2024 මැයි 11 වන සෙනසුරාදා

උමා ඔය හුටපටයේ තිත්ත ඇත්ත!

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 147

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසිගේ සහභාගිත්වයෙන් කලක් තිස්සේ පමා වෙමින් තැනුණු උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය පසුගියදා (අප්‍රේල් 24) විවෘත කෙරිණි. මේ යෝජනා ක්‍රමය විවෘත වී සති කිහිපයක් ගතවීමටත් ප්‍රථම ඒ හේතුවෙන් අවට ප්‍රදේශ ආශ්‍රිතව හානිදායී නාය යෑම් වර්තා වන්නට විය. ප්‍රදේශවාසීන් මෙන්ම පරිසර මිතුරන්ද උමා ඔය ව්‍යාපෘතිය මෙයට වගකිව යුතු බවට විවේචන එල්ල කරන්නට වූහ.

‘උමා ඔය’ මහවැලි ව්‍යාපාරයෙන් පසු මෙරට බිහිවූ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතියයි. විදුලිය නිපදවීම, පානීය ජලය, වාරි ජලය ලබාදීම, ගංවතුර පාලනය වැනි අංග කිහිපයක් ඊට ඇතුළත්ය. අධික වර්ෂාව පවතින කාලයට ‘උමා ඔය’ ඉහළ ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලය නිසා ගංවතුර ඇතිවීම පාලනය කිරීමට ‘උමා ඔය’ ඉහළ ජලාශයක අවශ්‍යතාව ඇතිවිය. ඒ පිළිබඳ කතාබහට ලක්ව ඇත්තේ 1950 ගණන්වල වුවත් එම ව්‍යාපෘතිය සඳහා මුලින් සැලසුම් කෙරෙන්නේ 90 දශකයේය. එමගින් මෙගාවොට් 120 ක ජලවිදුලි බලයක් නිෂ්පාදනය කෙරෙන අතර බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර 15000කට යල මහ දෙකන්නයේම වගා සඳහා ජලය සපයනු ලැබේ. ජනතාවගෙන් හා විවිධ පරිසර සංවිධානවලින් එල්ල වූ බලපෑම් නිසා එහි කටයුතු තාවකාලිකව යටපත් විය.

මෙසේ තාවකාලිකව නතර වූ ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය පිළිබඳ නැවත කතාබහට ලක්වන්නේ වසර 2008 දීය. ඒ, ඉරාන රජයේ තාක්ෂණික සහ මූල්‍ය උපකාර සහිතව ‘උමා ඔය’ බහුකාර්ය ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවධානය යොමුවීමත් සමඟය. මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඉරාන ජනාධිපති මොහොමඩ් අහමඩ් නෙජාඩ් යන මහත්වරුන් අතර ගිවිසුමක් අත්සන් කෙරිණ.

එතැන් සිට මේ යෝජනා ක්‍රමය දැඩි කතාබහට ලක්වූ ව්‍යාපෘතියක් විය. පමා වී ලද පරිසර වාර්තා, ආධාර සහ ණය පිල්ලි යෑම්, ඉල්ලා අස්වූ අධ්‍යක්ෂවරු, උමා ඔය උමං තුළ සහ පිටතට සිදුවූ කාන්දූ වීම්, උමං කැණීම් යන්ත්‍ර සිරවීම් සහ අවට ප්‍රදේශ නිවාස ඉරිතලා යෑම් මෙන්ම ගම්මාන වැනසී යාම්, ඒ සඳහා යෙදුණු ගැටලු සහගත පිළියම් ආදී මෙකී නොකී ආන්දෝලන මැද මේ ව්‍යාපෘතිය අවසන් අදියර කරා ළඟා විණි.

උමා ඔය උමං තුළට ජලය පිරී යාමත් සමඟ ඒ ආශ්‍රිත ප්‍රදේශ ගණනාවක් පුරා පැතිර තිබූ පැරුණි චෝදනාවක් නැවත කරළියට ආවේය. ඒ උමා ඔය නිසා අවට ප්‍රදේශ නායයෑමේ තර්ජනය ගැන කතාබහය. දැන් නැවතත් මේ ආශ්‍රිත කරඳගොල්ල වැනි ප්‍රදේශ නාය යෑම් තර්ජනයට මුහුණ පා තිබේ. ඒ ප්‍රදේශ ආශ්‍රිතව හදිසි ජල දෝනා මතුව ගලා යමින් තිබේ. ඇත්තටම සිදුවන මේ නායයෑම් උමා ඔය යෝජනා ක්‍රමය අසාර්ථකත්වය හේතුවෙන් සිදුවන්නක්ද?

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියට අයත් කරඳගොල්ල විදුලි බලාගාරය ආසන්නයේ පිහිටි මලිත්තගොල්ල ගම්මානය ආසන්නයේ මතුවූ මෙවන් හදිසි නාය යෑමක් නිසා මතුව ආ නව ආන්දෝලනය රාජ්‍ය අංශ අවධානය ඒ වෙත කැඳවීමට සමත් විය.

මෙහිදී ජනතාව වෙතින් චෝදනා එල්ල වූයේ උමා ඔය පිරවීමත් සමඟ ඇතුළු වූ ජලය පිටතට කාන්දු වෙමින් මේ ගැටලුව මතු කරන බවටය. 2008 තරම් ඈත කාලයක සිට උමා ඔය සම්බන්ධ ජනතා සමාජ ප්‍රශ්න ගැන මැදිහත් වන උමා ඔය බහු ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා මේ ගැන පැවසුවේ ''අපිට නිල නොවෙන විදියට වාර්තා වෙලා තියෙනවා ඩයරබා ජලාශයේ සිට ඇතුළු කරන ජල ප්‍රමාණය කරඳගොල්ලෙන් පිට කිරීමේදී සැලකිය යුතු අඩුවීමකට ලක්වෙනවා කියලා. ඒ කියන්නේ ඒ ජලය කාන්දු වෙනවා විය හැකියි. ඉතින් වැස්ස නැතුවත් නාය යන්නේ මේක නිසාදැයි සැක මතු වෙනවා.” කියාය.

මේ ගැන අප කළ විමසුමකදී පරිසරවේදියකු වන සජීව චාමිකර කීවේ තමන් ඇතුළු පරිසරවේදීන් පිරිසක් ඉදිරි සතියේ මෙම ප්‍රදේශයන්හි ස්ථානීය පරීක්ෂාවක් සඳහා යාමට නියමිත බවය. මේ තත්ත්වය ගැන සැබෑ නිරීක්ෂණයකින් පසු වැඩිදුර ප්‍රකාශයක් කළ හැකි බවය. නමුත් මේ ව්‍යාපෘතිය ඇරුඹූ 2008 තරම් ඈත කාලයක සිටම මෙම ප්‍රදේශයේ ඇති නුසුදුසු පාරිසරික තත්ත්වය ගැන තමන් ඇතුළු පරිසර හිතකාමීන් පෙන්වා දී ඇති බව ඔහු කීවේය. ඔහු කියන්නේ උමා ඔය උමං සහිත මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ ප්‍රදේශයේ පස් ස්ථර මෙයට ඔරොත්තු නොදෙන බවය. ඒ ප්‍රදේශ ආශ්‍රිත භූමිය තුළ තද ශක්තිමත් ආග්නේය පාෂාණ නොමැති නිසා මෙවන් ජල කාන්දු සිදුවීමට වටපිටාව සැකසී ඇති බවකි. ප්‍රදේශයේ ඇති විපරීත පාෂාණවල අස්ථාවරත්වය නිසා මෙවන් ගැටලු මතුවිය හැකි බවය. ඔහු කීවේ මේ ව්‍යාපෘතිය ඇරුඹුණේම පරිසරය ගැන මායිම් නොකර බවය. 2008 දී සිට කතාබහ ඇරුඹුණු ව්‍යාපෘතියට මුල්ගල් තැබීමෙනුත් පසු 2010 දී පමණ පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව (EIA) නිකුත් වූ බව ඔහු පෙන්වා දෙයි. ඒ වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නොවන බව එහිම සඳහන් කර ඇති බව ඔහු පෙන්වා දෙයි. පාරිසරික බලපෑම් තක්සේරුව සමාලෝචනය සඳහා මහජනතාවට විවෘතව තිබූ වැඩ කරන දින 30 තුළ එම වාර්තාව ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් මධ්‍යම පරිසර අධිකාරියට පාරිසරික සංවිධානවලින් බොහෝ විරෝධතා ලිපි ලැබී තිබුණද විරෝධතා නොතකා මධ්‍යම පරිසර අධිකාරිය ව්‍යාපෘතිය සඳහා අවසර ලබාදුන් බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර මේ හදිසි ජල ගැලීම් සඳහා නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා පසුගිය මැයි 01 ජාතික ගොඩනැගිලි පර් යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යක්ෂ ජනරාල්, ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන ඇතුළු විශේෂඥ කණ්ඩායමක් අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කරන ලදී. ඔහු අප හා කීවේ මේ පිළිබඳ ස්ථීර ප්‍රකාශයක් කිරීමට පෙර  තවදුරත් පරීක්ෂණ කළ යුතුව ඇති බවය.

“මෙය විශාල ප්‍රදේශයක පැතිර ඇති සක්‍රිය තත්ත්වයේ පවතින නායයෑමක්. ඉතින් මේ නාය දැන් පවතින වර්ෂා සහිත තත්ත්වය සමඟ නැවත ඕනෑම වේලාවක සක්‍රිය වීම සිදුවන්න පුළුවන්. මූලික වශයෙන් අපි මේ නාය සක්‍රීය වීම වැළැක්වීමට කටයුතු කරනවා. ඒ සඳහා කඩිනම් ව්‍යාපෘති අරඹනවා. සැප්තැම්බර් සිට අධික වර්ෂාව ඇති වුණා. ඒ සමඟ ඔක්තෝබරයේ සිට උමා ඔය ජලය පිරවීමද ඇරුඹුණා. ඔක්තෝබර්  අධික වැසි වැටුණා. ඒ අධික වැස්ස එක්ක නාය යෑම් ඇතිවුණා. මේ සියලු කාරණාවල බලපෑම පැවතිය හැකියි. නමුත් මේ පාලනය කළ නොහැකි තත්ත්වයක් නොවේ. නිසි කළමනාකරණය මගින් මෙය පාලනය කළ හැකියි. 

මේ වනතුරු හරිහැටි විද්‍යාත්මක පිළිතුරක් නොලැබී තිබූ මේ ගැටලුවට ඉතා නුදුරේදීම නිසි කල් යල් ගෙන සොබාදහම නිවැරුදි පිළිතුරු ලබා දෙනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න අප කළ විමසුමකදී පිළිතුරු දුන්නේය. උමඟක් වැනි පොළොවේ සිදුරක් හාරනකොට ඒ අවට තියෙන ජලය පිහිටි ගලේ ඇති සිදුරු කුස්තුර තුළින් ඒ තුළට ගලා එනවා. මෙය සාමාන්‍ය දෙයක්. මෙය ආරම්භ කළ කාලේ ඒ වගේ තත්ත්ව වාර්තා වුණා. ඒ ගැන නොදන්නා නිසා මිනිස්සු කලබල වුණා. විවිධ හේතු කිව්වා. මේ තත්ත්වය මෙතැනදී විතරක් සිදු වුණා නොවේ. කලින් සමනළ වැව ව්‍යාපාරය වැනි ව්‍යාපෘතිවලදීත් ඒ වගේ ප්‍රතිඵල දක්නට ලැබුණා. මේ විදියට අවට වේලී යනකොට පස් පවා වේලෙනව, බුරුල් වෙනවා. ඒ හේතුවෙන් නිවාස ගොඩනැගිලිවල පදනමට එය බලපානවා. ඒවායේ බිත්ති  දෙදරනවා, ඉරිතලනවා. නමුත් මේ උමං තනලා ඒවායේ බිත්ති සීල් කරලා උමං ජලයෙන් පිරෙව්වායින් පසු මේ තත්ත්වය නැවත පූර්ව තත්ත්වයට පත් වෙනවා. ඒ තමයි ස්වභාධර්මයේ හැටි. හැබැයි මේ දෙය සිද්ධ වෙන්න වැහි කාල 4-5ක්, ඒ කියන්නේ අවුරුද්දක් දෙක තුනක් යාවි. මේ කාලය තුළ නැවත කලින් මෙම ප්‍රදේශවල ක්‍රියාත්මකව තිබූ නාය යෑම් ආදියත් සක්‍රිය වන්නට හැකියි. දැන් මේ වෙලා තියෙන්නෙත් ඒකයි. නියම විදියට යථා තත්ත්වයට පත්වෙන්න තව කාලය අවශ්‍යයි. මේ සිදුවන නාය යෑම් ඒ ප්‍රදේශවල කලින් නාය යෑම් දක්නට ලැබුණු ස්ථාන ආශ්‍රිතවම සිදුවන බව 84 සිට කළ සිතියම් මගින් දැකගන්න හැකියි. ඉතින් මේ උමඟ හදන්න පෙර තිබූ තත්ත්වයට පරිසරය සහ ජලවහනය නැවත පත්වීමයි සිදුව ඇත්තේ. මෙයින් පෙනී යන්නේ පැරුණි ජල විහිදුම නැවත යථා තත්ත්වයට පත්වෙමින් තියෙනවා. මේ ගැන පරීක්ෂාවට ගිය අපේ පළපුරුදු විද්‍යාඥයනුත් ඒ බව කියලා තිබුණා. මගේ අධ්‍යයනය අනුව නම් උමා ඔය උමං ඇතුළු සංවර්ධන කටයුතු මේ තත්ත්වයට වගකිව යුතු නෑ. මොකද උමඟ ඇත්තේ පොළොව ගැඹුරේ උමඟ තුළින් එන පීඩනයක් පොළොවෙන් පිටතට එනවාට වඩා උමඟ තුළට ඒමයි වඩාත්ම සිදුවිය හැකියාවක් ඇති දෙය. ඉතින් මේ නාය යෑම් මගින් දෙන පණිවුඩය තමා ප්‍රදේශය නැවත පෙර තිබූ තත්ත්වයට පත්වෙමින් තියෙනවා කියන එක. මේ මතු වෙන්නේ කලින් තිබුණු නිසි පිළියම් නොකළ නාය යෑම් විය හැකියි. තව වර්ෂා කාල කිහිපයක් යනකොට ප්‍රදේශයේ සිඳුණු ජල උල්පත් පවා නැවත මතු වේවි.

I සුගත් පී. කුලතුංග ආරච්චි