2024 මැයි 11 වන සෙනසුරාදා

ඩයනා පැන්නූ නඩු තීන්දුව

 2024 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00 335

පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක චරිතයක් වුණු ඩයනා ගමගේට හිමිව තිබූ මන්ත්‍රී ධූරය අධිකරණය මගින් පසුගියදා අහෝසි කරනු ලැබීය. ඒ ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු වීමේ චෝදනාව සලකා බලමිනි. වසර හතරක කාලයක් පුරා විභාග වූ මෙම නඩුවේ තීන්දුව පසුගියදා (8) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. ඒ ගාමිණී අමරසේකර සහ කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟතාවය මත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසිනි.

මෙම නඩුවේ ආරම්භයට හේතු වූයේ සමාජ ක්‍රියාකරුවකු වන ඕෂල හේරත් විසින් සිදු කළ චෝදනාවකි. ඔහු විසින් අභියාචනාධිකරණයට මීට පෙර පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු හිමිකමක් නොමැති බවය. ඒ ඇය බ්‍රිතාන්‍ය පුරවැසියකු වීම අභියෝගයට ලක් කරමිනි. පසුව එම නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාග වුණු අතර අවසානයේදී එම විනිසුරු මඬුල්ලේ බහුතර කැමැත්ත මත අදාළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට අධිකරණය කටයුතු කරනු ලැබීය.

කෙසේ වෙතත් එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ඕෂල හේරත් සහ සමගි ජන බලවේගයේ නීතිඥ මඬුල්ල අදාළ තීන්දුව බල රහිත කරන ලෙසත් එසේම ඇයට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීතිමය අවසරයක් නොමැති බවටත් කරුණු දක්වමින් පෙත්සමක් ගොනු කළහ. එම පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව එම විනිසුරු මඬුල්ල විසින් පසුගිය බදාදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා මහතා “වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය විදේශ ගමන් පත්‍රයක් හිමි තැනැත්තියක් බව ඇය විසින් නඩු විභාගයේදී පිළිගෙන තිබුණා. බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයකින් 2014 වසරේ ඔක්තෝබර් තම මස 05 වැනිදා දිවයිනට පැමිණි බව නඩු විභාගයේදී අනාවරණය වුණා. ඉන් අනතුරුව ඇය විසින් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරි ගමන් බලපත්‍රයක් ලබාගත් බවත් නඩු විභාගයේදී කරුණු සඳහන් වුණා. මෙරට පුරවැසි පනත අනුව යම් ලාංකිකයකු විදේශයක පුරවැසිභාවය ලබාගත් විගස ඔහුගේ හෝ ඇගේ මෙරට පුරවැසිභාවය ඉබේම අහෝසි වී යනවා. ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ විසින් බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගත් විගස ඇයගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහෝසි වී යාම පැහැදිලි කරුණක්. එසේ තිබියදී වගඋත්තරකාරිය බලය අයුතු ලෙස පරිහරණය කරමින් මෙරට විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත් පැහැදිලි වෙනවා." යනුවෙන් සඳහන් කළේය.

"වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා. එම විමර්ශනයට අදාළව ආගමන හා විගමන පාලකවරයා විසින්ද පොලීසියට ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යනවා ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව. එවැනි වාතාවරණයක් මත වගඋත්තරකාරියට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව මහේස්ත්‍රාත්වරයා විසින් ද නිගමනය කර තිබුණා. අධිකරණය විසින් නියෝගයක් නිකුත් නොකළත් වගඋත්තරකාරිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට පොලීසියට බලය තිබෙන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබුණා. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව කටයුතු කළේ නැහැ. එසේ කටයුතු නොකිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඕනෑ තරම් හේතු තිබෙන්න පුළුවන්. නමුත් නීතියේ දෙවඟනගේ ඇස් බැඳ තිබෙන්නේ නිලය, බලය, ධනය වැනි කරුණු ඉදිරියේ වෙනස්කම් නොවීමට වගබලා ගැනීමටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ නීතිය ඉදිරියේ සෑම පුරවැසියකුම සමාන සැලකිලි ලැබිය යුතු බවත් අවධාරණය කර තිබෙනවා.* තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනක් ද සිල්වා මහතා වැදගත් කරුණු රුසක් හෙළි කළේය. ඒ අභියාචනාධිකරණ තීන්දුව සම්බන්ධයෙනි. 

“අභියාචනාධිකරණය ඉදිරියේ පවතින නඩු විභාගයේ දී එම නඩුකරයට අදාළව ඉදිරිපත් කෙරුණු ලේඛනවල මුල් පිටපත් ඉදිරිපත් නොකිරීම නිසා එය ප්‍රතික්ෂේප කරන බව එම අධිකරණය සඳහන් කර තිබූ එක් කරුණක්. එහෙත් ඒක පිළිගන්න බෑ. අපරාධ නඩු විධාන සංග්‍රහයට අදාළ කාරණා රිට් පෙත්සම්වලදී අදාළ කරගන්න බැහැ. අභියාචනාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ නඩු තීන්දුව පිරික්සීමේදී පෙනී යනවා එම අධිකරණයට වගඋත්තරකාර ඩයනා ගමගේ ඉදිරිපත් කළ ලිඛිත දේශනයේ බොහොමයක් කොටස් පිටපත් කර (copy paste) ඒවා ඒ ආකාරයෙන්ම අලවා තිබෙන බව. එවැනි ස්ථාන 80 ක් පමණ නඩු තීන්දුවේ ඇතුළත්ව තිබෙනවා. අලුතින් ඇතුළත් කර තිබෙන්නේ ඡේද සුළු සංඛ්‍යාවක් පමණයි. ඒවාද වැරදි සහගතයි." 

අධිකරණයේ අවසන් නිගමනය ඉදිරිපත් කරමින් විනිසුරුවරයා “මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තියට අනුව මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීම, අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්‍යවශ්‍ය සුදුසුකමක් බව දක්වා තිබෙනවා. එහෙත් ඩයනා ගමගේ මහත්මිය සිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය අත්හල බවක් කිසිදු අවස්ථාවක සඳහන් කර නැහැ. එසේම ඇය ශ්‍රී ලාංකික පුරවැසිභාවය විෂය භාර අමාත්‍යවරයාගෙන් ලබාගත් බවක්ද කිසිදු අවස්ථාවක ප්‍රකාශ කර නැහැ. ඒ අනුව ඇයට මෙරට පාර්ලිමේන්තුව සඳහා තේරීපත් වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව පැහැදිලි වෙනවා. ඒ අනුව ඩයනා ගමගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමි තැනැත්තියක් බවට තහවුරු කිරීමට ඇය විසින් අපොහොසත් වී ඇති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නොමැති බව තහවුරු කරමින් "ක්වෝ වොරන්ටෝ" රිට් ආඥාවක් නිකුත් කරනවා." යැයි මෙහිදී සඳහන් කළේය. එසේම ඇයට අදාළ නඩු ගාස්තු ගෙවන ලෙසට ද ඔහු දැනුම් දුන්නේය.

මේ අතර ඊට පසුදින (9) ඩයනා ගමගේට තවත් මරාලයක් කඩා වැටුණි. ඒ ඇයට විදෙස්ගත වීම තහනම් කරමිනි. එනම් ඇය විසින් ආගමන විගමන පාලකවරයාට අසත්‍ය තොරතුරු ලබාදෙමින් ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඕෂල හේරත් සහ සමගි ජන බලවේග නීතිඥ මඬුල්ලක් අධිකරණයට කරුණු වාර්තා කළහ. මෙම තත්ත්වය යටතේ ඇයට විදෙස්ගත විය හැකි බැවින් වහාම විදෙස්ගත වීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මේ පිළිබඳ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තහනම නිකුත් කළේය.

ඕෂල හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ මෙලෙස කරුණු දැක්වීය.

"ස්වාමීනී... ඩයනා ගමගේ නැමැත්තිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි කාන්තාවක් බවට ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ තීන්දුවකින් නිගමනය කර තිබෙනවා. ඇය බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රයකින් මේ රටට පැමිණි තැනැත්තියක්. එසේ පැමිණ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇය මෙරටදී රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජකාරි ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබෙනවා. ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇය සැකකාරියක් වශයෙන් නම් කළ යුතු තැනැත්තියක්. එසේ තිබියදී ඇය සතුව මේ වන විට විදේශ ගමන් බලපත්‍ර තුනක් පවතින නිසා මෙම තහනම නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා."

ඒ අනුව ඩයනා ගමගේට විදේශ ගමන් තහනමක්ද පැනවිණි.

මේ අතර මෙම සිදුවීමෙන් පසුව පසුගිය 9 දින සවස ඩයනා ගමගේ ප්‍රථම වතාවට මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී ඇය පැවසුවේ තමන් අධිකරණ තීන්දුවට ගරු කරන නමුත් එය පිළි නොගන්නා බවය. විශේෂයෙන් මේ සිදුවීම පිටුපස යම් දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බවත් සජබයේ කිහිප දෙනකු මෙයට සම්බන්ධ බවත් ඇය පැවසුවාය. ඇයගේ එම ප්‍රකාශයට එරෙහිව නීතිමය කටයුතු සිදුවේද නැතිදැයි අපි නොදනිමු.

සැබැවින්ම ඩයනා ගමගේ මහත්මියගේ සිදුවීම පක්ෂ නායකයන්ටත් ලේකම්වරුන්ටත් හොඳ පාඩමකි. හිතවත්කම් සහ බලය හේතුවෙන් ආවට ගියාවට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබා නොදිය යුත්තේ එබැවිනි. එසේ වුවහොත් අවසානයේදී එහි ප්‍රතිඵල මෙලෙස වනු ඇත. කෙසේ වෙතත් රාජ්‍ය මුදල් භුක්ති විඳිමින් වසර තුනකට අධික කාලයක් ඩයනා වෙනුවෙන් වැය කළ මුදල් ජනතාවට නැවත ලැබෙන්නේ නැත. ඒවාට සිදුවූ දෙයක් නැත. එහෙත් මෙවැනි සිදුවීම් අතරතුර පවා දැන දැනම මෙවැනි පත් කිරීම් සිදුවනු ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව මුදල් සහ බලය හේතුවෙනි. මේවා දකිමින් ජනතාවට සිදුවන්නේ "අනේ ඇත්තද?" යැයි කීමට පමණි.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05