තේ දලු නෙලීම සඳහා කම්කරුවන්ගේ හිඟය මේ වනවිට මතුව ඇති බරපතළ අර්බුදයකි. කාලයක් තිස්සේ පවත්වාගෙන ආ තේ කම්හල් වැසී යාම හේතුවෙන් තේ වගා නඩත්තුවද ප්‍රශ්නයක් වී තිබේ. 1867 ලූල් කඳුර වත්තෙන් වාණිජ වගාවක් ලෙස මෙරට ඇරඹුණු තේ වගාවට මේ වනවිට වසර 157ක ඉතිහාසයක් තිබේ. බදුල්ල වේවැස්ස වත්තේ සත 29ට දලු නෙළූ මුත්තු තෙයිවානිලාත් සිටි රටක, වතු කම්කරුවන් වැඩවර්ජන පවා කරනුයේ සිය හාම්පුතුන් සොච්චම් මුදලකට ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑම නිසාය. මෙවන් අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන තේ වගාව මේ වනවිට බරපතළ ශ්‍රම හිඟයකට මුහුණ දී තිබේ. එක්තරා කාලයක තේ වගා සංගම් එවක රජයෙන් ඉල්ලීම් කළේ මෙයට විසඳුමක් හැටියට මියන්මාර් රාජ්‍යයෙන් කම්කරුවන් ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන ලෙසය. හැටන් වැවිලි සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ ප්‍රනාන්දු මහතා මෑතකදී පැවසූයේ වතු කම්කරුවන් නොමැතිවීම හමුවේ තේ දලු නෙලීමට චීනයෙන් මෙරටට ආනයනය කර දලු නෙලීමේ යන්ත්‍රයක් හඳුන්වා දුන් බවයි. එම යන්ත්‍රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බවත් හෙතෙම පැවසුවේය.
ඒ මහතා පැවසුවේ පසුගිය වසර කිහිපයේ තේ වගාවට රසායනික පොහොර යෙදීම නතර කර තිබියදී වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවලින් ඉවත් වූ බවයි. වර්තමානය වන විට තේ කර්මාන්තයේ රැකියාවල නිරත වීමට වතු කම්කරුවන් නොමැතිවීමෙන් ඒ අඩුව පිරවීමට යන්ත්‍රයක් ආනයනය කළ බවයි. එයින් දිනකට අමු තේ දලු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් නෙලිය හැකි බවත්, දිනක වැටුපට වතු කම්කරුවකු එම යන්ත්‍රයෙන් අමු තේ දලු කිලෝ 40 ක් නෙලිය යුතු බවත්, ඊට වැඩියෙන් නෙලන සෑම තේ දලු කිලෝවකටම රු. 50 බැගින් අමතර මුදලක් ගෙවන බවත් වරුණ ප්‍රනාන්දු මහතා කියා සිටියේය. වතු කම්කරුවන් තේ කර්මාන්තයේ රැකියාවල රඳවා ගැනීමේ අරමුණින් කම්කරුවන්ගේ දරුවන් තම වතුයායේ ක්ෂේත්‍ර නිලධාරී තනතුරු සඳහා පත් කර ඇති බවත් ඔහු පැවසුවේය.
තේ වතුවල ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස වතුහිමියන් යන්ත්‍ර භාවිතයට හුරුවීම ක්ෂේත්‍රයට කවරාකාර බලපෑමක් කරාවිද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතුමය.
දැරණියගල පදිංචිකරුවකු වන පුබුදු කැළුම් ජයතිස්ස මහතා තේ වගා ක්ෂේත්‍රයේ අත්දැකීමක් මුහුණුපොතේ පළ කර තිබූ අතර එම ලිපියේ අන්තර්ගත වී තිබුණේ ඔහුගේ ප්‍රායෝගික අත්දැකීමකි. එහි වැදගත්කම සලකා අපි ඔහුව පෞද්ගලිකව සම්බන්ධ කර ගත්තෙමු. ඔහුගේ කැමැත්ත මත මේ ඔහු “දේශයට” දැක්වූ අදහසයි.
“අපේ ප්‍රදේශවල ප්‍රධාන ජීවනෝපාය තේ වගාවයි. ඒත් වර්තමානය වෙනකොට තේ වගාකරුවන් අර්බුද රුසකට මුහුණපා සිටිනවා. ප්‍රධානම ගැටලුවක් තමයි ශ්‍රම හිඟය. තේ දලු ටික කලට වෙලාවට නෙලාගන්න ශ්‍රමිකයන් හොයාගන්නවා කියන එක ලෙහෙසි පහසු නෑ. පෞද්ගලිකව අපිත් මුහුණපා සිටින ගැටලුවක් තමයි මේක. ඒ නිසාම පහුගිය කාලෙ අපේ තේ ඉඩම් බොහොමයක් අතෑරල දාන්න වුණා. ඒ ඉඩම් වල් වැදිල විනාශ වෙලා ගියා. වර්තමානය වනවිට දලු නෙලන පිරිස ඉන්නේ සුළු පිරිසක්. තරුණ පරම්පරාව බොහෝමයක් ඇඟලුම් කර්මාන්ත ආදී රැකියාවල නියැලෙන නිසා අලුත් පරපුරේ නම් දලු නෙලන තරුණ තරුණියන් නැති තරම්. අදටත් ඉන්න අතළොස්ස එදා සිට දලු නෙලීමේ නියැලෙන වැඩිහිටි පිරිසක් පමණයි. ඔවුන්ගෙන් පසු ශ්‍රම හිඟ ගැටලුව උග්‍රවීම නියතයි.
මේකට පිළියමක් විදිහට තේ දලු නෙලන යන්ත්‍ර කිහිපයක් දැන් වෙළෙඳපොළේ තියෙනවා. පෙට්‍රල්වලින් වැඩ කරන යන්ත්‍රයකුත් තියෙනවා. ග්‍රාස් කටර් එන්ජිමක් සහිත යන්ත්‍රයක් වන එහි ගැටලු කිහිපයක් තියෙනවා. එනම් ඉන්ධන වියදම සමඟ පිරිවැය අධික වීම, තනිව දලු නෙලීම අපහසු වීම, තේ ගස මට්ටම් වී තිබිය යුතු වීම, මට්ටම් නොමැති තේ ඉඩමක දලු නෙලුවහොත් තේ ගසට සිදුවන කැපුම් හානිය වැඩි වීම, යන්ත්‍රය මිලෙන් අධික වීම ආදී ගැටලු මතුවෙනවා. තව යන්ත්‍රයක් තියෙනවා. ඒක බැටරි මගින් වැඩ කරන යන්ත්‍රයක්. එහි ඉන්ධන වියදමක් නෑ. ලිතියම් අයන් බැටරියකින් වගේම 24V ත්‍රීපේස් මෝටරයකින් තමා වැඩ කරන්නේ. ඒ නිසා කාර්යක්ෂමතාව වැඩියි. වරකදී බැටරිය චාජ් කර දින 3ක් 4ක් වැඩ කරන්න පුළුවන්. අතේ හුරුව අනුව අතින් කැඩුවාක් මෙන් වන පරිදිම වුවත් දලු ටික නෙලාගන්න පුළුවන්. නෙලන කොටසේ බර කිලෝ එකහමාරක් පමණ වන නිසා හැසිරවීමත් පහසුයි. පැයකට දලු කිලෝ 20ක් පමණ නෙලාගන්නත් පුළුවන්. ආරක්ෂිත නිසා කාන්තාවන්ට වුණත් පහසුවෙන් පුරුදු පුහුණු වී දලු නෙලන්න පුළුවන්. ඒ වගේම ගහේ දඬු කෑලි ඉතුරු වෙන්නෙත් අඩුවෙන්. අපේ ඉඩම්වල ගස් මට්ටම් නැති නිසා මුල්ම වතාවෙ මේකෙන් දලු නෙලුවම අරිම්බු, කළු කොළ, නැටි කෑලි, ගහේ පස් පංගුවම කැපිල එනවා. මුල්ම වතාවෙ නම් දලු ටිකක් තෝරන්නත් වෙයි.
හැබැයි ඔය ගැටලුව එන්නෙ එක වතාවයි. පළමු කැපුමෙන් පසු ගස් ටික මට්ටම් වෙනවා. මේකෙදි මුලින් තව ප්‍රශ්නයක් එනවා. ඒක තමයි මාසෙකට විතර දලු එන්නේ නැතිව යනවා. ඒකට බය වෙන්න දෙයක් නෑ. එහෙම වෙන්නෙ අරිම්බුත් කැපිල ගිහින් නිසා. දලු එන්න ටිකක් පරක්කු වුණාට මාසෙකින් විතර ඊළඟට එන දලු වටය ගහ පිරෙන්නම එනවා. ඊටපස්සෙ පුළුවන් සාමාන්‍ය විදියට දලු ටික කඩාගන්න. අතේ හුරුව ආවාට පස්සෙ පුළුවන් අරිම්බු පරිස්සම් කරලා ලොකු දලු ටික විතරක් කඩාගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ පළපුරුද්ද මත. දලු කඩන්න පුළුවන් මාසෙකට දෙපාරක් විතරයි. ඒක දෙපාරක් වුණාට මාසෙකට හතර පාරක් කඩපු දලු ප්‍රමාණයට සමාන දලු ප්‍රමාණයක් වාර දෙකකින් කඩාගන්න පුළුවන්. මැෂින් එකකින් දලු කඩනවා නම් පොහොර දාද්දිත් වෙනසක් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් තේ ඉඩමකට අපි පොහොර දාන්නෙ දින් 90 කට (මාස 3) වරක්. ඒත් යන්ත්‍රයෙන් කඩනව නම් දින 70කට වරක් වගේ පොහොර දාන්න ඕනෑ. ඒත් දින 90න් දාන තරම් නම් දාන්න ඕනෑ නෑ. ලෝකයේ වැඩියෙන්ම තේ වවන රටවල් අතර ඉහළම සිටින්නේ චීනය. ඒ රටේ මේ යන්ත්‍රය ගොඩක් පාවිච්චි වෙනවා. මගේ අත්දැකීම් අනුව මේ යන්ත්‍රය සියයට 90ක් සාර්ථකයි. සියයට සියයක්ම සාර්ථකයි කියලා කියන්න බැරි අතින් නෙලන තරම් හොඳ නැති නිසා. මම යෝජනා කරන්නේ හොඳම ක්‍රමය තමයි අතින් නෙලීම. මේ යන්ත්‍ර භාවිතය ශ්‍රම හිඟයට විසඳුමක් පමණයි.”
18 වැනි සියවසේදී ඉන්දියාවෙන් සිට මෙරටට පැමිණි වතු කම්කරුවාගේ දිනක වැටුප සත 13 කි. 1870 දී ඒ වැටුප සත 33 - 37 අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති අතර මුලදී වතු කම්කරුවන්ට ලැබී ඇත්තේ පඩි බාගයක් වන අතර ඉතිරි පඩි බාගයට කංකානිගේ කඩයෙන් සිල්ලර බඩු ලබාගැනීමට හැකියාව තිබී ඇත. මෙලෙස ඇරඹුණු වතු කම්කරුවාගේ ඉරණම මේ වනවිට දරුණු තත්ත්වයට පත්වී තිබේ. වතු කම්කරුවන්ගේ ශ්‍රම හිඟය දරුණුය. එලෙසම මෙවැනි යන්ත්‍ර ආනයනය නිසා ශ්‍රම හිඟයට විසඳුමක් සැපයීමද සිදුවෙයි. මෙය ක්‍රියා කරවීමට ඇති හැකියාව හේතුවෙන් දැනට රැකියාවේ සිටින වතු කම්කරුවන්ට මේ පිළිබඳ පුහුණුවක් ලබාදීමෙන් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත වනු ඇත. එහෙත් වතු ක්ෂේත්‍රයේ සිටින වැඩිහිටි පරම්පරාවට මෙවැනි යන්ත්‍ර සමඟ කටයුතු කිරීමේ ඇති හැකියාව පිළිබඳවද නැවත සිතා බැලිය යුතුය.
I සසංක චලන ගිම්හාන