපට්ටිනම් වරායෙන් උදැසන 8.00 ට යාපනය බලා ගමන් ඇරඹීමට නියමිත අතර, ඉන්දියාවෙන් නැව් නැගීමට අපේක්ෂා කරන පුද්ගලයන් උදෑසන 5.00 ට ගමන්මළු පරීක්ෂා කිරීමට නාගපට්ටිනම් වරාය වෙත පැමිණිය යුතු වේ.

ඉන්දියාවේ සිට මගීන් රැගෙන එන නෞකාව උදෑසන 11.00 ට යාපනය, කන්කසන්තුරය වරාය වෙත පැමිණීමට නියමිත අතර, මුහුදේ තත්ත්වය මත වෙලාවේ යම් වෙනසක් විය හැකි බව සමන් පෙරේරා සඳහන් කළේය.

කන්කසන්තුරය වරාය සිට ඉන්දියාවේ නාගපට්ටිනම් දක්වා වන නෞකා ගමන පස්වරු 2.00 ට ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර, නෞකාවෙන් ගමන් කිරීමට අපේක්ෂිත පුද්ගලයන් පෙරවරු 9.30 ට පමණ සිය ගමන්මළු පරීක්ෂාව වෙනුවෙන් වරාය පරිශ්‍රයට පැමිණිය යුතුය.

කන්කසන්තුරය වරාය පරිශ්‍රයේදී මගීන්ගේ ගමන්මළු පරීක්ෂා කිරීම හා අනෙකුත් සේවාවන් අවසන් කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට පැමිණෙන නැවට මගීන් නැංවීම කරන බවද සමන් පෙරේරා සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරි කාර්යාලය, ආගමන විගමන කාර්යාලය, රේගු පරීක්ෂක කාර්යාල, විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකක කාර්යාලය වැනි ආයතන රැසක් කන්කසන්තුරය වරාය පරිශ්‍රය තුළ ස්ථාපිතව ඇත.

ඒ ආයතන සියල්ල හරහා වන සේවාවන් කන්කසන්තුරය වරාය පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වන බවද වරාය මෙහෙයුම් භාර නිලධාරිවරයා පැවසීය.

අතීතයේ පැවති ඉන්දු ලංකා නෞකා සේවය

අතීතයේ සිට ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවාවන් පවත්වා තිබූ අතර, ශ්‍රී ලංකාව තුළ යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ 1982 වසරේ සිට ඉන්දු ලංකා මගී නෞකා සේවය නවතා තිබිණ.

යුද්ධයෙන් අනතුරුව නැවත වතාවක් දෙරට අතර මගී නෞකා සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2011 වසරේ ගිවිසුම්ගත වූ අතර, විවිධ බාධා හේතුවෙන් මගී නෞකා සේවය ආරම්භ කිරීමට නොහැකි විය.

දකුණු ඉන්දියාවේ පවතින සුප්‍රසිද්ධ කෝවිල් නැරඹීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සංචාරකයන් විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි තමිල්නාඩු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි

“මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙළින්ම ඉන්දියාවට යන්න පුළුවන්.”

වවුනියාව ප්‍රදේශයේ පදිංචි එම්. මරියදාස් ඉන්දු - ලංකා මගී නැව් සේවය ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවසුවේ එවැන්නකි.

“මම වවුනියාවේ පදිංචිවෙලා හිටියට මගේ නැදෑයෝ ගොඩක් දෙනෙක් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ තිබෙන අවතැන් කඳවුරුවල තවමත් ජීවත් වෙනවා. යුද්ධයෙන් අවතැන්වෙලා ගියපු පවුල් රැසක් තවමත් ඉන්දියාවේ ආරනි ප්‍රදේශයේ ඉන්නවා. යාපනයේ ඉඳලා නාගපට්ටිනම්වලට නැව් සේවය ආරම්භ කරපු එක ගැන මට ගොඩාක් සතුටුයි.

දැන් අපිට චෙන්නායි දක්වා නැවෙන් යන්න පුළුවන්. යාපනයට ගිහිල්ලා එතැනින් කෙළින්ම ඉන්දියාවට යන්න පුළුවන්. ඒක ලොකු පහසුවක්.

නැත්නම් අපි කටුනායකට ගිහිල්ලා, එතැනින් ප්ලෙන් එකකින් තමයි චෙන්නායිවලට යන්න ඕනේ. එහෙම යනවාට වඩා කෙළින්ම නාගපට්ටිනම්වලට නැවෙන් යන්න ලැබෙන එක වාසියක්.
මට දැන් මගේ නැදෑයෝ බලන්න කෙළින්ම ඉන්දියාවට යන්න පුළුවන්. යාපනයේ ඉඳලා ඉන්දියාට යන එක අපිට ලේසියි.” ඔහු සඳහන් කළේය.

BBC